අනුරාධපුර ‘ඥානක්කාගේ’ දේළටවලට හානි කළ 8දෙනෙක් අත්අඩංගුවට – සොරාගත් භාණ්ඩත් හමුවෙයි

1098

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක් පවත්වාගෙන යන ‘ඥාණා මෑණියන්’ නමැති කාන්තාවකගේ නිවසට, හෝටලයට, පහරදී දේපොළ සොරා ගෙන ගිනි තබා විනාශ කර පසුව, එම දේවාලයට ගොස් භාණ්ඩවලට අලාභහානි සිදු කර භාණ්ඩ සොරා ගෙන ගිය පුද්ගලයන් අටදෙනකු, රූපවාහිනි යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයක් සමග ඊයේ (15 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර වන්නියන්කුලම, කීරික්කුලම, තම්මැන්නාපුර සහ මාතලේ හන්දිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පිරිසක් බව පොලිසිය කියයි.

සොරකම් කරන ලද රූපවාහිනි යන්ත්‍ර තුනක්, මේස ලාම්පුවක් සහ එම දේවාලයේ තිබී සොරා ගන්නා ලද තඹ ලෝහයෙන් නිමවන ලද අලියකුගේ ප්‍රතිමාවක් සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පසුගිය 9 දා මධ්‍යම රාත්‍රී සහ පසුදා අලුයම වන තෙක් කලහාකාරී ලෙස හැසිරුණු පිරිසක් අනුරාධපුර නව නුවර මාර්ගයේ පිහිටි එම කාන්තාවට අයත් නිවසට පහරදී, දේපළවලට අලාභහානි සිදු කර ගිනි තබා තිබූ අතර පසුව ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි එම දේවාලය වෙත ගිය එම පිරිස එහි දේපළවලට හානි සිදු කර තිබුණි.

ඉන් අනතුරුව එම පිරිස අනුරාධපුර නව නුවර මාර්ගයේ වෛද්‍ය බළකා කඳවුර ආසන්නයේ පිහිටා ඇති එම කාන්තාවට අයත් යැයි කියන සංචාරක හෝටලයකට ද පහරදී ගිනි තබා තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේකෝන් මහතා, පො. ප. කරුණාරත්න, පො. ප. සරච්චන්ද්‍ර පො.සැ. බණ්ඩාර (48317), පො. සැ. නිශාන් (61406), (48346), තරිඳු (78621), රාජරත්න (66934), ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment