අනුබුදු හිමි රුව මැවී පෙනේවා

166

ජෙට්ඨ මාසය – පොසොන් මාසය එකල ලක්දිව සැණකෙළි සමයක් විය. පොහෝ දිනය නැකත් කෙළියේ උත්කර්ෂවත් දිනය විය. මෙදින දේවානම්පියතිස්ස රජතුමා හතළිස් දහසක් රජසෙනඟ පිරිවරාගෙන මිස්සක පර්වතය අසල මුව දඩයමෙහි යෙදුණේය. රජතුමා මුවකු ලුහුබැඳීමේදී පිරිසගෙන් ඈත්ව වනයේ අතරමං විය. ගිමන් ඇරීම සඳහා පර්වතය පාමුල නතර විය. බලාපොරොත්තු නොවුණු මිහිරි හඬක් දෙසවන ඇමතුවේය.

“තිස්සයෙනි මෙහි එන්න”

ඒ හඬ ආවේ පර්වතය මුදුනෙනි. කඳු මුදුන බැලූ රජතුමාට කසාය වස්ත්‍රයෙන් සැරසී ගත් මිහිදු තෙරණුවන් දකින්නට ලැබුණි. මොහු මනුෂ්‍යයෙක්ද? නැතිනම් දෙවියෙක්ද? රජුට සැක ඇති විය.

මිහිඳු මාහිමියෝ “අපි ධර්මරාජයණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. දඹදිව සිට මෙහි පැමිණියෙමු. ඔබටම අනුකම්පාවෙන් ඔබගේම යහපත සලකා මෙහි පැමිණියෙමු” යැයි තම පිරිස හඳුන්වා දුන්හ. තෙරණුවන්ගේ ශාන්ත දර්ශනයෙන් මෙන්ම දඹදිවින් පැමිණි බව ඇසීමෙන් රජු සතුටු විය. දෙදෙනා සුහද සාකච්ඡාවකට යොමු විය. මේ සුහද සාකච්ඡාවේදී රජතුමා බුද්ධ ධර්මය වටහා ගැනීමට තරම් නුවණ මුහුකුරා ගිය අයකු බව මිහිඳු මාහිමියන්ට වැටහිණි. සාමීචී කතාව අතරතුර රාජභටයෝ ද එහි ළඟා වූහ. ඔවුනොවුන් හඳුනා ගැනීමෙන් පසු මිහිඳු මහ රහතන් වහන්සේ රැස්වූ පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළහ.

මිහිඳු තෙරණුවන් එදා දේශනා කළ සූත්‍ර දේශනාව අභිනවයෙන් බුදුදහම වැළදගන්නා පිරිසක් සඳහා අතිශයින්ම උචිත වූවක් විය. චුල්ල හත්ථි පදෝපම සූත්‍රයෙහි නිධාන කථාව වනුයේ “ජානුස්සෝනි නම් ධනවත් තරුණයකු පිලෝතික නම් වූ දූතයකුගේ මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේ ගැන අසා ප්‍රසාදයට පත්වීමේ සිද්ධියයි. මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර දේශනාවක් වන මෙයින් මුළු බුදුදහමම සංක්‍ෂිප්තව දක්වා ඇත.

තෙරුවන් කෙරෙහි ප්‍රසාදයට පත්වන තැනැත්තකු ක්‍රමයෙන් කාය, වචී සංවරයෙහි පිහිටා චාරිත්‍ර වාරිත්‍ර සීලයන්හි හික්මී සැනසීම ලබයි. ගිහිගෙයින් නික්මී බඹසර විසීමට රුචි කරන්නේ ක්‍රමයෙන් ආර්ය වූ සීලයෙන් ද ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් ද ආර්ය වූ මනා සිහියෙන් ද යුක්තව කෙලෙසුන් නසා සදාකාලික සැනසීමට යෝග්‍ය වූ ත්‍රිවිද්‍යා ප්‍රඥාව උපදවා ගනී.

අලුතින් බුදුදහම දකින ජනතාවකට ස්ථිර ආචාර ධර්ම පදනමක වැදගත්කමත්, ඒ ආචාර ධර්ම කෙබඳු ඒවාද යන්නත් මෙහිදී විග්‍රහ කර දක්වයි. රටක ශාසනය පිහිටුවන්නේ භික්‍ෂූන් වහන්සේ හේතු කොටගෙන බැවින් ක්‍රමයෙන් කෙනකු ප්‍රව්‍රජ්‍ය භූමියට පිවිසෙන අයුරුත් එහි ඇති වැදගත්කමක් විවරණයට ලක්වන චුල්ලහත්‍ථිපදෝපම සූත්‍රය ලක්දිව මුලින්ම දේශිත සූත්‍ර දේශනාව වශයෙන් අතිශයින්ම යෝග්‍ය වන්නේය.

සූත්‍ර දේශනාවේ නිධාන කථාවේ එන ජානුස්සෝනි බ්‍රාහ්මණයා බුදුගුණ අසා පැහැදී සිය රථයෙන් බැස බුදුරදුන් සිටින දිශාවට ඇඳිලි බැඳ “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යනුවෙන් නමස්කාර පාඨය කීය. අද දක්වාම අප භාවිතා කරන මෙම නමස්කාර පාඨය ලක්දිව බෞද්ධයන් පුහුණු වූයේ එදා දෙවනපෑතිස් රජතුමා චුල්ලහත්‍ථිපදෝපම සූත්‍රයෙන් බණ ඇසූ තැන් සිට විය යුතුයි.

ස්වකීය මිත්‍ර ධර්මාශෝක අධිරාජයා වෙතින් බුදුදහම ගැන මුලින් අසා සිටි ලක්දිව රජතුමා මිහිඳු මාහිමියන් ඇතුළු දූත පිරිසගේ ආකල්පයන් දැකීමෙන් හා ධර්ම දේශනාවට සවන් දීමෙන් තව තවත් ප්‍රසාදයට පත්වූයේය. මේ උතුම් ධර්මය තම මිත්‍ර ධර්මාශෝක රජුගේ පුත්‍රයාගෙන්ම අසන්නට ලැබීම ගැන මහත්සේ සතුටු වන්නට ද ඇත. රජු සමඟ සිටි හතළිස් දහසක් පිරිස ද බුදු දහමෙහි පැහැදී රජු සමගම තෙරුවන් සරණ ගියෝය. මුල් දිනයේම මේසා විශාල පිරිසක් බුදුදහම වැළඳ ගැනීම ශීඝ්‍රයෙන් ලක්දිව බුදුදහම පැතිර යෑමේ පෙරනිමිත්තක් ද වූයේය.

මිහිඳු මහ රහතන් වහන්සේ අහසින් වැඩම කළ වග රජතුමා කලින්ම දැන සිටියේය. පසුදින ධර්මදූතයන් වහන්සේලා වැඩමවාගෙන ඒමට යවන ලද රථය හිස්ව පිටත් කළ දූතයන් වහන්සේලා රථය මාලිගාවට එන්නට පෙරාතුවම අහසින් අනුරාධපුරයට වැඩම කළහ. විකාල භෝජනයෙන් වැළකී සිටීම, අසුන් යෙදූ රථයෙහි නොනැඟීම, උසසුන් මහසුන් පිළිනොගැනීම වැනි භික්‍ෂු ආකල්ප නියම වශයෙන්ම දැකගත් රජතුමා ඇතුළු පිරිස බුදුසසුන කෙරේ වඩාත් පැහැදුණහ.

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව වැඩම කළ දෙවන දින දහවල් දන් වළඳා රැස්ව සිටි පිරිසට සරල ධර්ම දේශනාවක් පවත්වා ක්‍රමයෙන් සිව්සස් දහම පිළිබඳව ද වැටහීමක් ලබාදුන්හ. පේතවත්‍ථු කථා, විමාන වත්‍ථු කථා, හා සච්ච සංයුක්තය මෙහිදී ධර්ම දේශනා වලට මාතෘකා විය. යහපත් ක්‍රියාවෙන් සැප විපාකත්, අයහපත් ක්‍රියාවෙන් දුක් විපාකත් ලැබෙන අයුරු සහ පුනර්භවය පිළිබඳව ද සත්‍යාවබෝධයේ වටිනාකම පිළිබඳව ද විස්තර කියැවෙන දේවදූත සූත්‍රයෙන් සහ බාලපණ්ඩිත සූත්‍රයෙන් ධර්මය දෙසූහ. බණ ඇසූ අනුලා දේවිය ඇතුළු කුල ස්ත්‍රීහු පන්සියයක් බුදුදහම වැළඳ ගත්හ. පැවිදි බව ලබන්නට ද කැමැත්ත ප්‍රකාශ විය.

දහම් පණිවිඩය ක්‍රමයෙන් රටේ පැතිරී ගියේය. බණ අසන්නට එන පිරිස ද වැඩිවිය. තාවකාලික ධර්මශාලාවක් බවට රාජකීය ඇත්හල සූදානම් කළේය. භික්‍ෂූන් වහන්සේලාගේ විහරණය වෙනුවෙන් රජතුමන් විසින් මහමෙව්නා උයන ද සසුනට පූජා කෙරිණ.

මිහිඳු මාහිමියන් වහන්සේ රජු සමග උයනෙහි හැසිරෙමින් මහා සීමාව, සීමා මන්දිරය, ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය, රුවන්වැලි සෑය ආදී පූජනීය ස්ථාන පිහිටන තැන් ද පෙන්වා දුන්හ. මහමෙව්නා උයනේදී ද මිහිඳු තෙරණුවන් විසින් අග්ගික්ඛන්ධෝපම සූත්‍රය, ආසිවිසෝපම සූත්‍රය, අනවතග්ග සංයුක්තය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආදී දේශනා රාශියක් ධර්ම දේශනා වශයෙන් ඒ ඒ දිනවලදී දේශනා කරන ලදී.

මේ වන විට ලක්දිව බොදුනු පිරිස දස දහස් ගණනක් වුවද මෙතෙක් බුදුසසුන මෙහි මුල්බැස නොගත් බවත් ඒ සඳහා උපෝශථ කර්මය කිරීමට සීමාවක් සාදවා ලංකාවේම උපන් දරුවකු මෙහිදීම පැවිදි උපසම්පදාව ලබා විනය ඉගෙන විනය සංඝායනාවක් කළ යුතු බවත් මිහිඳු මහ රහතන් වහන්සේ විසින් තිස්ස රජුට පහදා දෙන ලදී. මේ අනුව මුල් මාසය තුළම අරිට්ඨ කුමරු ඇතුළු පනස්පස් දෙනෙක් සිය කැමැත්තෙන්ම පැවිදි බිමට පත්ව මහමෙව්නා උයනේ සම්මත කරන ලද සීමාමාලකයේදී උපසම්පදාව ලදහ. මහා අරිට්ඨ තෙරණුවන්ගේ ප්‍රධානත්වයෙන් ථූපාරාමයේදී විනය සංඝායනාව පවත්වන ලදී.

සංඝරත්නයේ ගණන ශීඝ්‍රයෙන් වර්ධනය වත්ම වැඩි වැඩියෙන් ආවාස පහසුකම් සැලසීම ද අවශ්‍ය විය. මිහින්තලාවේ අටසැට ලෙන් ඒ සඳහා සකස් විය. පළමු වස් කාලය මිහිඳු මාහිමි ඇතුළු සැටනමක් මිහින්තලාවේ ආරාමවල වස් විසූහ.

වස් කාලය අවසානයේ සංඝමිත්තා රහත් තෙරණිය ප්‍රධාන පිරිසගේ වැඩම කරවීමත්, ලක්දිව භික්‍ෂුණී ශාසනයේ ආරම්භයත්, ජය ශ්‍රී මහා බෝධි රෝපණයත්, ලක්දිව ප්‍රථම ස්ථූපය වන ථූපාරාමය ඉදිකරවීමත්, පාත්‍රා ධාතුව ලක්දිවට වැඩම කරවීම ආදී වැදගත් ශාසනික සිදුවීම් රාශියක් ඉතා කෙටි කාලයක් ඇතුළත සිදුකෙරිණ.

දෙවනපෑතිස් රජු බෞද්ධයකු ලෙස අභිෂේක ලැබීම නිසා ක්‍රි.පූ. තුන්වන සියවසේ සිට අද දක්වාම ලක්දිව රාජ්‍යාගම වූයේ බුද්ධාගමයි. ලංකා රාජ්‍යයේ අභිෂේක ලබන්නට නම් බෞද්ධයකුම විය යුතු බව එකල පිළිගත් අදහස විය. 1815 මාර්තු මස 02 දින මහනුවරදී අත්සන් කරන ලද ඉංග්‍රීසි – සිංහල ගිවිසුමේ බුද්ධාගම හා භික්‍ෂූන් වහන්සේ හා සිද්ධස්ථාන ආරක්‍ෂා කිරීම සඳහා පස්වන වගන්තියෙන් පොරොන්දුවක් දීමට ඉංග්‍රීසීන්ට ද සිදුවූයේ එදා මහා මහින්ද අනුබුදු මහ රහතන් වහන්සේ විසින් ස්ථාපනය කරන ලද ලංකා රාජ්‍යය හා බුද්ධාගම පිළිබඳ වීර සම්බන්ධතාව සිංහලයන් විසින් පමණක් නොව විදේශිකයන් විසින් ද පිළිගෙන තිබුණු නිසාය.

දඩල්ල – වාලුකාරාම වෙහෙරවැසි, ශාස්ත්‍රපති, රත්ගම සුනීත හිමි.

advertistmentadvertistment
advertistmentadvertistment