අනියම් බිරිඳ සමග කම්සැප පෙන්වා මිනිස්සු නිරුවත් කර මුදල් ගත් ව්‍යාජ ඕඅයිසී

3702

චාමර හෝමාගම ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 24 කි. අවිවාහකයෙකි. හරිහමන් අධ්‍යාපනයක් නොලද ඔහුට ස්ථිර රැුකියාවක් නොතිබුණි. එම නිසා ජීවත් වීම සඳහා ඔහු නොයෙක් දෑ කළේය. ඒ අතර නීති විරෝධී ක‍්‍රියා ද විය.

වැල්ලවත්ත, කූඹි කැලේ පදිංචි සඳුනි වයස අවුරුදු 26 ක තරුණියකි. රූමත් තරුණියක් වන ඇය වයස අවු. 18 වීමටත් පෙර ජීවිතය වරද්දවා ගත්තාය. එම නිසා පාසල් අධ්‍යාපනය ද අතරමග නතර කර දැමීමට ඇයට සිදු වූවාය.

පාසල් ජීවිතයට සමු දුන් පසු ජීවත්වීම සඳහා ඇය සුළු රැකියාවන් කිහිපයකම නිරත වූවාය. ඒ අතරතුර පාසල් කාලයේ මෙන්ම විටින් විට පෙම්වතුන් කිහිප දෙනෙක් ද ඇය ඇසුරු කළාය. එහෙත් ඒවා කිසිවක් ස්ථීර ඒවා නොවීය. වසර කීපයක් එලෙස ගෙවී ගියේය.

දිනක් හෝමාගම චාමරට කූඹි කැලේ සඳුනිව දැන හඳුනා ගැනීමට හැකිවිය. ඒ මිතුරකු මාර්ගයෙන්ය. සතු කිහිපයක් ගතවෙද්දී එම මිතුදම නොදැනුවත්ම ආදරයක් බවට පෙරළුණි. ඉන්පසු සඳුනිගේ අලූත්ම පෙම්වතා බවට පත්වූයේ හෝමාගම චාමරයි.

මාස කීපයක් ගතවෙද්දී දෙදෙනා දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්හ. එම නිසා දිනක් දෙදෙනා මෙලෙස කතාබස් කළහ.

”අපි දෙන්නා අතේම දැන් සල්ලි නැහැ.”

”එක තමයි චාමර මමත් කල්පනා කළේ. ගන්න සොච්චම් පඩිය දවස් තුන හතරක්වත් ජීවත් වෙන්න මදි.”

”ඒක තමයි සඳුනි මටත් හරි හමන් ආදායමක් නැහැ නේ.”

”රස්සාවල් කරලා කවදාවත් ගොඩ යන්න බැහැ චාමර.”

”ඒක නම් ඇත්ත සඳුනි.”

”කරනවා නම් බිස්නස් එකක් තමයි කරන්න ඕනා.”

”කෝ එකට අපේ අතේ සල්ලි.”

”ඒකනේ අතේ සතේ නැතුව මොන බිස්නස් ද?”

”හැබැයි මගේ ළඟ අයිඩියා එකක් තියෙනවා. මම දැන් මාස ගාණක ඉඳන් මේ ගැන හිතනවා.”

”මොකක්ද ඒ අයිඩියා එක.”

”කියන්නං හැබැයි මං ගැන වරදවා හිතන්න එපා.”

”කියන්න ඔයා මගේ පණනේ. මම එහෙම වැරදියට හිතන්නේ නැහැ.”

”අපි ඔන්ලයින් බිස්නස් එකක් කරමු.”

”ඒ මොකක්ද?”

”දැක්කනේ පහුගිය දවස්වල ගල්කිස්ස පැත්තේ බාලවයස්කාර කෙල්ලෙක් ගෙන් එක මිනිහෙක් හම්බ කරගත්ත ගාණ.”

”මොකක්ද ඔයා කියන්නෙ චාමර මට පැහැදිලි නැහැ.”

”සරලව කිව්වොත් අන්තර්ජාලයේ විස්තර දාලා බාලවයස්කාර කෙල්ලෙක්ව සල්ලිවලට විකුණුවේ.”

”ඔයාට පිස්සුද මාවත් ඒ විදියට විකුණන්න ද හදන්නේ.”

”ඒකනේ මම මුලින්ම කලබල වෙන්න එපා කිව්වේ. පොඞ්ඩක් අහගෙන ඉන්න මම කියන දේ.”

”කියන්නකො බලන්න.”

”මම ඔයාව මිනිස්සුන්ට විකුණන්නේ නැහැ. හැබැයි අපි මෙහෙම දෙයක් කරමු. ඔයා කැමති නම් විතරක්.”

”කැමතිද නැද්ද කියන්න ඉස්සෙල්ලා කරන්නේ මොකද්ද කියලා කියන්නකො.”

”හරි එහෙනම් හොඳට අහගන්න. අපි ඉන්ටර්නෙට් එකේ මූණ බොඳ කරලා ඇඟ පත පේන පොටෝ ටිකක් දානවා. ඊට පස්සේ සිත් ඇදගන්නා සුළු විස්තර ටිකකුත් දාලා එපාර්ට්මන්ට් එකක ඉන්නවා කියලත් සඳහන් කරලා පැයකට සාධාරණ ගාණකුත් දාමු.”

”ඉතිං ඊට පස්සේ.”

”ඉන්ටර්නෙට් එකේ ඔය දැන්වීම දැකලා හොඳ සල්ලිකාරයෝ අපිට කෝල් කරයි.”

”ඒගොල්ලන්ට මගේ ඇඟ විකුණන්න ද කියන්නේ.”

”පිස්සුද මම කවදාවත් ඔයාට එහෙම කරන්න කියනවද?”

”කොහොම විස්තර දාලා මිනිස්සු ආවට පස්සෙ මොකද්ද කරන්න කියන්නේ.”

”මිනිස්සු ආවට පස්සෙ මම එන්නම් පොලිසියේ විදිහට. ඉන්පස්සෙ උන්ව බය කරලා සල්ලි එක්ක ළඟ තියෙන වටින කියන සේරම දේවල් ගමු.”

”ඔයා හිතන්නෙ අපිට කරන්න පුළුවන්ද ඔය වගේ වැඩ. පොලිසියේ තමයි ළගින්න වෙන්නේ.”

”ඔයාට පිස්සුද? කවදාවත් ඔය වගේ සිද්ධියකට ඒ වගේ මිනිස්සු පොලිසි යන්නේ නැහැ.”

”ඔයාට විශ්වාසද?”

”ඔව් මට හොඳට විශ්වාසයි ඒ ගැන. මොකද කියන්නේ ඔයා.”

”අනේ මන්දා මට නම් බයයි.”

”පිස්සුද ඔයා බයවෙන්න එපා. මම ළඟම ඉන්නවනේ. මේක අපි මොළෙන් ගහන ගේමක්.”

”ඔයා ළඟ ඉන්නව නම් මගේ අකැමැත්තක් නැහැ.”

”දැන් කොහොමද ඔය වැඬේ අපි පටන් ගන්නේ.”

”මුලින්ම අපි මහල් නිවාස සංකීර්ණයක කාමර දෙකක් කුලියට ගමු.”

”ඒ කොහෙන්ද?”

”දෙහිවල පැත්ත හොඳයි.”

”ඊට පස්සේ.”

”එක කාමරයක අපි දෙන්නා ජීවත් වෙමු. අනෙක් කාමරය අපේ වැඬේට ගමු.”

”ඒ කියන්නේ අපි කසාද නොබැඳ එකට පවුලූත් කනවා.”

”ඔව් සඳුනි. ඔයා අකමැති ද? මම ඔයාට ආදරෙයි. සල්ලි නැති නිසා නෙ අපි එහෙම කරන්නේ.”

”ඇයි මම අකමැති වෙන්නේ. ඔයා මට ආදරේ බව දන්නවා.”

”එහෙනම් අපි ලබන සතියෙම මේ වැඬේ පටන් ගමු. එතකොට අපි දෙන්නට එකට ඉන්නත් පුළුවන්.”

”අනිවාර්යෙන් ඔයා තැනක් හොයාගන්න චාමර මම එනවා ඔයා ළඟට.”

”හරි සඳුනි මම හැමදේම බලා ගන්නම්.”

එදින දෙදෙනාගේ කතාව එලෙස අවසන් වූහ. ඉන් දින කිහිපයකට පසු චාමර දෙහිවල ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක කාමර දෙකක් කුලී පදනම මත ලබා ගත්තේය. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ගත් දෙදෙනා එහි පදිංචියට ගියහ. ඉන්පසු අනියම් අඹුසැමියන් ලෙස ඔවුන් දෙදෙනා එහි ජීවත් වීමට පටන් ගත්හ.

එලෙස පදිංචියට පැමිණ දින කිහිපයකට පසු චාමර සහ සඳුනි පෙර කතා කරගත් පරිදි අන්තර්ජාලයේ දැන්වීමක් දැමූහ. දැන්වීම දමා පැය කිහිපයකට පසු එහි සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලැබුණි. ඒ බම්බලපිටියේ පිහිටි ප‍්‍රසිද්ධ පෞද්ගලික සමාගමක කළමනාකරුවකුගෙනි. ඔහු සඳුනි සමග මෙලෙස කතාබස් කළහ.

”මම සමන්.”

”ඔව් කියන්න සර්.”

”මම ඉන්ටර්නෙට් එකේ ඔයා ගැන විස්තර දැක්කා. ඒ ඇත්තද?”

”ඔව් ඔව් ඒක ඇත්ත. මම දෙහිවල ගෙදර තනියම ඉන්නේ. වෙන අය වගේ මම පිටතැන්වලට යන්නේ නැහැ. එක පාරක් සර් ඇවිල්ලා බලන්නකෝ.”

”එහෙමද? ඒකෙ ඔයාගේ ඇත්ත වයසද දාලා තියෙන්නේ.”

”ඔව් සර්. මට තවම අවුරුදු විසි තුනයි. ඒ පින්තූරවල ඉන්නෙත් මම.”

”එහෙනම් ඔයා ගොඩක් පොඩියිනෙ.”

”පොඩි උනාට වැඩ බලන්නකෝ.”

”හැමෝම ඔහොම තමයි කියන්නේ.”

”වෙන අය වගේ නොවෙයි මම. කතා කරන හැම එක්කෙනා එක්කම යන්නෙත් නැහැ. කතා කරලා බලලා වැදගත් වගේ පේනවා නම් විතරයි ඉන්නේ.”

”මාව වැදගත් විදිහට පෙනුනේ නැත්නම්.”

”සර්ට ආපහු හැරිල යන්න වෙනවා. කතා කරන්නැතුව ඇවිත් බලන්නකෝ.”

”හැබැයි මට අවුරුදු පනහක් විතර වෙනවා.”

”එහෙනම් හොඳ එක්ස්පීරියන්ස් එකක් ඇතිනෙ. මුලින්ම සර් එන්නකෝ බලන්න.”

”අද හවස එන්නම් මම. කොතනටද එන්න ඕනා.”

”දෙහිවල හන්දියට ඇවිල්ල කෝල් එකක් දෙන්න. මම තැන කියන්නම්.”

”හරි මම අද හවස හතර වෙනකොට එතනට එන්නම්.”

”හරි සර් මං බලාගෙන ඉන්නවා. ජීවිතයේ නොවිඳපු දෙයක් දෙන්නම්කො මම.”

ඇමතුම එලෙස අවසන් විය. චාමර ද එම ඇමතුම හොඳින් අසාගෙන සිටියේය. ඉන්පසු ඔහු සඳුනිට මෙලෙස පැවසුවේය.

”ඔයා ඔය මිනිහව අල්ලපු රූම් එකට ගෙන්න ගන්න. මුලින්ම කියන්න වොෂ් එකක් දාගෙන එන්න කියලා. ඊට පස්සේ මම කාමරේට එන්නම්. ඔයාට තියෙන්නේ සද්ද නැතුව බලාගෙන ඉන්න විතරයි.”

සවස හතරට දෙහිවල හන්දියට පැමිණි එම පුද්ගලයා සඳුනිට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. ඉන්පසු සඳුනි ඔහුට පැමිණිය යුතු තැන දැනුම් දුන්නාය. ඒ අනුව ඔහු මහල් නිවසේ සඳුනි පැවසූ කාමරයට පැමිනියේය.

තරුණ සඳුනිව දුටු අවුරුදු 50 ක් පමණ වයසැති එම පුද්ගලයාට එක්වරම ඉවසුම් නොමැති විය. එම නිසා ඔහු එක්වරම සඳුනිව සිප ගැනීමට සූදානම් වූයේය. එවිට එය වළක්වමින් ඇය ඔහුට මෙලෙස පැවසුවාය.

”මුලින්ම ගිහිල්ලා වොෂ් එකක් දාගෙන එන්න. ඊට පස්සේ ඕන දෙයක් හිතේ හැටියට කරන්න.”

ඉන්පසු ඇයට අවනත වූ ඔහු නාන කාමරයට ගියේය. එලෙස ගිය ඔහු හැකි ඉක්මනින් ඇඟපත සෝදා තුවාය පිටින් එළියට පැමිණියේ තම සිතේ තිබූ කාම ආශාවන් එම තරුණියගෙන් ඉටු කර ගැනීමටයි.

එලෙස නාන කාමරයෙන් එළියට පැමිණි පසු දුටු දෙයින් ඔහු පුදුමයෙන් පුදුමයට පත්විය. තරුණිය පිටුපස තරුණයෙකුද සිටියේය. ඒ සමඟම ඔහු එම තරුණියගෙන් මෙලෙස විමසුවේය.

”කවුද මේ.”

එයට පිළිතුර ලබා දුන්නේ තරුණිය නොව එම තරුණයාය.

”මම කවුද කියල අහන්න තමුසෙ කවුද?”

”මම කවුරු වුණත් ඔයාට වැඩක් නැහැනෙ.”

”මට වැඩක් තියෙනවා. තමුසේ මෙතැනට ආවේ මොකටද?”

”මම ආපු කාරණය මෙයත් එක්ක බලා ගන්නම්. ඔයා දැන් මෙතනින් යන්න.”

”තමුසේ කොහොමද මට යන්න කියන්නේ. මම දෙහිවල පොලිසියේ ඕඅයිසී. මම දන්නවා තමුන් මෙතනට ආවේ මොකටද කියලා. ඒක නිසා වද නොවී මම කියන දේ කරනවා දැන්.”

එය ඇසීමෙන් එම පුද්ගලයා තරමක් බියට පත්විය. එලෙස බියට පත්වූ ඔහු යළි මෙලෙස පැවසුවේය.

”අනේ සර් මට සමාවෙන්න. ආයි මෙහෙම වරදක් කරන්නෙ නෑ මම. පොලිසියට නම් ගෙනියන්න එපා මාව. අදට විතරක් සමාව දෙන්න. මම දරුපවුල්කාරයෙක්.”

”හැමෝම කියන්නේ ඕක තමයි. සමාවක් දෙන්නෙ නෑ තමුසෙට.”

”සර් මම ඉල්ලන දෙයක් දෙන්නම්.”

ඒ සමගම චාමර සඳුනිට මෙලෙස පැවසුවේය.

”බලනවා මෙයාගෙ පර්ස් එකේ කීයක් තියෙනවද කියලා.”

ඒ අනුව සඳුනි එම පුද්ගලයාගේ පසුම්බිය ගෙන එහි ඇති මුදල් සියල්ල ගණන් කර බැලූවේය. රුපියල් තිස් පන්දාහක මුදලක් එහි තිබුණි.

දෙහිවල ඕඅයිසී ලෙස ව්‍යාජව පෙනී සිටි එම පුද්ගලයා යළි මෙලෙස පැවසුවේය.

”මේ වගේ උන්ට හොඳ පාඩමක් උගන්නන්න ඕනා. ඒක නිසා ඔයා ඔය සල්ලි ටික සේරම තියාගන්න. කෝ මෙයාගේ අතේ මුද්දකුත් තියෙනවා නේද. ඒකත් ගලවා ගන්න.”

”අනේ සර් සල්ලි ටික මම දෙන්නම්. ඒක මගේ මඟුල් මුද්ද ඒක විතරක් දෙන්න මට.”

”මඟුල් මුද්ද තියාගෙනද මේ වගේ වැඩ කරන්න එන්නෙ. ඕකත් ගලවලා මේ කෙල්ලට දීලා ඉක්මනින්ම මෙතනින් මාරු වෙනවා. නැත්නම් කූඩුවට ගිහිල්ලා දානවා.”

කොතරම් බැගෑපත් වුවත් ඔහුට මඟුල් මුද්ද යළි ලබා ගැනීමට නොහැකි විය. බැරිම තැන ඔහු සල්ලිත් මඟුල් මුද්දත් අහිමි කරගෙන එම ස්ථානයේන් එළියට පැමිණියේ. එලෙස මද දුරක් පැමිණෙන විට එම ස්ථානයට පැමිණියේ පොලිස් නිලධාරියෙක් නොවන බව ඔහු තේරුම් ගත්තේය.

දැන් කිසිවක් සිදු කිරීමට නොහැකි බව ඔහු තේරුම් ගත්තේය. අවම වශයෙන් පොලිසියටවත් ගොස් පැමිණිල්ලක් දැමීමට නොහැකිය. ඒ මන්ද යත් තමා ද සිදු කර ඇත්තේ වරදක් නිසාය. අවසානයේ වංචාකාර තරුණියකට හසුවූ බව සිතේ තබා ගත් ඔහු දුක් මුසු සිතින් යුතුව නිවස වෙත ගියේය. ඒ යන අතරතුර ඔහු කල්පනා කළේ මඟුල් මුද්ද සම්බන්ධයෙන් බිරිඳට කුමක් පවසන්නේද කියාය.

එම පුද්ගලයා ගියපසු චාමර සහ සඳුනි සතුටු සිතින් යුතුව මෙලෙස කතාබස් කළහ.

”කොහොමද අපේ පළවෙනි බිස්නස් එක.”

”ඒකනෙ චාමර. රුපියල් තිස්පන්දාහයි පවුම් දෙකක විතර රත්තරන් මුද්දයි.”

”ඒකනේ මම කිව්වේ. මේ වැඬේ කරන්න ලේසියි කියලා.”

”ඒ වුණාට මට බයයි. ඒ මිනිහා පොලිසි යයි ද දන්නේ නැහැ.”

”ඔයාට පිස්සුද? කවදාවත් ඒ මිනිහා පොලිසි යන්නෙ නැහැ.”

”එහෙම නම් අපි මේක දිගටම කරමු. ඉක්මනින්ම අපිට කෝටිපතියො වෙන්න පුළුවන්.”

”ඒක තමයි දවසට දෙක තුනක් කරගත්තනං හොඳටම ඇති. සුපිරි ජීවිතයක් අපිට ගෙවන්න පුළුවන්.”

”ඔව් ඔව්. අපි මේක දිගටම කරගෙන යමු.”

එතැන් පටන් ඔවුන් දෙදෙනා අන්තර්ජාලයේ කැමති ඕනෑම වයසක තරුණියන් සිටින බවට දැන්වීම් දමා දිගින් දිගටම විවිධ තරාතිරමේ පුද්ගලයින් ගෙන්වා බලහත්කාරයෙන් නිරුවත් වීඩියෝ පට පවා ලබාගෙන ඔවුන් බියට පත්කර මුදල් හා වටිනා භාණ්ඩ කොල්ල කෑවේය. ඉංජිනේරුවන්, වෛද්‍යවරු, ව්‍යාපාරිකයන් සහ නීතිඥවරුන් ද ඒ අතර වූහ.

මාස කීපයක් මෙම අනියම් යුවළ කිසිදු බාධාවකින් තොරව එලෙස මිනිසුන් රවටා ඔවුන්ගේ මුදල් සහ වටිනා භාණ්ඩ ගෙන සැපවත් ජීවිතයක් ගත කළහ.

ඕමානයේ රැුකියාවක නිරත වූ රසික යළි මෙරටට පැමිණියේ දැනට සති කිහිපයකට ඉහතදීය. එලෙස පැමිණි ඔහු අන්තර්ජාලයේ පළකර තිබූ මෙම දැන්වීම දුටුවේය. ඒ අනුව ඔහු එම දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන එම ස්ථානයට පැමිණියේ තරුණියකගේ පහස ලබා ගැනීමටයි.

නියමිත දින, නියමිත වේලාවට තරුණිය පැවසූ ස්ථානයට ඔහු පැමිණියේය. එලෙස පැමිණි ඔහු එම තරුණියගේ පහස බලාපොරොත්තුවෙන් කාමරය තුළට ඇතුළු විය. එලෙස ඇතුළු වූ ඔහුට කිසිදිනෙක නොසිතූ දෙයකට මුහුණ දීමට සිදු විය.

තරුණිය සමග එහි සිටි තරුණයා තමන් දෙහිවල පොලිසියේ ඕඅයිසී ලෙස රඟපාමින් රසික ව බියට පත් කළේය. එතනින් නොනැවතුණු ඔවුන් දෙදෙනාද එම තරුණයාව නිරුවත් කර මුළු ශරීරයම වීඩියෝ කර ගත්තේය. ඉන්පසු ඔහු සතු සියලූම මුදල් සහ රත්තරන් බඩු සුපුරුදුපරිදි රැගෙන එම ස්ථානයෙන් පිටව යන ලෙස ඔහුට තර්ජනය කළේය.

එලෙස වංචනික ලෙස තමාගේ මුදල් සහ රන්භාණ්ඩ කොල්ලකෑ යුවල ගැන ඔහු සිටියේ දැඩි කෝපයකිනි. එමනිසා ලැජ්ජාව පසෙක තබා ඔවුන් දෙදෙනාට පාඩමක් ඉගැන්විය යුතු යැයි ඔහු කල්පනා කළේය. ඒ අනුව දෙහිවල පොලීසියට ගොස් ඔහු මෙම සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් දැමුවේය.

පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත ලියනගේ මහතා මෙම සිද්ධිය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් මලවීර මහතාට උපදෙස් ලබා දුන්නේය.

ස්ථානාධිපතිවරයාගේ එම උපදෙස්වලට අනුව ක‍්‍රියාත්මක වූ ඔහු වහාම පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට යවා අදාළ සැකකරුව සහ සැකකාරිය අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී එම සැකකරු පැවසුවේ සැකකාරිය සමග තරුණියන් ලබා දෙන බව පවසා අන්තර්ජාලයේ දැන්වීම් දමා සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයින් එම ස්ථානයට ගෙන්වා තමා දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ලෙස රඟපාමින් එම පුද්ගලයන් නිරුවත් කර වීඩියෝ පට ලබා ගනිමින් බියට පත්කර මුදල් හා වටිනා භාණ්ඩ කොල්ලකෑ බවයි.

වැඩිදුරට කළ විමර්ශනවල දී හෙළි වූයේ වෛද්‍යවරු, ගුරුවරු, ඉංජිනේරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් මෙම ස්ථානයට පැමිණ මෙම යුවළගේ අඩන්තේට්ටම්වලට හසු වී ඇති බවයි. සමාජයට ඇති ලජ්ජාව නිසා ඔවුන් ඒ බව කිසිවෙකුටත් පවසා නොමැත.

ඔබත් දෙහිවල මහල් නිවාස සංකීර්ණයක විසූ මෙම අනියම් අඹු-සැමි යුවළගේ අඩන්තේට්ටම්වලට ලක් වූයේ නම් ලැජ්ජාව පසෙක තබා රහසිගතවම දෙහිවල පොලීසියට ඒ පිළිබඳව පැමිණිලි කරන්න. එවිට ඔබටත් සාධාරණය ඉටු වනු ඇත.

දෙහිවල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් මලවීර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක දිසානායක, පොලිස් කොස්තාපල්වරුන් වන නිහාල් (64825), චාමර (91860), රත්නායක (94078), කාන්තා පොලිස් කොස්තාපල් සඳමාලි (10908) යන නිලධාරීහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment