අනුරපුරට කුඩු බෙදූ  අඹුසැමි යුවළ කෝටියක බඩු සමග මාට්ටු

312

රු. කෝටියකට අධික හෙරොයින් තොගයක් සමග අඹුසැමි යුවළක් පෙරේදා (04 දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිහින්තලය ඉහළගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 26ක කාන්තාවක් බව පොලිසිය කියයි. ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර, පුල්ලෙයාර් හන්දිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකාර යුවළ සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 320 ක ප්‍රමාණයක් තිබී හමුවූ බවද පොලිසිය කියයි. ‘සුදු අයියා’ නමැති පුද්ගලයා විසින් එවනු ලබන මත්කුඩු වසර කීපයක සිට මෙම සැකකාර යුවළ විසින්, මිහින්තලේ, අනුරාධපුර සහ තිරප්පනය යන ප්‍රදේශ වල බෙදා හරින බවත්, මත්කුඩු ලබාදෙන සුදු අයියා නමැති පුද්ගලයා තමන් මෙතෙක් කාලයක් නොදන්නා බවත් සැකකාර යුවළගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ ඊයේ (5 දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පො.ප. අලුත්ගෙදර, සැරයන්වරුන් වන මංජුල (53403), දිසානායක (40766), ප්‍රියදර්ශන (49010), සේනාරත්න (46517), පො.කො. මධුසංඛ (71536) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment