අනුරපුර රෝහලෙත් ඖෂධ හිඟය උග්‍ර වෙලා

103

ඉදිරි කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම ඖෂධ ගබඩාවෙන් ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් අනුරාධපුර ශික්ෂණ රෝහල යම් යම් සීමාවන්ට යටත්ව පවත්වාගෙන යෑමට සිදුවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ශාඛාවේ සහකාර ලේකම් වෛද්‍ය ශෂික විතානගේ මහතා පැවැසීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ඒ බව අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ශෂික විතානගේ මහතා,

රජයේ විගණකාධිපතිවරයා 2022 මැයි මස 13 වෙනිදා නිකුත් කළ වාර්තාවට අනුව ගතවූ වසර දෙක තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ බෙදාහැරීම සහ නිෂ්පාදනය සම්බන්ධයෙන් සිදු වූ ප්‍රතිපත්තිමය තීරණ සහ එම තීරණ කොයි ආකාරයට ක්‍රියාත්මක වීද යන කාරණය පිළිබඳව පැහැදිලි කර තිබෙනවා.

විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ අනුව රෝහල්වල පවතින ඖෂධ හිඟයට ප්‍රධාන හේතුව මධ්‍යම ඖෂධ ගබඩාව තුළ ප්‍රමාණවත් අයුරින් ඖෂධ තොග පවත්වාගෙන නොයෑම බව පෙන්වා දී තිබෙනවා.

මේ අතර මෙම ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ බෙදාහැරීමට සම්බන්ධ රාජ්‍ය ආයතන අතර නියමිත සම්බන්ධීකරණයක් නොමැති වීම යන කාරණයත් ඖෂධ හිඟයට බලපා ඇති බව අනාවරණය කොට තිබෙනවා.

ඊට අමතරව සෞඛ්‍ය බලධාරීන්ගේ හදිසි මිලදී ගැනීම් කියන ක්‍රමවේදයට ගොස් ඔවුන් අනවශ්‍ය ආකාරයට රාජ්‍ය මුදල් අවභාවිත කොට තිබෙන බව පෙනී යනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් මීට පෙර වර්ෂවලත් ඖෂධ මිලදී ගැනීමේදී සිදුවී ඇති අක්‍රමවත්, අවිධිමත් භාවය සහ වංචා සම්බන්ධයෙන් මීට පෙරත් සිය වාර්තාවලින් විගණකාධිපතිවරයා කරුණු අනාවරණය කර තිබුණා.

විගණකාධිපතිවරයා විසින් 2022 මැයි මස 13 වෙනිදා නිකුත් කළ විගණන වාර්තාව මත පදනම්ව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිලි කළා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පැවැති රජයට බලපෑම් කර ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කිරීමට කටයුතු කළා.

නමුත් ඉතාම කනගාටුදායකම කාරණය තමයි මේ වනතුරු ඊට සම්බන්ධ වගකිව යුතු නිලධාරීන් හෝ දේශපාලන අධිකාරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නෑ. නමුත් මේ රටේ අහිංසක ජනතාවගේ නිදහස් සෞඛ්‍ය අයිතිය සුරැකීම සඳහා අපි සංගමයක් හැටියට රජයට ඒ පිළිබඳ දිගින් දිගටම බලපෑම් කරනවා.

විගණකාධිපති වාර්තාවට අනුව 2022 මැයි මස 13 වෙනිදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම ඖෂධ ගබඩාවේ ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 03 ක්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 2721 ක් සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 2330 ක් තිබී නොමැති බවට අනාවරණය කර ගෙන තිබුණා. මධ්‍යම ඖෂධ ගබඩාවේ ඔය කියන ඖෂධ නොමැති නම් අනුරාධපුර ශික්ෂණ රෝහලට එම ඖෂධ ගෙන්වා ගැනීමේදී ඉදිරි කාලයේදී අනිවාර්යයෙන්ම ගැටලුවක් ඇති වෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහල සතුව මේ වනවිට ඇතැම් ඖෂධ ඇත්තේම නෑ. ඇතැම් ඖෂධ ඉතාම සීමිත කාලයකට පමණයි තිබෙන්නේ. එම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරියේදී යම් යම් සීමාවකට යටත්ව පවත්වාගෙන යෑමට සිදුවී තිබෙනවා.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment