අනුරපුර – මිහින්තලාව – තන්තිරිමලේ පොසොන් සිරියෙන් ඇළලෙයි  

169

ලක්දිව සම්බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කිරීම සිහිපත් කෙරෙන ඓතිහාසික පොසොන් පොහොය යෙදී තිබුණු ඊයේ (14දා) අනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලේ ඇතුළු වන්දනීය පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණි සැදැහැවත්හු පුණ්‍ය භූමියන්හි පැවති ආගමික වතාවත්වලට එක්ව සිටියහ.

‘දේශය මිථ්‍යාවෙන් මුදා ගනිමු’ යන තේමාව මුල් කර ගනිමින් මෙවර පොසොන් උත්සවය අනුරාධපුර අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලය යන පූජා භූමි කේන්ද්‍රකර ගනිමින් පැවති අතර අනුරාධපුර මහමෙව්නා උයනේ ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ ඇතුළු අටමස්ථාන පුණ්‍ය භූමියේ සහ සෙසු බෞද්ධ සිද්ධස්ථානයන්හි සුදුවතින් සැරසුණු උවැසි උවැසියෝ අලුයම සිට පෙහෙවස් සමාදන්වී සිටියහ.

ඊයේ අලුයම සිට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්මැලි මහා සෑය, මිහින්තලය රජමහා විහාරය, තන්තිරිමලය රජමහා විහාරය ඇතුළු සෙසු වෙහෙර විහාරවලින් සාදු නාද ගුවනට මුසුවූ අතර මෙවර පොසොන් උත්සවය දාන, ශීල, භාවනා හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් හිමිවිය.

මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පිහිටි මහාවිහාරයේ පැවති විශේෂ පෙහෙවස් සමාදන්වීමේ වැඩසටහන මෙහෙයවනු ලැබුවේ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරි නිවාස නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදිය.

ස්වර්ණමාලි සෑරදුන් අබියස පැවති පෝදා වැඩසටහන් මෙහෙයවනු ලැබුවේ ස්වර්ණමාලි චෛත්‍යරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමිපාණන්ය. සෙසු සියලුම බෞද්ධ වෙහෙර විහාරස්ථානවල ආගමික වතාවත් සිදුකෙරුණේ එම විහාරස්ථානවල නායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා පරිදිය.

මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැව ධම්මරතන නායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරුණු අගමික වතාවත් සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගි වී සිටියහ.

ඊයේ දහවල් වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් පිරිසක් අනුරාධපුරයට පැමිණෙමින් තිබූ අතර අනුරාධපුර දිස්ත්‍රික් පොසොන් කමිටුව මගින් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දී තිබුණි. රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ අනුරාධපුර නගරයේ පිහිටි ඉන්ධනහල්වල දිගු පෝළිම් ද දක්නට ලැබුණි.

පොලිසිය, යුද හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අනුරාධපුර මිහින්තලය තන්තිරිමලය යන ප්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබුණි.

මිහින්තලේ – රංග චතූ සහ අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment