අනුරපුරයේදී ජනපතිගෙන් තේරෙන භාෂාවෙන් උත්තරයක්

292

පහුගිය සතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහට තරමක් වෙහෙසකර සතියක් විය. යොදාගෙන තිබූ ගමන් බිමන් ද කිහිපයකි. ඊට අමතරව මේ සතියේ යොදාගෙන තිබෙන විශේෂ උත්සව හා වැඩකටයුතු නිසා ඔහුට විවේකයක් තිබුණේම නැත.

මේ සතියේ යොදාගෙන තිබූ වැඩකටයුතු අතර වැඩි අවධානයක් යොමු කළ කාරණාව වූයේ හැත්තෑපස් වන ජාතික නිදහස් සමරුවයි. මෙවර නිදහස් සමරුව මහත් අභිමානයෙන් සමරන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුල පටන්ම කටයුතු සංවිධානය කළේය.

ජනාධිපති රනිල් පසුගිය සතිය පටන් ගත්තේම නිදහස් දින සම්බන්ධයෙන් වෙහෙස මහන්සි වෙමිනි. ඒ වන විට උත්සවය සම්බන්ධයෙන් බොහෝ අභියෝග පැමිණ තිබුණි. මෙවර පළාත් පාලන මැතිවරණය පවත්වන්නට රජයට රුපියල් බිලියන 10 ක මුදලක් නොමැති බව කියමින් සිටින අතර මේ නිදහස් සමරුවට මුදල් වෙන් කරන්නේ කෙසේ දැයි යන ප්‍රශ්නය හතර වටින්ම නැඟෙන්නට විය. විශේෂයෙන්ම ජාතික ජනබලවේගය සමගි ජනබලවේගය වැනි පක්ෂ රජයට අභියෝගයක් එල්ල කරමින් සිටියේය.

ඒත් ජනාධිපතිවරයා ඒ කිසිවක් ගැන තැකීමක් කළේ නැත. ඔහුට අවශ්‍ය වූයේ ගරු ගාම්භීරව මෙම උත්සවය අඩු වියදමින් පවත්වන්නට විණා සැණකෙලි පවත්වන්නට නොවන බව තහවුරු විය.

මේ අතර පසුගිය සෙනසුරාදා උදේ ජනාධිපතිවරයා අනුරාධපුර බලා පිටත්ව ගියේය. මේ ගමන කලින් සංවිධානය කර තිබූ විශේෂ ගමනක් විය. අභිමානයෙන් අනුරාධපුර අටමස්ථානාධිපති ලෙස පත්ව සිටි පල්ලේගම හේමරතන හිමියන්ට අත්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය සති කිහිපයකට පෙර සැලසුම් කළ එකක් විය. ජනාධිපතිවරයා ඊට කෙසේ හෝ සහභාගි වන්නට සූදානමින් සිටියේය.

● කවියෙන් සින්දුවෙන් ජනපති නොකී කතා…

ඒ අනුව 28 වැනි සෙනසුරාදා දහවල් ජනාධිපතිවරයා ගුවන් මගින් අනුරාධපුරයට ගිය අතර උත්සවය පැවැත් වුණේ උඩමළුව නැගෙනහිර පස දොරටුවට යාබදව විශේෂයෙන් ඉදිකරන ලද සම්භාෂණ ශාලාවක ය.

උත්සවය සඳහා ලොකු ගිහි පැවිදි සම්භාවනීය පිරිසක් පැමිණ සිටි අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ආරාධිත දේශපාලනඥයන් පිරිසක් ද පැමිණ සිටියහ.

පැවිදි අනුශාසනා කිහිපයකි. ඒ අතර අභිනව අටමස්ථානාධිපති හේමරතන හිමියෝ ද කතා කළහ.

ගෞරවනීය සභාව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුවිශේෂී කතාවක් කළේය. එහි ගිය ඔහු කාරණා දෙකක් අවධාරණය කළේය. එකක් අනුරාධපුර රාජධානිය යන සෞභාග්‍ය සම්පන්න අතීත පුරවරයේ ශ්‍රී විභූතිය මතු කොට ලෝකය හමුවේ නිරාවරණය කිරීමයි. මෙවන් අතීත උරුමයක් පොළවේ පස් අතර සැඟවී යන්නට ඉඩ නොදී කැණීම් කර ඉස්මතු කරමින් ලෝකයාට පෙන්විය යුතු බව ඔහුගේ අදහස විය. ඒ තුළින් සංචාරක කර්මාන්තයේ දියුණුවට ද යම් පිටිවහලක් සැලසෙනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාස කළේය.

ඔහු දෙවැනි කාරණය ලෙස මතු කළේ මේ රටේ ආර්ථික සංවර්ධනය ගැනයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ආර්ථිකය ගොඩ නංවන්නට උත්සාහ කළත් ඔවුන්ගේ සියලු නිර්දේශ ක්‍රියාවට නංවන්නට අප රජය බැඳී නැතැයි ඔහු කීවේය. උදාහරණයක් ලෙස 40,000 ට වැඩි ආදායම් ලබන අයගෙන් බදු අය කරන්නට මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබුණත් ඒ සීමාව තම රජය ලක්ෂය දක්වා ඉහළ නැංවූ බව ඔහු පෙන්වා දුන්නේය. 16 ලක්ෂයක් තිබූ බදු ලිපිගොනු ලක්ෂ 4කට අඩු කළ බව ඔහු පෙන්වා දුන්නේය. වක්‍ර බදු සියයට 40% ට වඩා වැඩි වන අවස්ථාවක වක්‍ර බදු අඩු කර ඍජු බදු අයකිරීම වැඩි කරන්නට තමන් පියවර ගත් බවද ජනාධිපතිවරයා කීවේය.

“උපයනවිට බදු අය කරන්න වෙනවා. බදු අය කරන්නේ මුදල් හම්බ කරන අයගෙන්. ලෝකේ හැම රටකම බදු අය කරනවා. අපි සමහර රටවල්වලින් ආධාර ඉල්ලුවම ඒගොල්ලො අපිට ආධාර කරන්නෙත් ඒ ඒ රටවල ජනතාව බදු ගෙවන මුදලින්. අපි අපේ රටේ උපයන මුදලින් බදු ගෙවන්න අකමැති වෙමින් වෙනත් රටවල් වල බදු ආදායමෙන් ආධාර ඉල්ලනකොට ඒ ඒ රටවල්වල මිනිස්සු කැමති වෙයිද. ඒගොල්ලොන්ගෙ බදු මුදල් අපිට ආධාර විදියට දෙන්න. ඒ ගැන අපි හිතන්න ඕන. තමන් උපයන දෙයින් තමන්ගේ රටට බද්දක් ගෙවන එක හැම උපයන කෙනෙක්ගේම යුතුකමක්…

ඔන්න හාමුදුරුවනේ මට තේරෙන භාෂාවෙන් මම ඔය ටික කිව්වා. ඔබ වහන්සේට වගේ කවියෙන් සින්දුවෙන් මේ වගේ දේවල් පැහැදිලි කරන්න මම නම් දන්නෙ නෑ…”

ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු එම අභිමානවත් උත්සවයේ වැඩකටයුතු අවසන් විය. උත්සවයට පැය පහක පමණ කාලයක් ගතව තිබිණි. අවසන් වන විට රෑ බෝවී තිබුණෙන් ජනාධිපතිවරයාට ආපසු එන්නට ඉක්මනින් කටයුතු සූදානම් කෙරිණි.

පසුගිය සතිය වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල යම් පාලනයකට ලක්විය. අල ලූනු මිල සාමාන්‍ය අතට බැස තිබිණි. බොහෝ තැන්වල උඩරට පහතරට එළවළු අස්වනු නෙළීම සිදු කරන නිසා මිල යම්තාක් දුරකට පහළ බැස තිබෙනු දක්නට ලැබිණි. සහල් මිලෙහිද යම් අඩුවීමක් ඇතිවිය. ඒ අතර මහ බැංකුවේ අධිපතිවරයා ද පසුගිය දිනවල ආර්ථිකයේ යම් ස්ථාවරත්වයක් ඇති වූයේ යැයි ප්‍රකාශ නිකුත් කරන ආකාරය අපට දැකගත හැකි විය.

● මාලිමාව – ටෙලිෆෝනය සටනේ ජන රැල්ල..!

කෙසේ වෙතත් රටේ දේශපාලන උණුසුම නම් එන්න එන්නම වැඩි වන්නට විය. මෙතෙක් දිනක් දේශපාලන කරලියේ ඉහළ සාකච්ඡාවන්හි මැතිවරණය පැවැත්වෙනවා ද නැද්ද කියද්දී කියා දෙගිඩියාවක් තිබුණත් පසුගිය සතිය වන විට එය වෙනස් වී තිබුණේ නිසැකවම මැතිවරණය පැවැත්වෙන පැත්තටය. ඊට හේතුව මැතිවරණ කොමිසම මගින් මැතිවරණය ගැසට් කරන්නට පියවර ගැනීමයි. ගැසට් පත එළියට පැමිණීමත් සමඟම සමාජයේ දේශපාලන උණුසුම වෙනත් පැත්තකට දෝළනය වන්නට විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙන සමගි ජන බලවේගය, ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික ජනබලවේගය යන පක්ෂ දෙකම ඡන්දය පැවැත් වෙනවා ද නැද්ද කියා දෙගිඩියාව තිබියදීත් උපරිම වෙහෙස දරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියහ. මෙහිදී ජාතික ජනබලවේගයට පක්ෂව විශාල ජන රැල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනෙන්නට තිබිණ. රටේ බහුතර තරුණ ප්‍රජාව සහ පාවෙන මතවාදී ප්‍රවණතාවයන්හි සහයෝගය මෙවර ජවිපෙට හිමිවෙන බව සමාජයේ පැහැදිලිවම පෙනෙන්නට තිබෙන කරුණක් විය.

සැබැවින්ම ඔවුන්ගේ බලය තිබෙනවාට වඩා දෙගුණයක් වැඩි වී තිබෙන බව රහසක් නොවීය. කොටින්ම කිවහොත් වැඩි සමාජ මාධ්‍යවලින් කල්තියාම ඔවුන්ට ජයග්‍රහණය ලබා දී ඇති බවද පෙනෙන්නට වූහ.

එහෙත් රටේ ගම් පළාත්වල බලය තවමත් පැහැදිලි නොවූහ. බැලූ බැල්මටම පැහැදිලි වූ කරුණක් වූයේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය විසින් ගම නතු කරගෙන සිටින බවකි. එහෙත් පොහොට්ටු පක්ෂයේ නිහැඬියාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙගිඩියාව මෙන්ම හෙලිකොප්ටර ලකුණෙන් තරග වදින නිදහස් ජාතික සන්ධානයේ බලය පැහැදිලි නොවීම තුළ කිසිවකුටත් කල්තියා අනාවැකි කීමට හැකියාවක් ලැබී තිබුණේ නැත.

මේ තත්ත්වය තුළ පොදුජන සමාජයේ ක්‍රියාකාරීම බලවේග වූයේ සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය පමණි. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයට නැමුණු තරුණ පරපුරේ හා වෘත්තිකයන්ගේ මෙන්ම මධ්‍යස්ථ මතධාරීන්ගේ බලය කෙබඳු දැයි තක්සේරු කළ හැකි තැනක් නොවීය. අනුර කුමාර දිසානායක පවත්වනු ලබන ප්‍රධාන රැස්වීම්වලට නම් කට කැපෙන්නට සෙනඟ සිටියහ. නමුත් ප්‍රශ්නය වූයේ සමගි ජන ජනබලවේගයේ රැස්වීම්වලට ද ඊට නොදෙවෙනි සෙනඟක් සහභාගි වී සිටීමයි.

ඔවුන් දෙගොල්ලෝම මාර්තු මාසයේ නව වැනිදා නිසැකවම ඡන්දය පවත්වනු ලබන්නේ යැයි විශ්වාස කර දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ඡන්ද ව්‍යාපාර කටයුතුවල නිරතව සිටියහ.

ශ්‍රී ලංකාව නිදහස් පක්ෂය, නිදහස ජාතික සභාව හා විමල් ලාගේ, වාසුලාගේ උදයලාගේ පක්ෂ එකමුතු වී හෙළිකොප්ටරය ලකුණෙන් තරග වදින්නට බිහි කරගන්නා ලද පුළුල් සන්ධානය ආරම්භයේ දී ම අර්බුදයට පත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේනගේ ක්‍රියා කලාපය නිසාය. ඔහුට පාස්කු නඩුවේ නඩු තීන්දුවෙන් ලැබුණු පීඩනය නිසා ඔහුගේ දේශපාලන ස්ථාවරත්වයේ ලොකු පරිවර්තනයක් ඇතිවිය. ඔහුගේ නායකත්වයෙන් පක්ෂයේ කණ්ඩායමක් අත ලකුණෙන් පළාත් පාලන මැතිවරණයට තරග කරන්නට තීරණය කළත් තවත් සැලකිය යුතු පිරිසක් හෙලිකොප්ටරය ලකුණෙන් තරග කරන්නට ගත් අදහසින් බැහැරව නොයා සිටියහ.

● ජනාධිපති සිරිසේනගේ කතාවල සිරි අසිරිය…

ඒ සියලුම දෙනා එකට එක්ව තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර ශාන් විජයලාල් සිල්වා යන නායකයන් ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා නිදහස් සන්ධානය සමග හෙලිකොප්ටරය ලකුණෙන් තරග කරන්නට සූදානම් වූහ. කෙසේ වෙතත් පිටස්තර අයට මෙම තත්ත්වය උභතෝකෝටිකයක් වූහ. එහෙත් මෛත්‍රිපාල සිරිසේන මේ අවස්ථාවේ පත්ව ඇති බරපතළ පීඩනය තේරුම් ගත් එම සන්ධානයේ සෙසු නායකයෝ ඔහුගේ ස්ථාවරය ප්‍රශ්න කරන්නට උත්සාහ නොකළහ. ඔවුන් තවදුරටත් ඩලස්, විමල්, උදය, වාසු ඇතුළු කණ්ඩායම හා සාකච්ඡා කරමින් ඉදිරි ගමන යන්නට පියවර ගත්හ.

පසුගිය සතියේ මේ කණ්ඩායමේ සාකච්ඡාවන් ගණනාවක්ම සිදුවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මූලස්ථානය තුළයි.

ඒ අනුව බලන විට මෙම මූලස්ථානය තුළ කණ්ඩායම් දෙකක් ඉදිරි මැතිවරණ කටයුතුවලට සූදානම් වෙමින් සිටියහ. ටිකක් මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු අත ලකුණේ දේශපාලන කණ්ඩායමයි. අනික තිලංග සුමතිපාල දයාසිරි ඩලස් යන අයගේ නායකත්වයෙන් සැදුම්ලත් හෙලිකොප්ටරයේ කණ්ඩායමයි. මේ කණ්ඩායම් දෙකටම අදාළ සාකච්ඡා මාධ්‍ය හමු හා රැස්වීම් පසුගිය සතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පවත්වන ආකාරය අපට දැකගත හැකි විය.

එවන් එක් මාධ්‍ය හමුවක දී මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය සතියේ එක්තරා ආන්දෝලනාත්මක අදහස් කිහිපයක් ඉදිරිපත් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මෙම මාධ්‍ය හමුව කැඳවුණු ලැබූයේ පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුවෙන් පසුව ඇතිවූ තත්ත්වය ගැන මාධ්‍යවලට පැහැදිලි කිරීමක් කරන්නටය.

මෙම මාධ්‍ය හමුව සඳහා ලොකු පසුබිමක් ඒ වන විට රටේ ඇතිවී තිබිණ. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට දෙවියන් වහන්සේ වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරන බව මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කීවේය. මීට පෙරත් එවන් ප්‍රකාශයන් කීපයක්ම ඔහු කර තිබිණි. එම ජනතාවගෙන් තමා සමාව ඉල්ලන බව ද ඔහු එහිදී කිව්වේය. එම ප්‍රකාශය අලුත් කරමින් සිරිසේන මහතා පෙන්වා දුන්නේ ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ද තමන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන්ට යම් යම් උත්තර දීම් කතෝලික සභාව පැත්තෙන් සිදුවිය.

කෙසේ වෙතත් දේශපාලන කරලියේ එම වාදය බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ කාරණාවක් වූහ. විශේෂයෙන් ම සිරිසේන ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණවලදී නැවත ඉල්ලනවා යැයි කී ප්‍රකාශය ඇතැම් තැන්වල දැඩි විවේචනයන්ට බඳුන් වූහ. කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ මෑතක් වන තුරුම තමන් නැවත ජනාධිපතිවරණයකට ඉල්ලන්නේ නැතැයි කියා ප්‍රකාශ කර තිබූ බව නම් අපට අමතක නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදු ප්‍රකාශකයෙක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නට ඉදිරිපත් නොවීම ද මෙහිදී කැපී පෙනෙන කාරණාවක් විය.

● ඡන්දයට නැති සල්ලි නිදහසට ඇති සල්ලි…

පසුගිය සඳුදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් රැස්වීමට එක්තරා වැදගත් යෝජනාවක් ගෙන ආවේය. එමඟින් ඔහු ගෙනාවේ රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමේ යෝජනාවකි. ඒ සමඟම ඊට ඈඳා තවත් විශේෂ කරුණක් සඳහන් විය. එය නම් රාජ්‍ය ආයතන ණය පදනම මත වියදම් කිරීම අත්හිටුවා කරනු ලබන විශේෂ යෝජනාවකි.

කැබිනට් රැස්වීමෙන් අනතුරුව ඇමැතිවරු සමග මේ පිළිබඳ පුංචි සංවාදයක් ඇති විය…

“මේක නම් සර්… තරමක් දුෂ්කර වැඩක්. හුඟක් ආයතනවල ණය පදනම මත තමයි වියදම සපුරාගන්නේ..” බන්දුල ගුණවර්ධන පෙන්වා දුන්නේය.

“ඔව් ඒක ඇත්ත… ඒත් අපිට දැන් මුදල් නෑ. මේ මාසය ආදායමට වඩා දෙතුන් ගුණයක් වියදම වැඩියි…” ජනාධිපති පෙන්වා දුන්නේය.

ඒ කතාබහින් පසුව මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් මැතිනියගේ ඉල්ලා ඇසීම සම්බන්ධයෙන් කතා බහක් ඇති විය…

“ඉල්ලා අස්වීමේ ලියුම මට ලැබිලා තියෙනවා… හැබැයි මම තවම ඒක පිළිගන්නවද නැද්ද කියලා උත්තරයක් දීල නෑ…” ජනාධිපති කීවේය.

සඳුදා දිනයේ කැබිනට් මණ්ඩලය විසින් සම්මත කළ මුදල් වියදම් අඩු කිරීම හා ණය පදනම මත වියදම් කිරීම තහනම වැනි යෝජනා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතින් සියලු රාජ්‍ය ආයතනවලට චක්‍රලේඛ මගින් යවා තිබිණි. ණය පදනම මත කරන වියදම් තිබේ නම් ඒවා එම අනුමත කරන නිලධාරියා විසින් පුද්ගලිකව වියදම දැරිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් විය….

මිනිස් චක්‍රලේඛය සමාජගත වීමත් සමගම දේශපාලන කරලියේ බොහෝ දෙනා එය ගළපනු ලැබූයේ ඉදිරියේ ඒමට නියමිත මැතිවරණ වියදම් සමගය. සාමාන්‍යයෙන් මැතිවරණයකදී ඡන්ද කාඩ් මුද්‍රණය කිරීම, අවශ්‍ය වාහන ලබාගැනීම, අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම ඇතුළු බොහෝ වියදම් දරනු ලබන්නේ පසුව ගෙවීමේ ණය සහන පදනම මතයි. මෙවර චක්‍රලේඛයක් මගින් එය තහනම් කිරීමෙන් මැතිවරණය පැවැත්වීමට සහ ඉන් ඇතිවන බාධාව ගැන දේශපාලන කරළියේ බොහෝ තැන්වල බරපතළ සාකච්ඡාවක් ඇති විය.

රුපියල් මිලියන 200 ක් වියදම් කිරමින් අභිමානවත් ලෙස නිදහසේ 75 වන සමරුව පවත්වන්නට පියවර ගන්නා ජනාධිපතිවරයා මේ අවස්ථාවේ මහජන මතය උරගා බලන පුංචි ඡන්දය පවත්වන්නට මේ තරම් මැලිකමක් දක්වන්නේ ඇයි දැයි කියා සමාජයේ බොහෝ දේශපාලන අංශ ප්‍රශ්න කරන්නට වූහ. ඡන්දයට නැති සල්ලි නිදහස සමරන්නට කොයින් දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරන්නට වූහ….

● 13 සංශෝධනය ගැන නව සමාජ කතිකාවක්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවමින් යළි දහතුන්වන සංශෝධනය බලාත්මක කරන්නට ගෙන ආ යෝජනාව ගැන ඉන් පසුව රටේ ලොකු කතාබහක් ඇති විය. සමහර දේශපාලනඥයෝ ඒ අවස්ථාවෙම යෝජනාව පිළිබඳ තව අප්‍රසාදය පළ කළ අයුරු අපට මතකය.

ඉන් පසුව අභයාරාමයේ පැවති උත්සවයකදී මහා සංඝරත්නය නියෝජනය කරමින් ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මේ පිළිබඳ දැඩි ප්‍රකාශයක් ඉදිරිපත් කර සිටියහ.

දහතුන්වන සංශෝධනය බලාත්මක කරමින් රට යම්කිසි බෙදීමකට ලක් කරන්නට සූදානම් වන්නේ නම් ඊට මේ රටේ මහා සංඝරත්නය දැඩි ලෙස විරෝධය පාමින් පාරට බසින්නට සූදානම් බව උන්වහන්සේ දැඩි සේ ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙදෙනාම ඉදිරියේය. කෙසේ වෙතත් ඒ අවස්ථාවේ දේශපාලනඥයෝ ඒ ගැන සද්ද කරන්නට ගියේ නැත.

එහෙත් සමාජයේ දී මේ පිළිබඳ යම් යම් කථිකාවක් ඇතිවිය. මේ දිනවල පළාත් පාලන ඡන්දයට සූදානම් වන දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් දරන අදහස් දැන ගන්නට මාධ්‍යවේදීන් ද නොයෙකුත් ප්‍රශ්න අහන්නට වූහ.

මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය හා සමගි ජනබලවේගය දරන අදහස් වෙන වෙනම විමසන්නට මාධ්‍ය උත්සාහ කළත් ඔවුන් ඒ ගැන කිසිවක් විවෘතව නොකියන්නට වගබලා ගත්හ.

තත්ත්වය එසේ වුවත් රටේ ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයන් මේ ගැන දිගින් දිගටම සාකච්ඡා කරමින් අනතුර ගැන කතාබහ කරන්නට වූහ. මුලින්ම ජාතික ඒකාබද්ධතා කමිටුවේ නියෝජිතයන් වන ආචාර්ය ගුණදාස අමරසේකර, බෙන්ගමුවේ නාලක හිමි, නීතිඥ මනෝහර ද සිල්වා, ඇල්ලේ ගුණවංශ හිමි ආදීහු මේ පිළිබඳව සාකච්ඡා වට කීපයක් ම පවත්වනු ලැබූහ. මල්වතු අස්ගිරි පාර්ශ්වයන්හි අනුදැනුම ඇතුව මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරු කීප නමක් ද මේ සාකච්ඡාවලට සහභාගි වී ඇති බව වාර්තා වූහ.

මේ ඇතැම් සාකච්ඡා බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයේ පැවැත්වුණු අතර ඇතැම් සාකච්ඡා පැවැත්වුණේ පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙනේ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසඳුම් දෙන්නට දහසකුත් එකක් ප්‍රශ්න තිබියදී මේ වෙලාවේ අනවශ්‍ය ප්‍රශ්නයක් බලෙන් රැගෙන ඔඩොක්කුවේ දාගත්තේ යැයි… ඒ සාකච්ඡාවලදී කතාබහට ලක්විය.

ජාතික සංවිධාන මෙහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ඇති බලය කුමක්ද කියා සාකච්ඡා කළහ. ඔවුන් මෙහි දී කරුණු දෙකක් යටතේ අදහස් ඉදිරිපත් කළහ.

පළමු කාරණාව වන්නේ මේ දහතුන්වැනි සංශෝධනය මුළුමනින්ම රටට අහිතකර සංශෝධනයක් බවය.

දෙවන කාරණාව වන්නේ 13 සංශෝධනය එදා ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව ජනමත විචාරණයකින් අයුතු ලෙස දික් කරගත් රජයක් මගින් බලහත්කාරයෙන් සම්මත කරගත් සංශෝධනයක් බවයි.

“එදා ජේ ආර් මේ සංශෝධනය ගෙනාවෙ බලහත්කාරයෙන් දික් කරගත් ආණ්ඩුවකින්. අපට මතකයි ඒ ආණ්ඩුවේ කොන්දක් නැති මැති ඇමැතිවරුන්ගේ අස්වීම් ලිපි සාක්කුවේ දාගෙන ජේ ආර් මේක සම්මත කරපු හැටි. මන්ත්‍රීවරු ඔක්කොම බලෙන් කොළඹ මහා හෝටලේක තියාගෙන බලාත්කාරයෙන් සන්නද්ධ රථ වලින් පාර්ලිමේන්තු අරං ගිහින් තමයි පනත සම්මත කරගත්තේ. එහෙම සම්මත කරගත්තු පනතත් ජනමතයක් නැති ජනාධිපතිවරයකුට මේ වගේ අස්ථාවර අවස්ථාවක බලාත්මක කරන්න දෙන්න බෑ…”

ජාතික සංවිධාන එකමුතුවේ දී ඒ පිළිබඳ පුළුල් විග්‍රහයක් මෙසේ ඉදිරිපත් කරමින් ඔවුන් මේ වැඩපිළිවෙළට විරෝධය පාන්නට සාකච්ඡා කර ගත්හ.

● මාමා ගහපු ගැටය ලිහන්න ආපු බෑණා..

මේ පිළිබඳව තවත් සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී ජාතික නිදහස් පෙරමුණේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් කීවෙත් හරි අපූරු කතාවකි…

“ඉන්දු ලංකා ගිවිසුම ගහලා ඉන්දියන් හමුදාව ගෙනල්ලා බස්සලා ඉන්දියාවේ අප්‍රමාණ බලපෑම් යටතේ වුණත් එයා එදා මේ ව්‍යවස්ථාව සම්මත කළේ රට බෙදා ගන්න බැරි වෙන්න ව්‍යවස්ථාමය ගැට කිහිපයක් ගහලා. ඒ ගැට කීපය එදා ගහපු හින්ද තමයි මෙච්චර කාලයක් රට නොබෙදී ආරක්ෂා වුණේ. දැන් වෙන්නෙ ජනවරම් මොකුත් නැතුව කෙටි කාලයක් කුලියට ඉන්න ආපු ජනාධිපති බෑණා ලෑස්ති වෙන්නෙ ඒ ගැට ටික ලිහල දාන්න. ඒකට නම් මේ රටේ ජනතාව ඉඩ දෙන එකක් නෑ …”

කෙසේ වෙතත් දහතුන්වන සංශෝධනය බලාත්මක කිරීම යනු අද දේශපාලන කරලියේ සමහරු කතා කරන්නට බය මාතෘකාවක් වී තිබේ. ඒ පිළිබඳව විවෘතව අදහසක් පළ කිරීම යනු අද වන විට ජනමතය ඉදිරියේ ලිට්මස් පරීක්ෂාවක් බඳු විය. මේ නිසා රට ගැන නොයෙකුත් කෝණවලින් බලමින් කතා කරන ජාතික ජන බලවේගය මේ පිළිබඳ නිහඬය. ජාතික ජන බලවේගයට වේදිකාවේ ගහගන්නට කතා කරන සමගි ජන බලවේගය ද මේ පිළිබඳ නිහඬය.

මේ කාරණාව ඇතැම් දේශපාලන නිරීක්ෂකයන් දැක්කේ අරගලය, පාස්කු ප්‍රහාරය, ආර්ථික අහේනිය, අසහනය ආදී විවිධ කරුණු නිසා බෙදී වෙන්වී විසිරී ඇති ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජනතාවට යළිත් එකතු වී ජාතිකත්වය ගැන කතා කරන්නට සාදා දුන් ආශිර්වාද වේදිකාවක් ලෙසයි.

● පුංචි ඡන්දයට පොහොට්ටු යුද්ධය…

පුංචි ඡන්දය සඳහා බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් පොහොට්ටුවේ කණ්ඩායම සූදානම් වන්නට පටන් ගත්තේ පුංචි ඡන්දයක් ගැන මේ රටේ කිසිදු දේශපාලන පක්ෂයක් කතා නොකරන පසුබිමක බව ඇත්ත ය. ඒත් පසු කලෙක කරන ලද සමීක්ෂණ හා ජනමතවල ප්‍රතිඵලයක් හැටියට පොහොට්ටුවේ කණ්ඩායම් පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතුවලින් ටිකක් ඈත් ව සිටියහ. එහෙත් එමගින් තමන් වටා සිටින නමුත් පාක්ෂිකයන් කලකිරී ටිකෙන් ටික ඈත් වෙන බව තේරුම් ගත් පොහොට්ටුවේ ක්‍රියාකාරීන් ඒ පිළිබඳ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට පැමිණිලි කරන්නට පටන් ගත්හ.

පසුගිය බ්‍රහස්පතින්දා සවස පොහොට්ටුවේ ක්‍රියාකාරී පක්ෂවල නායකයෝ නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලය වෙත ආවේ එහි ප්‍රතිඵලයක් හැටියටය.

ඒ අනුව එදා දිනේෂ් ගුණවර්ධන, සාගර කාරියවසම්, ඩග්ලස් දේවානන්දා, සුගත් හේවාවිතාරණ ඇතුළු පක්ෂ කිහිපයක නායකයෝ නෙළුම් මාවතට පැමිණ සිටියහ. කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් වැනි අය කල්තියාම ඒ සඳහා පැමිණෙන්නට නොහැකි බව දැනුම් දී තිබුණේ ඔවුන් දිගටම ඒ ඒ ප්‍රදේශවල මැතිවරණ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටි නිසාය.

“මෙහිදී සාකච්ඡාව ආරම්භ වූයේ මැතිවරණයක් තිබේවිද නැතිද යන කාරණා සම්බන්ධවයි…

දැනට තිබෙන තත්ත්වය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ කරුණු විමසා තිබෙන නිසා බොහෝවිට මැතිවරණයට හේතු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව බව පක්ෂ නායකයෝ පිළිගත්හ…

“අධිකරණයෙන් කිව්වොත් ඡන්දෙ තියන්න කියලා මැතිවරණ කොමිසමට ඒ ගැන කටයුතු කරන්න වේවි. හැබැයි ඉතින් මුදල් උපයාගන්න එක ගැනත් තීන්දුවක් ඕන…”

“කොහොම වුණත් අපි මේ වෙලාවේ පොහොට්ටුව හැටියට මැතිවරණ ප්‍රචාරක කටයුතු වලින් ඈත් වෙලා ඉන්න එක වැරදියි. ඒකෙන් වෙන්නේ එක් කට්ටියක් අපට විරුද්ධව මතයක් අරන් යනවා ගමට වත් යන්න බෑ කියලා. මේ වගේ විවිධ වැරදි ප්‍රචාර ජනගත වෙනවා. අනිත් පැත්තෙන් අනිත් සියලුම පක්ෂ පාරට බැහැලා මැතිවරණයට මහන්සි වෙන වෙලාවේ අපේ අය නැති වුණාම අපේ ඡන්ද දායකයන්ගේ මොරාල් එක බහිනවා. ඒගොල්ලො වෙන වෙනත් කණ්ඩායම් එක්ක පාවෙලා යන්න පුළුවන්…” ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවාවිතාරණ තර්කයක් මතු කළේය.

“අපි කණ්ඩායම් හැමතැනම ඉල්ලනවනේ… ඒගොල්ලො ගම් මට්ටමින් ප්‍රචාරක කටයුතු කරනවා…”

“ගම් මට්ටමින් කෙරෙන එක හරි … ඒ වුණාට අපිට ජාතික මට්ටමෙන් ලොකු ප්‍රචාරක වැඩපිළිවෙළක් ඕන. ප්‍රචාරක රැලි ඕන. නැත්තං අපිට මාධ්‍යවලින් ලැබෙන සහයෝගය ලැබෙන්නේ නෑ. මාධ්‍යවලින් නිකංම කැපිලා යනවා”

මේ සාකච්ඡාව වැඩි වෙලා ගියේ නැතත් ඉතා වැදගත් තීන්දුවක් ගනිමින් සාකච්ඡාව අවසන් කළහ. අවසානයේ තීන්දු කළේ ජාතික මට්ටමේ රැලි මාලාවක් පවත්වන්නට ය. ප්‍රථම රැලිය අනුරාධපුරයෙන් පවත්වා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ආසන මට්ටමට
ගොස් රැලි පවත්වන්නත් ආසන දෙක තුන ඒකරාශී කර රැස්වීම් පවත්වන්නත් පළාත් මට්ටමින් සම්මන්ත්‍රණ පවත්වන්නත් තීන්දුවක් ගෙන නායකයෝ විසිර ගියහ.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment