අනුරාධපුර රඳවියන්ට තර්ජනය කිරීම: ලොහාන්ගේ පිස්තෝල පාට් සොයන්න ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිට නියෝග කරයි

137

එල්. ටී. ටී. ඊ. කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසකට රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා සැප්තැම්බර් 12 වැනිදා මරණීය තර්ජන කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21 දා) පොලිස්පතිවරයාට නියෝග කළහ.

පෙත්සම්කාර එල්. ටී. ටී. ඊ. රැඳවියන් අටදෙනා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදුන් ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

පෙත්සම්කරුවන් වහාම වෙනත් සුදුසු බන්ධනාගාරයකට මාරු කිරීමට පියවර ගන්නා ලෙසට ද විනිසුරු මඬුල්ල බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

පසුගිය සැප්තැම්බර් 12 වැනිදා පස්වරු 6.05 ට පමණ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි එවකට බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා සිරමැදිරිවල රඳවා සිටි තමන් ඇතුළු සැකකරුවන් පිරිසක් ඉන් පිටතට ගෙන දණගස්වා මරණීය තර්ජන කළ බව පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් අධිකරණයට දන්වා තිබිණි.

වගඋත්තරකාර ලොහාන් රත්වත්තේ මහතා තමාගේ හිසට පිස්තෝලයක් එල්ල කර එල්. ටී. ටී. ඊ. සැකකරුවන් සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීමේ සම්පූර්ණ බලය ජනාධිපතිවරයා විසින් ඔහුට පවරා ඇති බවට කළ තර්ජනය නිසා තමන් ඇතුළු එල්. ටී. ටී. ඊ. සැකකරුවන්ගේ ජීවිතවලට බලවත් තර්ජනයක් එල්ල වී ඇති බැවින් තමන් යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙස ද පුගාලසිංගම් සූරියබාලන් ඇතුළු පෙත්සම්කරුවන් අටදෙනා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

වගඋත්තරකාර රාජ්‍ය ඇමැතිවරයා එදින සැකකරුවන් 10 දෙනකු මැදිරිවලින් පිටතට ගෙන දණගස්වා ඇති බවත්, අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට සම්බන්ධ නොවූ සෙසු සැකකරුවන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයට යොමු කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් දක්වා නොමැති බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණයට කීවේය.

ජාතික ආරක්ෂාවට ගැටලූවක් ඇතිවිය හැකි බවට උපකල්පනය කළ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා තමන්ව යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙසට පෙත්සම්කරුවන් කළ ඉල්ලීමට විරුද්ධත්වය දක්වා ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

පෙත්සම්කාර රැුඳවියන් යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙස ඉල්ලා ඇත්තේ ඔවුනට එරෙහිව පවතින නඩු කටයුතුවලදී ඔවුන්ගේ ඥාතීන්ගේ සහාය ලබා ගැනීම සඳහා බව පෙනී යන බැවින් එකී ඉල්ලීමට විරුද්ධත්වය දක්වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිව් ගුණතිලක මහතා අධිකරණයට කිවේය.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා, අධිකරණ අමාතය අලි සබ්රි යන මහත්වරුන් සහ නීතිපතිවරයා එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment