අනියම් බිරිඳට වධ දුන් ආබාධිත යුද හමුදා සෙබළාට අධිකරණයෙන් දැඩි අවවාද

386

ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කළ විදෙස්ගත වී සිටි විවාහක කාන්තාව (අවු. 31) සමග අනියම් ඇසුරක් පවත්වා ඇය මාස 8 ක පමණ කාලයක් බරපතළ ලෙස හිංසනයට ලක්කළ ආබාධිත යුද හමුදා සෙබළා (අවු 34) අත්අඩංගුවට ගෙන වාරියපොල මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත්කිරීමෙන් පසු ඔහුට දැඩිසේ අවවාදකර ඇගේ නිවසට ඇතුල්වීමට එරෙහිව තහනම් නියෝගයක් පැනවිය.

ආබාධිත යුද හමුදා සෙබළා (අවු 34) අවිවාහකයකු වන අතර ඔහු මීගලෑව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු කුරුණෑගල බෝයගනේ යුදහමුදා කඳවුරේ දැනට සේවයේ යෙදී සිටින සෙබළෙකි.

වසර ගණනාවක් පුරා ඊශ‍්‍රායල් රටේ විදෙස්ගත වී සිටිය දී විදෙස්ගත වූවන් සමග ඇතිකරගත් සංවිධානයක් මගින් ශ‍්‍රී ලංකාවේ ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීමට ඔවුන් හඳුනාගැනීම ස`දහා මුහුණුපොත මගින් කළ ඉල්ලීම මත මෙම සිද්ධියට සම්බන්ධ ආබාධිත සෙබළාද තමන්ට රෝදපුටුවක් ලබාගැනීමට පිහිටවන ලෙස ඉල්ලීමක්කර ඇත.

සුබසාධනය අනිසි ලෙස ප‍්‍රයෝජනයට ගත් ආබාධිත යුද හමුදා සෙබළා විදෙස් ගතවී සිටි කාලය තුළදීම මෙම විවාහක කාන්තාව සමග අනියම් ඇසුරක් පවත්වා ඇය මව් රටට පැමිණි පසු ඇය සමග අඹුසැමියන් ලෙස ජීවත්වීමට වාරියපොල ප‍්‍රදේශයේ අළුගම ග‍්‍රාමයෙන් මුදලට නිවසක් ගෙන ඇත.

යහමින් මුදල් හිමි මෙම කාන්තාව සමග කල්ගෙවූ දැනට යුදහමුදා සේවයේ නියත වූ ආබාධිත සෙබළා අනියම් බිරියට මාස කිහිපයක සිට දැඩිසේ හිංසනයට ලක්කරන බවත් තවත් කාන්තාවන් ගණනාවක් සමග ඇසුර පවත්වන බවත්, පසුගිය 4 දින නිවසේ තිබූ බල්ලන් බඳින දම්වැලකින් ඇගේ කලවා පෙදෙසට පහරදී බරපතළ ලෙස තුවාල සිදුකර ඇත.

ඇය පසුගිය 4 දින වාරියපොල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිරීමෙන් පසු අනියමි සැමියා ලෙස සිටින ආබාධිත යුද හමුදා සෙබළා වාරියපොළ පොලිසිය අත්අඩංගුවට ගෙන වාරියපොල මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලදී. පොලිසිය ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලටගත් අධිකරණය අනියම් බිරියගේ නිවසට ඇතුල් නොවන ලෙස නියෝගකර සෙබළාට දැඩිසේ අවවාදකළ බව වාරියපොල පොලිස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර තල්වත්ත මහතා පැවැසීය. නැවත නඩු විභාගය නොවැම්බර් මස 25 දිනට කල් තැබිණි.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment