අනුරාධපුර දහයියාගම ෆේස්බුක් මත් සාදයට රිංගූ මන්ත‍්‍රී කලින්ම මාරුවෙයි – මන්ත‍්‍රී සහ දොස්තර ආරාධිතයන් වෙලා

655

* මත්ද්‍රව්‍ය සමග 7ක් අල්ලයි

* සාදයට ඇතුළු වෙන්න එක් අයකුගෙන් 3500ක් අය කරලා


තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සහ වෛද්‍යවරයකු ඇතුළු දෙසීයකට වැඩි පිරිසක් සහභාගි වී සිටි, අන්තර්ජාලය මගින් සංවිධානය කරන ලද අනුරාධපුරයේ පැවති ඞී. ජේ. සාදයක් වටලා විවිධ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් හත්දෙනකු ඊයේ (13ද) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ කාර්යාංශය පවසයි.

මෙම සාදය වටලා සැකකරුවන් සතුව තිබූ රුපියල් හාරදහසක පමණ මිලකට අලෙවි කරන, දිව යට තබා ගන්නා මත් මුද්දර, රුපියල් 4500 කට අලෙවි කරන මත්පෙති සහ කේරළ ගංජා තොගයක් සොයා ගත් බව පොලිසිය පවසයි.

සමාජ මාධ්‍යවලින් සිදු කරන ලද ප‍්‍රචාරයන්ට අනුව දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් පැමිණි වයස අවුරුදු 20ත් 35ත් අතර, තරුණ තරුණියන් දෙසියයකට වැඩි පිරිසක් මෙම ඞී. ජේ. සාදයට සහභාගි වී සිටි බවත් එහිදී මත්ද්‍රව්‍ය ළඟ තිබූ පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය සාදයට ඇතුළුවීම සඳහා එක් අයකුගෙන් රු.3500 ක මුදලක් අය කර තිබූ බවත්, ඇතුළු වූ පසු, මුදල් ගෙවූ අය හඳුනා ගැනීමට කහ පැහැති අත් පළඳනාවක් පළඳවා තිබූ බවත් පොලිසිය පවසයි.

සාදයට ඇතුළු වූ පසු එහි සිටින ජාවාරම්කරුවන්ගෙන් මත්පෙති, මත්මුද්දර, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය මුදලට ලබා ගැනීමට හැකි බව අනාවරණය වූ බවත්, වැටලීම සිදු කරන අවස්ථාවේදී බොහෝ පිරිසක් මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා සහ වෛද්‍යවරයා එම සාදයේ ආරාධිතයන් ලෙස පැමිණ සිටි බවත් අනුරාධපුර දහයියාගම ප‍්‍රදේශයේ පිහිටි මෙම හෝටලය සංවිධායකයන් විසින්, මුදල් ගෙවා වෙන් කරවා ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා ඊයේ (13දා) අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ජයන්ත පුෂ්ප කුමාර මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් හතළිහක කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment