අනියම් බිරිඳගේ නිවසට ගොස් එද්දී සන්ෂයින් සුද්දා මෝටර් රථයෙදීම වෙඩිකා නසී… හරක් කටාගේ වැඩක් කියා සැකයි

295

මෙරට පාතාලයේ ගොර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ්ගේ ප‍්‍රධානම ගෝලයකු බව කියන ‘සන්ෂයින් සුද්දා’ මාතර කොටවිල දී නාඳුනන සන්නද්ධ කණ්ඩායමක විසින් ඊයේ (03 වැනිදා* මහ දහවල් ටී 56 ගිනි අවිවලින් වෙඩි තබා ඝාතනය කර ඇත.

සන්ෂයින් සුද්දා මාතර කොටවිල පිහිටි සිය අනියම් බිරිඳගේ නිවසට ගොස් ආපසු යමින් සිටියදී කළු පැහැති වෑන් රථයකින් පැමිණ ඇති සන්නද්ධ පිරිසක් මෝටර් රථය තුළදීම ඔහුට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

අනියම් බිරිඳගේ නිවසට ගොස් එද්දී සන්ෂයින් සුද්දා මෝටර් රථයෙදීම වෙඩිකා නසී... හරක් කටාගේ වැඩක් කියා සැකයි

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි අමිල ප‍්‍රසන්න හෙට්ටිහේවා හෙවත් ‘සන්ෂයින් සුද්දා’ නමැත්තා බව පොලිසිය පවසයි.

මාතර මිරිස්ස ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන සන්ෂයින් සුද්දා හෝටල් හිමියකු වන අතර ඔහු ධීවර කර්මාන්තයට ද සම්බන්ධ වූවෙකි.

සන්ෂයින් සුද්දාට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබෙන බව පොලිසිය පවසයි.

දකුණු පළාතේ තවත් ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හරක් කටා’ නමැත්තා මෙහෙයවන සන්නද්ධ කල්ලියක් විසින් මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

හරක් කටා මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින අතර එහි සිට ඔහු මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බව පොලිසිය පවසයි.

‘සන්ෂයින් සුද්දා’ දීර්ඝ කාලයක සිට මාකඳුරේ මධුෂ් සමඟ සමීප සබඳතා පැවැත්වූ අතර ඩුබායි රාජ්‍යයේ පැවති සාදයේදී මධුෂ් සමඟ මොහු ද ඊට සහභාගි වී සිටියේය.

එම සාදයට සහභාගි වී සිටියදී මධුෂ් සමඟ සන්ෂයින් සුද්දා ද ඩුබායි පොලිසියට කොටු වූ අතර ඔහු ද මාස කිපයක් තිස්සේ එරට බන්ධනාගාරයක රඳවා සිටියේය.

සන්ෂයින් සුද්දා මාතර කොටවිල ප‍්‍රදේශයේ කාන්තාවක සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර ඊයේ පෙරවරුවේ ඔහු එම නිවසට පැමිණ ඇත. පැය කීපයකට පසු ඔහු එම නිවසින් පිටව ගොස් ඇත්තේ දිවා ආහාරය සඳහා කෑම පාර්සලයක් ද සිය මෝටර් රථයේ දමාගෙනය.

සන්ෂයින් සුද්දා අනියම් බිරිඳගේ නිවසින් පිටවී ඔහු රැගත් මෝටර් රථය මාර්ගයට අවතීර්ණ කරනවාත් සමඟම එහි කඩා වැදී ඇති සන්නද්ධ පිරිස රැගත් වෑන් රථය ටී 56 අවි යොදාගෙන ඊට ප‍්‍රහාර එල්ල කර තිබේ.

ඒ අවස්ථාවේ මෝටර් රථය පාලනය කරගත නොහැකිව ගොස් තාප්පයක ගැටී නතර වී ඇත.

මෙම සිද්ධිය සැලවූ වහාම එම ස්ථානය වෙත ගිය මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේරත් මහතා විමර්ශන කණ්ඩායම්වලට උපදෙස් ලබා දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පිටත් කර යවා ඇත.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ‍්‍රී දමින්ද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත්, සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත කොටවිල පොලිස් ස්ථානාධිපති ආර්. ජී. හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු, සුගතපාල දීයගහගේ, ඡායාරූපය මාතර අතිරේක – ලලිත් පත්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment