අනියම් පෙම්වතිය  පැහැර ගත් තරුණයා අහසට වෙඩි තබා අල්ලයි

797

කට මිරිකගෙන ඉන්නවා හයිවේ එකේ නිලධාරීන් දැකලා

සැකකරු කාන්තාවගේ බෙල්ලට පිහියක් තියාගෙන ඉඳලා

පොලිසිය අහසට වෙඩි තබයි

ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයට යමින් සිටි තිදරු මවක වූ සිය අනියම් පෙම්වතිය දික්වැල්ල ප්‍රදේශයේදී මෝටර් රථයකට දමාගෙන පැහැර ගෙන යමින් සිටි තරුණයකු හා තවත් පුද්ගලයකු ඊයේ (14 වැනිදා) පෙරවරුවේ බද්දේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බද්දේගම පොලිසියේ නිලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම කාන්තාව පැහැරගත් ඇගේ අනියම් පෙම්වතා සහ අනෙක් සැකකරු ඇයවත් රැගෙන අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ බද්දේගම අධිවේගී අන්තර් හුවමාරුවෙන් මුදල් ගෙවා පිටව යමින් සිටියදී මෝටර් රථයේ පිටුපස අසුනේ සිටි පුද්ගලයකු කාන්තාවගේ කට අතින් මිරිකාගෙන සිටින අයුරු එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් දැක තිබේ.

එම අවස්ථාවේ මෝටර් රථය නතර කරන ලෙස අධිවේගී පිවිසුමේ සිටි පොලිස් නිලධාරියා අණකර ඇතත් සැකකරුවන් අණ නොතකා පලා ගොස් ඇත.

එසේ පලා යෑමත් සමග වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මෝටර් රථය පිළිබඳ විස්තර බද්දේගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ට දැනුම් දීමට පියවර ගෙන ඇති අතර එහිදී අදාළ මෝටර් රථය බද්දේගම මාතුරුගොඩ ක්‍රීඩා සංකීර්ණය අසල දී නවතා පරීක්‍ෂා කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

එහිදී මෝටර් රථයේ පිටුපස අසුනේ සිටි කාන්තාවගේ අනියම් පෙම්වතා රථයේ දොරගුළු දමා උල් පිහියක් ගෙන කාන්තාවට පහර දෙමින් රථය තුළ බලහත්කාරයෙන් රඳවාගෙන දබර කරන අයුරු දුටු පොලිසිය අහසට වෙඩි තබා රථයේ පිටුපස වීදුරු බිඳ අගුළු විවෘත කර කාන්තාව හා උල් පිහිය අතැතිව සිටි පුද්ගලයා පිටතට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

රථයෙන් පිටතට ගන්නා අවස්ථාවේ කාන්තාව සහ පිටුපස අසුනේ ඇගේ අනියම් පෙම්වතා කැපුම් තුවාල ලබා සිටීම හේතුවෙන් ඔවුන් දෙදෙනා බද්දේගම රෝහලට ඇතුළු කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

පසුව තුවාල ලැබූ කාන්තාව සහ ඇගේ අනියම් පෙම්වතා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට මාරුකර යවා ඇත.

අත්අඩංගුවට ගත් පැහැර ගැනීමට ලක්වූ කාන්තාවගේ අනියම් පෙම්වතා වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. අනෙක් පුද්ගලයා වලස්මුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

අනියම් සබඳතාව හේතුවෙන් ඇතිවූ ආරාවුලක් මත මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. බද්දේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රභාත් දේශබන්දු මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දර්ශන, පො.සැ. (52188) ඉරෝෂන්, කොස්තාපල්වරුන් වන (86349) ධනංජය යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

සමන් ගමගේ – බද්දේගම ඔෂධ කමලනාථ, උපුල් මහෙෂ්

advertistmentadvertistment
advertistmentadvertistment