අනුරපුරේ දින 60ට වඩා අඩු  වී වගාවට යූරියා දෙනවා – අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර

99

යල කන්නය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කර ඇති දින 60 වඩා අඩු සියලු වී වගාවන්ට යූරියා පොහොර බෙදා හැරීමට පියවර ගන්නා බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පවසයි.

ලේකම්වරයා මේ බව සඳහන් කළේ පෙරේදා (12 දා) පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළ පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති පොහොර කමිටු සාකච්ජාවකදී ය.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රිකකයේ වගා කර ඇති මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 68000කි. එයින් හෙක්ටයාර් 49224 ක් සඳහා යූරියා ලබා දීමට නියමිතය.

ලැබෙන පොහොර, ප්‍රමුඛතාවයට අනුව ලබා දීම සිදු කිරීම සුදුසු බව දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

අනුරාධපුර දිස්ත්‍රිකකයේ ඇති සියලු ගොවිජන සංවර්ධන මධස්ථාන මගින් පොහොර බෙදා හැරීමට කටයුතු කරන බව අනුරාධපුර ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් චමින්ද ඒකනායක මහතා ප්‍රකාශ කළේය. මේ සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහය බලාපොරොත්තු වන බවත්, ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට හැකි නම් මේ කාර්ය වඩාත් කාර්යක්ෂමව කර ගැනීමට හැකි බවත් ඒකානායක මහතා සඳහන් කරයි.

අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්.එල්. තේනුවර, අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ටී.පී. මාලා රම්‍යලතා, පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ පී.එස්.කේ. සමරවීර, ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් එච්.එම්. කුලතුංග, දිස්ත්‍රික් සහකාර පොහොර අධ්‍යක්ෂවරුන් වන ආර්.ඩබ්. බන්දුල කුමාර හා ඒ. ටී. අජිත් කුමාර, මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු සුගත් වීරසිංහ ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මේ කමිටු රැස්වීමට සහභාගී වූහ.

නොච්චියාගම – එම්.එම්.පී.ජී. පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment