අනියම් බිරිඳගේ මුහුණ සපාකා දෙලක්ෂ අසූදාහක රන් බඩු ඉස්සූ අනියම් සැමියා අත්අඩංගුවට

651

අනියම් බිරිඳ සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී බලහත්කාරයෙන් එය නතර කරවා, ඇගේ මුහුණ සපා කා බෙල්ල සූරා, තුවාල සිදුකර ඇය සතුව තිබූ රුපියල් ලක්ෂ තුනකට ආසන්න රන්මාල තුනක්, පෙන්ඩන් තුනක් සහ ජංගම දුරකථනය රැගෙන පලාගිය අනියම් පුරුෂයා අත්අඩංගුවටගෙන තිබේ. සැකකරු කොල්ලකන ලද එම රන් භාණ්ඩ හා ජංගම දුරකතනය පොලිසිය විසින් සොයාගෙන තිබේ. තුවාල ලැබූ පැමිණිලිකාරිය විලච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දකුණු ඉවුර, පේමඩුව ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි. තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටින පැමිණිලිකාරිය පේමඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරු සමඟ මීට මාස දහයකට පමණ පෙර සිට අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇත. මේ අතරවාරයේදී අනුරාධපුර උසාවියේ පැවති නඩු කටයුත්තක් සඳහා සහභාගී වී නැවත ආපසු යමින් සිටියදී මෙම කොල්ලකෑම සහ තුවාල කිරීම සිදුව ඇති බව පොලිසිය කියයි.

විලච්චිය වැවේ ගිනි පෙට්ටි පාලම අසලදී පසුපැදිකරු ලෙස ගමන් කළ අනියම් සැමියා තමාට යතුරුපැදිය නතර කරන ලෙසට පවසා තිබේ. එහිදී සැකකරු එක්වරම තමාගේ මුහුණ සපා දමා බෙල්ල සූරා තුවාල සිදු කර දෙලක්ෂ අසූදාහක් වටිනා රන්මාල තුනක්, පෙන්ඩන් තුනක් සහ ජංගම දුරකතනය රැගෙන පලාගිය බවත්, පැමිණිලිකාරිය ප්‍රකාශවල සටහන් ඇතැයි පොලිසිය සඳහන් කළේය. මහවිලච්චිය පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. මලලසේකර මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් පිරිසක් විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment