අනුරට මාස 6න් පුළුවන් නම් ඔක්කොම එකතු වුණොත් මාස තුනෙන් පුළුවන් – විමල් වීරවංශ

272

”ආණ්ඩුව භාර දෙන්නේ නම් මාස හයක් ඇතුළත රට ගොඩනගන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අනුර කුමාර මහත්තයට තනියම මෙහෙම පුළුවන්නම් සියලු දෙනාම එකතු වී සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුවොත් මාස තුනකින් රට ගොඩ ගන්න පුළුවන්. දැන්වත් වහාම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු‘ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (27දා) පැවසීය.

ජනාධිපතිවරයා ඉවත් විය යුතුය යන කොන්දේසිය ජවිපය ඉවත් කර ගෙන ඇතැයි ද ඔහු කීවේය.

කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වීරවංශ මහතා මේ බව පැවසීය. රටේ ඇති ආර්ථික අර්බුදයේ වාසිය ඉන්දියාව

ඩැහැගැනීමට බලා සිටින බව ද පැවසූ වීරවංශ මහතා ඉන්දියානු ක්‍රෙඩින් ලයින් එක අවසන් වූ විට අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේ දැයි අදහසක්වත් නොමැති පිරිස් රට පාලනය කිරීම කනගාටුවට කරුණක් යැයි ද පැවසීය.

අපනයන ආදයම රටට ඉක්මණින් ගෙන ආයුතු ආකාරයට විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට තවමත් කටයුතු කර නැතැයි ද වීරවංශ මහතා කීවේය.

ලැබෙන විදේශ ප්‍රේෂණ සම්බන්ධයෙන් අරමුදලක් සෑදිය යුතු බවට තමා පර්ලිමේන්තුවට කළ යෝජනාව අගමැතිවරයා පිළිගන්නා බව කීවත් මේ දක්වා ක්‍රියාත්මක වී නැතැයි ද වීරවංශ මහතා කීවේය. ඉන්ධන අර්බුදය හමුවේ තෙල් සංස්ථාව පෞද්ගලිකකරණය කළ යුතු බවට වැනි වූ යෝජනා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ගෙන එන බව මෙවැනි විෂම වටපිටාවක් හමුවේ එවැනි විෂම යෝජනාවලට ජනතාව ද නොදැනුවත්වම කැමති වන පරිසරයක් නිර්මාණය වන බව ද පැවසූ වීරවංශ මහතා එය රටට අහිතකර යැයි ද කීවේය. රුසියාව දකුණු ආසියාව දෙසට හැරී සිටින මේ මොහොතේ සියයට තිස්පහක් අඩුවෙන් එරටින් ඉන්ධන ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු නොකිරීම ඛේදවාචකයක් යැයි ද ඔහු පැවසීය. ගිවිසුම් ගතව රුසියාවෙන් ඉන්ධන ගතහොත් කාටවත් කොමිස් ගැසීමට නොලැබෙන බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

රටේ පවතින අර්බුදය තමන්ට දේශපාලනිලව වාසි වෙතැයි සජිත් ප්‍රේමදාස මහතා බලා සිටින්නේ නම් එය මුලාවක් යැයි ද පැවසූ වීරවංශ මහතා මැයි නවවැනිදා වූ ඛේදවාචකයේ වාසිය ලැබුණේ කොහේවත් සිටි තනි මන්ත්‍රී ධුරයක් හිමි රනිල්ට බව කවුරුත් මතක තබා ගත යුතු යැයි ද කීවේය.

රටේ අර්බුදයවල වාසිය යන්නේ කවුරුවත් නොසිතන පාර්ශ්වවලට බව ද ඒ මහතා කීවේය.

අනුරාධ හිරිපිටියගේ සහ ප්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment