අනුන්ගේ බැංකු කාඩ් පතෙන් අන්දමන්ද වූ තරුණයන්ගේ  කොස්තාපල් සිහිනය කඩාවැටිලා: දෙලක්‍ෂ තිස්දාහක රන්බඩු හා ආහාර අරන්

695

පොලිස් කොස්තාපල් තනතුරට අයැදුම් කළ තරුණයන් දෙදෙනෙක් කහතුඩුව, පොල්ගස් ඕවිට ඒ.ටී.එම්. කුටියක අමතකව දමා ගිය බැංකු කාඩ් පතක් සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

ඔවුන් එම කාඩ්පත් උපයෝගී කරගෙන මිලදී ගත් රන් භාණ්ඩ මෙන්ම ආහාර ද්‍රව්‍ය ද පොලිස් භාරයට ගෙන ඇත.

අලූත්ගම ප‍්‍රදේශයේ පුද්ගලයකු ඒ.ටී.එම්. යන්ත‍්‍රයෙන් මුදල් ගැනීම සඳහා පසුගිය 31 දා පැමිණි අවස්ථාවකදී බැංකු කාඩ්පත අමතක වී දමා ගොස් තිබිණි.

අනුන්ගේ බැංකු කාඩ් පතෙන් අන්දමන්ද වූ  තරුණයන්ගේ  කොස්තාපල් සිහිනය කඩාවැටිලා: දෙලක්‍ෂ තිස්දාහක රන්බඩු හා ආහාර අරන්

සැකකරුවන් දෙදෙනා එම කාඩ්පතින් කහතුඩුව ප‍්‍රදේශයේ සුපිරි වෙළඳ සැලකින් හාල්, පිටි, පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් ලබා ගෙන බැංකු කාඩ්පත ලබාදී ඇති අතර ඒ මොහොතේම බැංකු කාඩ්පත් හිමියාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබීමත් සමග තම බැංකු කාඩ්පත නැති වී ඇති බව ඔහු දැනගෙන තිබූ බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා අනතුරුව බණ්ඩාරගම නගරයේ රන් භාණ්ඩ අලෙවි සැලකට ගොස් එක් අයකුට මාලයක් සහ අනෙක් පුද්ගලයාට අත් පළඳනාවක් ද මිලදීගෙන බැංකු කාඩ්පතින් ඒ සඳහා රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ගෙවා ඇතැයිද පොලිසිය කියයි.

කාඩ්පත් හිමියා අදාළ කාඩ්පත අක‍්‍රීය කරන අවස්ථාව වන විට සැකකරුවන් විනාඩි කීපයක් තුළ අවස්ථා පහකදී රුපියල් දෙලක්ෂ තිස්දහසකට අධික වටිනා භාණ්ඩ මිලදී ගෙන තිබූ බව පොලිසිය කියයි.

පොලිසියට ලද පැමිණිල්ල අනුව වහා ක‍්‍රියාත්මක වූ නිලධාරීන් අදාළ තොරතුරු ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

තමන් පොලිස් කොස්තාපල් තනතුරට මීට දින කිහිපයකට ඉහත දී අයැදුම් කර ඇති බැවින් තමන්ට සමාව දෙන ලෙස සොරකමේ යෙදුණු තරුණයන් දෙදෙනා පොලිස් නිලධාරීන්ට ආයාචනා කර ඇත.

සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරී සාරනාත් සමරකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත ප‍්‍ර.පො.ප. තුසිත වික‍්‍රමරත්න, අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. අතුල ගම්ලත් යන නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment