අනුමත එන්නත් පහම ලංකාවට ඇවිත්

400

කොවිඞ් 19 වෛරස රෝගය පාලනය සඳහා ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත් සියල්ල මේ වන විට ශ‍්‍රී ලංකාවට ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැකසුම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
 
 ඒ අනුව ඇස්ට‍්‍රාසෙනිකා, සයිනොෆාම්, ෆයිසර්, ස්පුට්නික් සහ මොඩර්නා යන එන්නත් වර්ග පහම ලැබී ඇත.
 
 ඉකුත් 16 වැනිදා ශ‍්‍රී ලංකාවට ලැබුණු මොඩර්නා එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 15 ත් සමඟ මේ වන විට ලැබී ඇති සියලූම වර්ගයේ එන්නත් හි මාත‍්‍රා ප‍්‍රමාණය කෝටිය ඉක්මවා ඇතැයි (10,098,100) පැවසූ රාජ්‍ය ඇමැතිවරයා තවත් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 52 ක් මෙම මස අවසාන වන විට ලැබීමට නියමිත බව ද කීවේය.
 
 එසේම මේ වන විට වයස අවුරුදු 30 ට වැඩි ජනතාවගෙන් සියයට 40 කට පමණ මෙම එන්නත් වලින් එක් මාත‍්‍රාවක් හෝ ලබා දී ඇති අතර, එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් පිරිස සියයට 13 ඉක්මවා ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
 
 මෙලෙස එන්නත් වර්ග පහම ලැබීම නිසා ශ‍්‍රී ලාංකික ජනතාව කොවිඞ් වෛරසයේ දැනට මතුව ඇති නව ප‍්‍රභේදවලින් ආරක්‍ෂා වීමට ඇති හැකියාව ඉහළ ගොස් ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
 
– උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment