අනුන්ට බණ දේශනා කරන්න කලින් සුදුසු ගුණයේ පිහිටා ඉන්න

128

විපක්‍ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී කියයි

බුදු සසුනේ පැවිදි වී බුදුරජාණන් වහන්සේට එරෙහිව කටයුතු කළේ කුමන අංගුලිමාල දැයි තමන් දැන ගැනීමට කැමැති යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30දා) විමසීය.

හෙතෙම මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ඊට පෙර දින (29) කරන ලද කතාවකට පිළිතුරු වශයෙනි. එහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

බුද්ධාගම පිළිබඳව විශේෂ සැලකිල්ලක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම දක්වා තිබෙනවා. පරාභව සූත්‍රයේ තිබෙනවා බුද්ධාදී මහා සඟරුවන ප්‍රිය නොකරන්නේද, මිථ්‍යාදෘෂ්ටික අසත්පුරුෂ ධර්මයට ප්‍රිය කෙරෙත්ද, එය පිරිහීමේ දොරටුවයි කියලා. ඒ නිසා පිරිහීම පිළිබඳව පරාභව සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම වසල සූත්‍රයේ තිබෙනවා යමෙක් සම්මා සම්බුදු රජාණන් වහන්සේට, ගිහිපැවිදි අයට නිග්‍රහ කෙරෙයි නම් තමා වසලයෙක් වේ කියලා. මම මේ සූත්‍ර දෙක ගැන සඳහන් කළේ ශාසනයට, මහා සංඝරත්නයට අපහාස කිරීම වැරදියි කියලා පෙන්වන්න. ඊයේ ජනාධිපතිතුමා මේ සභාවේ දී මම කියපු දෙයක් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා.

ඊයේ දින ජනාධිපතිතුමා සඳහන් කරලා තිබෙනවා සිවුරු හැඳගෙන අංගුලිමාල බුදුරජාණන් වහන්සේට එරෙහිව කටයුතු කළා කියලා. නමුත් එහි බරපතල වරදක් තිබෙනවා. ඒ වරද මුල් කරගෙන කියන්න පුළුවන් ජනාධිපතිතුමා බුදුදහම ගැන දන්නේ නෑ කියලා. ඒ හරහා එතුමාට අපහාස කරන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරනවා එතුමා කරපු ඒ වැරදි කතාව නිවැරදි කරන්න කියලා. ඒ එතුමාට ගෞරවයක් ලෙස. අපි අහලා තිබෙන්නේ පැවිදි වෙලා බුදුන්ට විරුද්ධව වැඩ කළේ දේවදත්ත කියලායි. ඒවගේම අංගුලිමාල රහත්භාවයට පත්වෙලයි පැවිදි වුණේ කියලා. ඒ නිසා මම දැන ගන්න කැමතියි බුදු සසුනේ පැවිදි වෙච්චි මොන අංගුලිමාල ද බුදුන්ට එරෙහිව කටයුතු කළේ කියලා. ගුරුන්ටත් අකුරු වරදී කියලා කියනවානේ. ඒ නිසා එතුමාට වැරැද්දක් වෙන්න ඇති. ඒ නිසා විපක්ෂ නායක ලෙස මම එතුමාට ගෞරවයක් ලෙස ඒක නිවැරදි කරන්න ඕනා. අනෙක අනුන්ට බණ දේශනා කරන්න කලින් තමන් සුදුසු ගුණේ පිහිටා සිටින්න ඕනා. ඒ වගේම සමාජයේ තිබෙන ප්‍රශ්නයක් තමයි සරු දේ නිසරු ලෙසත් දකිනවා.

ඒ වගේම වසලයා කවුද බ්‍රාහ්මණයා කවුද කියලා ජනතාව දන්නවා. තමන් කවුද කියලා ක්‍රියාවෙන් ඔප්පුවෙනවා දැන්. ඒක රටම දන්නවා. වියත් කියලා පඹයෙක්ව ගෙනල්ලා රටටම කරපු විනාශය දැන් පේනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment