අනියම් සැමියාගේ කතුරු පහරින් දෙදරු මව මරුට

622

අමරනන්ද විජේසේකර – මහවැව

දුම්මලසූරිය පොලිස් වසමට අයත් බුන්නැහැපොල ප‍්‍රදේශයේ කාන්තාවක් ඇයගේ අනියම් සැමියා විසින් කතුරෙන් ඇන ඝාතනය ඇති බව පොලිසිය පවසයි.
 
 අනියම් සැමියාද කතුරෙන් ඇන ගැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ජයකොඩි ආරච්චිගේ සුනෙත‍්‍රා දමයන්ති නමැති වයස අවුරුදු 39 ක දෙදරු මවකි.
 
 මියගිය කාන්තාව පදිංචිව සිටි නිවසට අනියම් සැමියා බව පවසන පුද්ගලයා 15 වෙනි දින රාත‍්‍රියේ පැමිණ තිබේ. එම අවස්ථාවේ මියගිය කාන්තාව සමග නිවසේ ජීවත්වන ඇයගේ පුතා හා ඔහුගේ බිරිඳ කිසියම් අවශ්‍යතාවක් සඳහා ඥාති නිවසකට ගොස් සිටි නිසා ඇය අසල හිතවතියකගේ නිවසකට එදින රාත‍්‍රීය ගත කිරීමට ගොස් තිබිණි.
 
 අනියම් සැමියා නිවසට පැමිණි අවස්ථාවේ ඇය නොමැති බැවින් ඇයගේ දුරකථනයට කතා කළ ද ඇයගෙන් ඊට පිළිතුරු ලැබී නැත. අනතුරුව ඇයගේ ඥාතීන් කිහිපදෙනෙකුට ඔහු කතා කළ ද ඇය සම්බන්ධව තොරතුරක් ලැබී නොමැත. ඊට තදින්ම උරණ වූ ඔහු ඇය පැමිණෙන තුරු නිවසේ රැුඳී සිට තිබේ. අනතුරුව මියගිය කාන්තාව පසුදා එනම් 17 වැනි දින උදෑසන හයහමාරට පමණ නිවසට පැමිණි තිබේ.

අනියම් සැමියාගේ කතුරු පහරින් දෙදරු මව මරුට

එම අවස්ථාවේ අනියම් සැමියා ඇය නිවසේ නොසිටීම සම්බන්ධ ව විමසා ඇති අතර අනතුරුව බහින් බස් වී ඇත. එම අවස්ථාවේ ඔහු අත තිබූ කතුරකින් ඇයගේ පපුව ප‍්‍රදේශයට ඇන තිබේ. පසුව අනියම් සැමියාද කතුරෙන් ඇනගෙන තිබේ.
 
 අනතුරුව ප‍්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දන්වා තිබේ. පසුව දුම්මලසූරිය පොලිසිය හා 1990 ගිලන්රථ සේවය පැමිණ ඇයව පරීක්ෂා කර
 
 මියගොස් ඇති බව නිගමනය කර බරපතළ තුවාල ලැබ සිටි අනියම් සැමියා කුලියාපිටිය මහ රෝහලට රැුගෙන යෑමට කටයුතු කර ඇත.
 
 සිද්ධිය වූ ස්ථානයට කුලියාපිටිය දිසා හා මහෙස්ත‍්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත‍්‍රාත් උපුල් අලගියවන්න මහතා පැමිණ මූලික පරීක්ෂණය සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අධිකරණ වෛද්‍යවරයාට යොමු කිරීමටත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මෙම මස 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් නියෝග කළේය. බරපතළ තුවාල ලැබූ අනියම් සැමියා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතිව කුලියාපිටිය මහ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
 
 දුම්මලසූරිය පොලිසියේ ස්ථානාධිපති අතුල ගමගේ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ගිහාන් මනෝහර මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment