අනියම් බිරිඳක සමග එකට පවුල් කෑ මිතුරන් දෙදෙනා දබර වී අනෙකාගේ ගෙල කපා ඝාතනය කරයි

127

අනියම් බිරිඳක් සමග එකම නිවසක පවුල් කෑ මිතුරන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලකින් පසු තියුණු ආයුධයකින් මිතුරා ගේ ගෙල කපා ඝාතනය කළ අනෙක් සැකකාර මිතුරාව ඊයේ (03දා) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

42 හැවිරිදි වියේ පසුවන මරණකරු සහ සැකකරු නීත්‍යනුකූල බිරිඳගෙන් වෙන්ව ජීවත්ව සිට ඇති බවත් අනියම් බිරිඳ ද නීත්‍යනුකූල සැමියාගෙන් වෙන්ව ජීවත්ව ඇති බවත් පොලිසිය කීය.

මිනුවන්ගොඩ, පොල්වත්ත, මැල්ලගොඩැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉදිරිපිට දී 02 වැනිදා පස්වරුවේ දි මෙසේ ඝාතනයට ලක් වූ නිල්පනාගොඩ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන රාජපක්ෂ ආරච්චිගේ විජේසිරි නමැත්තා අනියම් බිරිඳ සමග වසරක පමණ කාලයක් සැකකරුගේ නිවසේ පදිංචිව සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මරණකරුගේ අනියම් බිරිඳ සමග සැකකරුද අනියම් සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් මිතුරන් දෙදෙනා අතර නිවස තුළ නිතර නිතර ආරවුල් ඇති වී ඇති බවට ද පොලිසිය අනාවරණය කරගෙන තිබේ. මරණකරු සහ සැකකරු ගස් කැපීම ඇතුළු කුලී වැඩ සිදු කරන අයවලුන් බවද පොලිසිය පවසයි. ඝාතනය සිදුවන අවස්ථාවේ කාන්තාව නිවසේ නොසිට ඇති බව පොලිසිය කියයි.

මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පෙරේදා (02දා) රාත්‍රියේ දී මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා විසින් පවත්වනු ලැබීය.

මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ උප. පො. ප. ජී.කේ. අබයරත්න නිලධාරියාගේ මගපෙන්වීම මත නිවස ඉදිරිපිට තිබූ මළ සිරුර නිරීක්ෂණය කර ස්ථාන පරීක්ෂණය සිදුකළ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා මළ සිරුර ගම්පහ රෝහල් මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙසට මිනුවන්ගොඩ පොලිසියට නියම කළේය. එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත නියම කළ වැඩබලන මහෙස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා එම මරණයට හේතුව මැයි මස 03 වෙනිදාට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියම කළේය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර ළඟම ඥාතීන්ට භාර දෙන ලෙසට රෝහල් බලධාරීන්ට අධිකරණයෙන් නියම කෙරිණි.

මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

සැකකරුව මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. පී. එස්. ජයලත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ. එස්. බී. මැදගම

උප. පො. ප. ජයවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදුකර සැකකරුව සහ ඝාතනය කිරීමට උපයෝගි කර ගත් පිහිය අත්අඩංගුවට ගෙන තිබුණි.
මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment