අනුරාධපුරය සිල් සුවඳින් පිරෙයි

223

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සැමරෙන අදට (03දා) යෙදී තිබෙන පොසොන් පුර පසළොස්වක පෝය නිමිති කරගෙන පැවැත්වෙන පිංකම්වලට සහභාගිවීම සඳහා මිහින්තලේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සහ තන්තිරිමලේ පිහිටි සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට ඊයේ (02 දා) සිටම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සැදැහැවත්හු පැමිණියහ.

2019 වර්ෂයේ පාස්කු ඉරු දින ප්‍රහාරය හා රට පුරා පැතිරී ගිය කොවිඩ් වසංගතය හේතුවෙන් ගත වූ සිව් වසර මුළුල්ලේ නිසිලෙස සංවිධානය නොවූ බැවින් එම වර්ෂවල පැවති පොසොන් පිංකම්වලට ඉතා සීමිත බැතිමතුන් පිරිසක් සහභාගි වුවද මෙවර පොසොන් වන්දනාවේ ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සහභාගි වනු ඇති බව අනුරාධපුර පොසොන් උත්සව කමිටුව අපේක්‍ෂා කරයි.

මේ අනුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය, මිහින්තලා රජමහා විහාරස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් අද (03දා) දවස පුරා අනුබුදු මිහිඳු මාහිමි ගුණ සමරා දාන, ශීල, භාවනා, ධර්මදේශනා, ධර්ම සාකච්ඡා සහ මල් පහන් බුද්ධ පූජා පිංකම් රාශියක් පැවැත්වීමට පියවර ගෙන ඇත.

අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක සාහිත්‍යශූරී අතිපූජ්‍ය පල්ලේගම හේමරතන, මහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන සහ තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන යන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත මෙම සියලු පිංකම් සංවිධානය කොට තිබේ.

“නැගෙමු, පිබිදෙමු, යෙදෙමු, සුරකිමු මිහිඳු මා හිමි දෙසූ දහම” යන්න තේමා පෙරදැරිව මෙවර මිහින්තලා රජමහා විහාරස්ථානය, ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය හා තන්තිරිමලේ යන පුදබිම් කේන්ද්‍ර කර ගනිමින් පොසොන් පිංකම් පැවැත්වේ.

පොසොන් උත්සවය සඳහා අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ වැඳපුදා ගැනීිමට බැතිමතුන් දසලක්‍ෂය ඉක්මවූ පිරිසක් පැමිණෙනු ඇති බවට අනුමාන කරන අනුරාධපුර පොසොන් උත්සව කමිටුව පවත්නා ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් උපරිමයෙන් සැලසීමට කටයුතු සැලසුම් කොට ඇති බව ජනක ජයසුන්දර මහතා පැවසීය.

මෙවර පොසොන් උත්සව සමයේදී අනුරාධපුර මිහින්තලේ හා තන්තිරිමලේ ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් දන්සල් රැසක් ක්‍රියාත්මක වේ. ඒ අනුව විවිධ සංවිධාන මගින් අනුරාධපුර නගරයේ පමණක් දන්සල් 106 ක් ලියාපදිංචි වී ඇති අතර ඉන් දන්සල් 60 ක් බත් දන්සල් බව අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා සඳහන් කරයි.

මේ අතර බැතිමතුන්ගේ පහසුව සඳහා මිහින්තලේ නගරයේදී දන්සල් 16 ක් හා තන්තිරිමලේ ප්‍රදේශයේ දන්සල් 08 ක් පැවැත්වේ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment