අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට හිමිකමක් නෑ – පා. ම. නීතිඥ උදය ගම්මන්පිල

141

ජනාධිපතිට කවුරු හෝ රාජකීය ලණුවක් දීලා:

පත්කළ ජනාධිපතිවරයෙකුට සිය ධුර කාලයෙන් වසර හතරකට පසුව ජනාධිපතිවරණයක් කැඳවිය නොහැකි නිසා ජනාධිපතිවරයාට නොවැම්බර් 18 ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ නොහැකි බව පාර්ලිමෙන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (22 දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

විපක්ෂයේ සමහර දේශපාලකයන් මැතිවරණය කල් දැමීම පිළිබඳ රජයේ මුද්‍රණාලයාධිපතිනියට දොස් කියනවා. තවත් සමහරු භාණ්ඩාගාර ලේකම්ට දොස් කියනවා. මැතිවරණ කොමිසමට බැන වදින අයත් ඉන්නවා. නමුත් රජයේ නිලධාරින්ට දොස් කියලා වැඩක් නෑ. ඒ අය චක්‍රලේඛ, ඇමති මණ්ඩල තීන්දු සහ ඇමතිවරයාගේ නියෝග අනුව කටයුතු කරන්න නීතියෙන් බැඳිලා ඉන්නවා. ණයට කිසිම භාණ්ඩයක් විකුණන්න එපා සේවාවක් සපයන්න එපා. එහෙම කළොත් තමන්ට පෞද්ගලිකව වග කියන්න වෙනවා කියලා චක්‍රලේඛයක් නිකුත් කළාම මුද්‍රණාලාධිපතිනියට මුදල් ගන්නේ නැතිව ඡන්ද පත්‍රිකා නිකුත් කරන්න බෑ තමයි. ඡන්දය කල් දැමීම දේශපාලන තීන්දුවක්. අපි ඒකට අල්ලා ගන්න ඕනෑ ජනාධිපති ප්‍රමුඛ දේශපාලකයන් මිස බෙල්ලෙන් අල්ලා ගන්න ලෙහෙසි නිලධාරින් නොවේ.

සමහරු කියනවා ජනාධිපතිතුමා පුංචි ඡන්දය කල් දාන්නේ නොවැම්බර් 18දාට ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලාපොරොත්තුවෙන් කියලා. ඒක නිසා ජනපතිවරණයට කලින් ආණ්ඩුව වෙනත් ඡන්දයක් පවත්වලා ඒක අන්ත පරාජයකට පත් වුණාම ජනාධිපතිතුමාට නොවැම්බරයේ පවත්වන ජනාධිපතිවරණයට අයහපත් විධියට බලපාන්න පුළුවන්. ඒක නිසා ජනාධිපතිවරණය පවත්වන තුරු වෙනත් කිසිම ඡන්දයක් පවත්වන්න නරකයි කියලා ජනාධිපතිතුමා හිතනවාලු. මේ කතාව ඇත්ත නම් කවුරු හරි ජනාධිපතිතුමාට රාජකීය ලණුවක් දීලා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3අ)(අ) වගන්තිය අනුව ජනාධිපතිවරයා ස්වකීය ප්‍රථම ධූර කාලයේ වසර හතරක් සම්පූර්ණ කළාම නැවත වරක් තරග කරන්න ජනාධිපති බලාපොරොත්තු වන්නේ නම් මැතිවරණයක් පැවැත්විය හැකි බව පවසනවා. ඒ අනුව නම් ජනාධිපතිතුමාට නොවැම්බර් 18 මැතිවරණයක් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒ වගන්තියේ තිබෙන (ඉ) අනුවගන්තිය කියනවා ජනතා ඡන්දෙයන් පත් නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිට වසර හතරෙන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරන්න හිමිකමක් නෑ කියලා. ඒ කියන්නේ ව්‍යවස්ථාව හරි හැටි කියවපු නැති ගොඩ පෙරකදෝරුවෙක් තමයි නොවැම්බර් 18 ජනාධිපතිවරණය පවත්වන්න පුළුවන් කියා ජනාධිපතිට ලණුවක් දීලා තිබෙන්නේ.

ආණ්ඩුව මැතිවරණය කල් දාන්න ඉදිරිපත් කරන බොරු හේතුව තමයි සල්ලි නෑ කියන එක. ඇත්ත හේතුව සල්ලි නැති එක නොවේ. ආණ්ඩුවට ඡන්ද නැති එක. නවතම සමීක්ෂණ වාර්තා කියන පරිදි ආණ්ඩුවේ ඡන්ද බැංකුව 10% දක්වා පහත වැටුණු එක. නැතිනම් මිලියන 9,000ක් බිලියන 9ක් සොයා ගන්න එක අමාරු වැඩක් නොවේ. ඒක අපට ලොකු ගණනක් වුණත් ආණ්ඩුවට පොඩි ගණනක්. දවසකට රුපියල් බිලියන 15ක් මේ ආණ්ඩුව වියදම් කරනවා. ඒකත් එක්ක බලන විට මේ අපි කතා කරන්නේ දවස් භාගයක වියදමක් ගැන.
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment