අනුර ඩැනියෙල්ගේ රත්තරන් වාර්තාව අලි සබ්රි රහීම් අලුත් කරයි…මේ හොරා හැර තවත් හොරු සිටිත් ද?

1129

ආණ්ඩුව පාර්ලිමේන්තුවේ තමන් සතු ඔළුගෙඩි සංඛ්‍යාවේ ශක්තිය විදහා පාමින් ඇමැතිවරයාට පමණක් නොව ජනාධිපතිවරයාට ද අභියෝගයක් බඳු වූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමට සමත් වී ඇත. ඒ සම්බන්ධයෙන් එක් දිනක විවාදයක් ද පැවැත්වුණි. මෙහිදී ප්‍රකාශ වූ බොහෝ අදහස් අදාළ කාරණයට වඩා එයට නිමිතිවූ පුද්ගලයාට එල්ලවූ ප්‍රහාරයක ස්වරූපය ගත් බව එම විවාදය සජීවී ලෙස නැරඹු බොහෝ දෙනෙකුට ද පෙනී යනු ඇත. විදුලිබල ඇමැතිවරයාත් සමග දිගින් දිගට ම ගැටුමකට ගිය ජනක රත්නායක විසින් විදුලි මාෆියාව හා එහි දූෂණ අක්‍රමිකතා පිළිබඳව කරන ලද අනාවරණයන් බොහෝය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ද මෙරටේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාර නොදැක්වූ බව රහසක් නොවේ. විදුලි බල මණ්ඩලයට මිලියන ගණනින් පොලු තැබූ මැති ඇමැතිවරුන්ගේ අලාභය මෙන් ම විදුලි මාෆියාවේ භීෂණයෙහි ද ගොදුරු බවට පත්ව සිටි ජනතාවට සහනයක් ලැබිය යුතුය යන ස්ථාවරය කොමිසමේ සභාපති ජනකට තිබුණු බව පොදුවේ පිළිගත් කරුණකි. ජ. වි. පෙ. විජිත හේරත් ඍජුවම ප්‍රකාශ කළේ මෙම සභාපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීන්දුවලට එකඟ නොවීම නිසා ඔහුට එම ඉරණම අත්වූ බවය. විදුලිබල ඇමැතිවරයාගේ චෝදනාව වූයේ ඔහු විපක්‍ෂයේ දේශපාලන වුවමනාවන් අනුව ක්‍රියා කළ බවය. පොහොට්ටුවේ එක් විවේචනයකට අනුව කංචන ඇමැතිවරයා හොඳ වැඩි බවත් ඔහුගේ පියාවන මහින්ද විජේසේකර එම ධුරයෙහි සිටියේ නම් ජනකට දත් නැතිව බත් කෑමට සිදුවීමට ඉඩ තිබුණු බවත් සඳහන් විය. චන්දිම වීරක්කොඩි පෙන්වා දුන්නේ කොමිසමේ උපදෙස් පිළිගන්නේ නම් මහජනයා ආණ්ඩුවට හෙණ ඉල්ලන්නේ නැති බවය.

කෙසේ හෝ ජනක නෙරපීමේ විවාදයෙහි එල්ලවූ තර්ක, විතර්ක, විවේචන චෝදනා සියල්ල තුළින් ගම්‍ය වූ එක් දෙයක් තිබුණි. එනම් ස්වාධීන කොමිෂන් යනු හුදු ඇස් බැන්දුමක් රැවටිල්ලක් විනා ඒවාට ආණ්ඩුවේ මතයට විරුද්ධ විය නොහැකි බවය. ස්වාධීන කොමිසමකින් අපේක්‍ෂා කරන්නේ ආණ්ඩුවට විරුද්ධ දේශපාලනයක් ක්‍රියාත්මක කිරීම නොවේ. එහෙත් එහිදී මහජනයා වෙනුවෙන් පෙනී සිටීමටත් ප්‍රතිපත්තිමය වසයෙන් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සාකච්ඡා මගින් විසඳා ගැනීමත් එමගින් කළ යුතුය. එහෙත් මෙහිදී වැඩිපුර ම පෙනී ගියේ ජනක ඊට බෙහෙවින් වෙනස්ව ක්‍රියා කරන්නකු බවය. එසේ වුවද ඔහු මහජනයාගේ දුක් ගැනවිලි දත් ඒවාට සංවේදී පුද්ගලයකු බවද පෙනුණි. ඒ කුමක් වුවත් ආණ්ඩුවේ ඇමැතිවරයා කියන හිතන දේවල් ඒ අයුරින්ම අනුමත කිරීමට නම් ස්වාධීන කොමිසමක් කුමට ද? යන ප්‍රශ්නය අපට ද තිබේ. අද වනවිට මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙහි බරපතළ ගරා වැටීම් සිදුවී තිබේ. ස්වාධීන කොමිසම්වලට ආණ්ඩුව ඇඟිලි ගසන ආකාරය ගැන ද විවේචන තිබේ. එයට හොඳම නිදසුන මැතිවරණ කොමිසමට අත්වු ඉරණමත් ජනතාවගේ ඡන්ද අයිතිය තාවකාලිකව හෝ ගල් කිරීමට ආණ්ඩුව සමත් වූ ආකාරයත්ය. මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා ආණ්ඩුව සමග යුද්ධයකට නොගියත් එම කොමිසම අක්‍රිය කිරීම ඔහුට වළක්වා ගත නොහැකි වුූ බවද අපට පෙනුණ.ි එසේම කොමිසමේ සාමාජිකාවක වූ චාල්ස් ගෙන් ආණ්ඩුවට ලැබුණු සහාය ද අප්‍රමාණ විය. ඇය මේ වනවිට උතුරේ ආණ්ඩුකාරවරිය ලෙස තෘප්තිමත්ව සිටින්නී ද ඇයගෙන් ලැබුණු දේශපාලන සහාය ද නිසාය.

අපේ දේශපාලනය මෙන්ම එහි නිර්දේශ මත විවිධ කොමිසන් සභාවලට හා තනතුරුවලට පත්වන පුද්ගලයන් බැඳී සිටින්නේ අදාළ ඇමැතිවරයා මෙන්ම ඒ ආණ්ඩුවේ කටයුතු මහෙයවීමට විනා ස්වාධීනව හෝ ජනතාවගේ අයිතීන් සුරැකීමට හෝ නොවන බව ඉතා පැහැදිලි කරුණකි. ජනක රත්නායක ද ඒ අනුව එවක ජනාධිපති වූ ගෝඨාභයගේ පත් කිරීමකි. ගෝඨාභය ඔහු තෝරා ගත්තේ වෘත්තිය නිපුණතා හෝ වෙනත් පරිපාලන සමත්කම් ගැන විමසා බලා නොවන බව දැන් හොඳින්ම තහවුරු වී තිබේ. ආණ්ඩුවේ ම මන්ත්‍රීවරයෙක් කියා සිටියේ ඔහු තනතුරු ලබා ගත්තේ ගෝඨාභයට කඩේ ගිහින් බවය. එසේම ඔහුගේ වාග් විලාසය, කසළ චෝදනා ආදිය තුළින් ගම්‍ය වන්නේ ද මෙරටේ දේශපාලනයෙහි පවත්නා මුග්ධ විලාසයත්, දේශපාලන සාක්ෂරතාවෙහි දුබලතාවක් විනා අන් දෙයක් නොවේ.

අනුර ඩැනියෙල්ගේ රත්තරන් වාර්තාව අලි සබ්රි රහීම් අලුත් කරයි…මේ හොරා හැර තවත් හොරු සිටිත් ද?

බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ 21 වැනි සංශෝධනය අනුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී තිබෙන බවය. ස්වාධීන කොමිෂන් ඒ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කෙරෙන උපකරණයක් බවය. එහෙත් එය කෙතරම් මුළාවක් ද? මෙරටේ මේ වනතුරු කොමිෂන් සභාවකට තබා රාජ්‍ය ආයතනයකටවත් ස්වාධීන කිසිවෙක් පත්වී සිටිත්ද ඇත්ත වසයෙන්ම මේ බොහෝ ආයතන දේශපාලන පත්වීම්වලින්ම ජරාජීර්ණ වී තිබේ. වෘත්තීය නිපුණතාවක් හෝ අභිමනාවත් පෞරුෂයක් සහිත අයෙක් වුවද මේ දේශපාලන පත්වීම් නිසා නිවටයන් ගොට්ටන් බවට පිරිහෙන ආකාරය ජනතාවද දනී. රාජ්‍ය යාන්ත්‍රණය සැලසුම්ව හා ක්‍රමවත්ව මෙහෙයවීම වෙනුවට අදාළ ඇමැතිට ආණ්ඩුවට වුවමනා ඕනෑම පාජාති වැඩක් වුවද මේ නිල බලවලින් ඉටුකරවා ගත හැකි බව ඒ පත්වීම් කරන ඇමැතිවරු ද දනිති. කුමක් වුවත් මේ ආණ්ඩුව ජනක රත්නායකට ප්‍රතිචාර දැක්වූ ආකාරයෙන් රටට ලැබෙන පැහැදිලි පණිවුඩයක් ද ඇත. එනම් ආණ්ඩුවෙන් ලැබෙන පත්වීම්වල ආයුෂ රැඳී පවතින්නේ එම පත්වීම්ලාභියා ආණ්ඩුව සමග සිටින තෙක් පමණක් බවය. එබඳු අයෙක් යනු අදාළ ඇමැතිවරයාගේ රබර් මුද්‍රාවක් පමණක් බවය. ඇමැතිවරයා සුරැකීම ඒ සම්බන්ධයෙන් සත්‍යය කුමක් වුවත් ආණ්ඩුවේ මතය අනුමත කිරීම ඒ පත්වීමේ වගකීමකි. එහෙත් ජනක පිළිබඳ තිබුණු පොදු කියැවීම වූයේ ඔහු විදුලි මාෆියාවට එරෙහිවූ ද එම ගාස්තු අයුතු ලෙස ඉහළ දැමීම අනුමත නොකරන්නා වූ අයෙක් බවය. කුමක් වුවත් පොහොට්ටුකාරයන් ඔහුට සැලකුවේ කුණු මාළු කෑල්ලක් ලෙස සලකමින්ය. දැන් ඒ පුටුවට පත්වන පුද්ගලයා නිසැකයෙන්ම කොඳු බිඳ ගත් ගැත්තකු විය හැකිය. එසේ නොවන්නට ඔහුට පැවැත්මක්ද නැත.

මෙසේ ජනක රත්නායක පුටුවෙන් පන්නා දමමින් ආණ්ඩුව විසින් තහවුරු කරන ලද්දේ මේ ගර්හිත දේශපාලනයේ අශ්ලීල හා ග්‍රාම්‍ය පිළිවෙත් රැකීමට ආණ්ඩුවක් කිසිවිටෙක පසුබට නොවන බවය. ඇත්ත යුත්ත කුමක් වුවත් ආණ්ඩුවට එරෙහිවීම යනු සිය දිවි නසා ගැනීමක් බව මෙයින් තහවුරු කර තිබේ. මේවා මෙරටේ දේශපාලන භාවිතය යථාවත් කිරීමේදී හෝ අත්දැකීම් ලෙස ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතිය නොහැක. දේශපාලන වහලුන්, එහෙයියන් විනා එය ප්‍රශ්න කරන කිසිවකුට මේ ක්‍රමය තුළ ඉඩක් නැති බව මේ ඔස්සේ යළි යළිත් තහවුරු කර තිබේ.

මෙම ජනක නෙරපීමේ විවාදය පවතින අවස්ථාවේ මෙරටේ දේශපාලනයේ තවත් ලැජ්ජා සහිත අශෝබන සිදුවීමක් වාර්තා විය. ඒ පුත්තලම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු වන අලි සබ්රි රහීම් විසින් සිය වරප්‍රසාද හා නිලබලය අවභාවිත කරමින් සිදු කළ රත්තරන් හොරකමක් ගැනය. රත්තරන් කිලෝ තුනකට ආසන්න ප්‍රමාණයක් හා නවීන ජංගම දුරකථන 91ක් ද සමග රේගු අත්අඩංගුවට පත්වූ රහීම්ට ඒ හොර මෙහෙයුම සඟවා ගුවන් තොටුපළෙන් පිටවීමට නොහැකි වූයේ රේගු නිලධාරීන්ගේ දක්ෂතාව හා එඩිතරකම ද නිසාය. මන්ත්‍රීවරප්‍රසාද සමග ප්‍රභූ පර්යන්තයෙන් එන පුද්ගලයකු සමග ප්‍රශ්නයක් ඇති කර ගැනීම යනු රැකියාව තබා ජීවිතය ද ඔට්ටුවට තබා කරන බිහිසුණු මෙහෙයුමකි. එහිදී මන්ත්‍රීවරයා ජනාධිපති හා අගමැති ලේකම්වරුන්ගේ සහාය ද ඉල්ලා තිබුණත් ඒවා සාර්ථක වී නැත. අන්තිමේ දී ලක්ෂ 75ක දඩයක් ගෙවූ බව ඒ ප්‍රභූ චෞරයා දත් කූරු සපමින් එළියට පැමිණි බව ඔහුගේ ප්‍රතිචාරවලින් ම තහවුරු වේ. ඔහු මාධ්‍යවලට කළ සීනිබෝල ප්‍රකාශ සිනහවට වඩා ඔහුගේ සදාචාරය හා වගකීම පිළිබඳ ප්‍රශ්න

ගණනාවකට ද හේතු වේ. ඔහු ජනක නෙරපීමේ චෝදනාවට විරුද්ධව ඡන්දය දෙන්නේ ද තම හොර මෙහෙයුමට ඉහළින් සහනයක් නොලැබීම නිසාය.

මේ සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් අගනා විවේචනයක් කර තිබුණි. ඔහු ප්‍රශ්න කළේ මහජනතාවගේ පැත්ත ගෙන කටයුතු කළ ජනක රත්නායක එම තනතුරෙන් නෙරපා හරිද්දී ඔහුට ඒ විවාදය නැරඹීමට ගැලරියට ඒමට තරම්වත් ඉඩක් නොදුන් ආණ්ඩුව රත්තරන් වංචාවකට හසුවී ලක්ෂ 75ක දඩ මුදලකුත් ගෙවූ තම පාර්ශ්වයේ මන්ත්‍රිවරයකුට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ දී තිබීම ගැනය. සැබැවින්ම එහි අරුත තමන්ගේ රැහේ එකාට ඕනෑම පජාති වැඩක් කළ හැකි බවද කුමක් වුවත් කීපවතාවක්ම ඩුබායිවලට ගිය මේ මන්ත්‍රී එබඳු දූෂිත ජාවරම් කළ බව රේගුවේ අනුමානය වී ඇත. ජාවාරම්කරුවන්ට ඔහුගෙන් අනුබල අනුග්‍රහය ලැබෙන්නට ඇති බවද රේගු නිලධාරීන්ගේ අවධානයට ලක්ව තිබේ.

අද මෙරටේ සිදුවන බොහෝ නීති විරෝධී ක්‍රියාකාරකම් මෙන්ම පාතාල මෙහෙයුම් හා කුඩු ගෙන්වීම වැනි බරපතළ අපරාධ සමග ගෑවුණු, චෝදනාවට ලක්වූ ඇතැම් දේශපාලන චරිත පිළිබඳව ද ජනතාව දනිති. එය ප්‍රාදේශීය දේශපාලනයේ සිට ඉහළට ම පැතිර තිබෙන වෛරසයක් වැන්න. හැත්තෑව දසකයෙන් ඇරඹුණු ඒ විනාශකාරී දේශපාලනයේ උපරිම තලයට ළඟාවීමට දැන් අපේ නායක කාරකාදීන්ටත් ගෝල බාලයන්ටත් හැකිවී ඇතැයි පොදු විවේචනයක් ද ඇත. ලංකාව දූෂණය. භීෂණය, වංචාව, හොරකම, අල්ලස ආදී සකල විධ දුෂ්චරිතයන්ගෙන් ඉහ වහා ගිය රටක් ලෙසද හැඳින්වේ. දේශපාලනය ව්‍යාපාරයක් බවටත්, ධනෝපායන මාර්ගයක් ලෙස පත්කරගැනීමත් නිසා මේරට චෞර වළල්ලකට මැදිවී තිබේ යැයිද කියනු ලැබේ. කෝප් කමිටුව ඉදිරිපිට හෙළිවී තිබෙන අක්‍රමිකතා, දූෂණ ආදිය දෙස බලනවිට අපට හැඟෙන්නේ මේ ශූර චෞරවයන්ට මැදිවූ අපේ දිවයින මේ තරමින්වත් ආරක්‍ෂා වීම පුදුමයක් බවය. ඒ වර්ගයේ සිරුර ලොමු දැහැගැන්වන හොරකම් සිදු වුවත් ඒවාට එරෙහිව ගත් නීතිමය පියවරක් හෝ දඬුවම් ලැබුණු හොරෙක් ගැන හෝ බොහෝ විට වාර්තා වන්නේ ද නැත. දේශපාලන නිල බල පැකිලීමකින් තොරව හොරකම් සඳහා යොදා ගන්නා බව කියැවෙන රටක ඒ සඳහා බියවීමට කරුණු ද අඩුය. විශේෂයෙන් ආණ්ඩුවක ක්‍රමය වන්නේ තම පක්‍ෂයේ හොරුන් ගැන මුනිවත රැකීමය. ආණ්ඩුවට හොරකම්, මැරකම් අයථා ක්‍රියාකාරකම් අදිය ගැන විපක්‍ෂවලින් එල්ල වන චෝදනා සුළුපටු නැත. එහෙත් දැන් ඒවා අපේ දේශපාලනයේ සාමාන්‍ය දේවල් වැන්න. හොරකම, මැරකම දේශපාලන ඔවුන්ගේ ප්‍රමුඛ ලකුණු වී තිබේ. ඒ තරමට මන්ත්‍රීකම, අගමැතිකම බාල්දු වී තිබේයැයි චෝදනා ද ඇත.

මේ වර්ගයේ රත්තරන් හොරකමක් ගැන වාර්තා වන්නේ 1978 ජේ. ආර්. ජයවර්ධන පාලන සමයෙහිදීය. අනුර ඩැනියෙල් නමැති මන්ත්‍රීවරයෙක් රත්තරන් පොලු හොරකමකට එදා අල්ලා ගනු ලැබුණි. සබ්රි විසින් අලුත් කරන ලද්දේ මෙයට 45 වසරකට පෙර තිබුණු වාර්තාවකි. ගාලු මුවදොර අරගලය කුණුපයක් සේ ඉවත දැමීමට යෝජනා කරන අය ඒ අරගලකරුවන් විසින් එල්ල කරන ලද කිසිම චෝදනාවක් තඹයකට මායිම් නොකරති. එදා අරගලකරුවන්ගේ ප්‍රබලම චෝදනාවක් වූයේද පාර්ලිමේන්තුවේ 225 ම හොරුන් බවය. දූෂිතයන් බවය. ඔවුන්ගෙන් මෙරටේ අනාගතයට සාධනීය කිසිවක් සිදු නොවන බවය. මේ චෝදනාවට එසේම නැඟීමට අපි ඉක්මන් නොවෙමු. එහෙත් මේ දේශපාලනය විසින් හොරුන් නඩත්තු කිරීම පිළිබඳව නම් අපට විවේචනයක් ඇත. ආණ්ඩුවල මතය සමග ගැටෙන අයෙක් ඉවත් කිරීමට දරන උත්සහාය, ඒ ආණ්ඩුවේ ගෞරවය, පවිත්‍රත්වය, අභිමානය බින්දුවට බස්සවන දේශපාලන සගයන්ට, මැති ඇමැතිවරුන්ට නො දැක්වීම ගැන අපට දැඩි විවේචනයක් තිබේ. ජනකට වසලවාදයෙන් පරිභව කරන වීරයන්ට මේ වරප්‍රසාද ලත් ප්‍රභූහොරුන් ගැන ලැජ්ජාවක් නොවීම පුදුම සහගතය. හොරා හොරෙක් වන්නේ නීතියෙන් ඔප්පු වුවහොත් පමණයැයි පොළොවේ හැපෙන සදාචාර මහත්වරුන් කරන්නේ ද හොරුන්ට ම අනුබලදීමක් නොවේද හොරුන්, දූෂිතයන්, මැරයන් පන්නා දැමීමට ආණ්ඩුවක් දෙන පරමාර්ශය කුමක්ද?

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම එයින් බල ගැන්වෙන විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යනු මෙරටේ ප්‍රධාන කුලුනු තුනය. ජනමාධ්‍යයත් එයට එක්කර හතර වෙනි ආණ්ඩුව ලෙසද හැඳින්වේ. එහෙත් විධායකය. ව්‍යවස්ථාදායකය යන දෙක සම්බන්ධයෙන් මෙරටේ බහුතර ජනතාව තුළ ප්‍රසාදයක් තිබේද විධායක බලය භාවිතය සම්බන්ධයෙන් දැන් දැඩි විවේචනද තිබේ. ව්‍යවස්ථාදායකයටද විවේචනවල අඩුවක් නැත. මේවා බොහෝ විට දේශපාලන නායකයන්ගේ අභිලාෂයන් අනුව ක්‍රියාත්මක වන ආයතන විනා මහජනතාව හෝ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු සමාජ සාර්ධර්ම, ප්‍රතිපත්ති චර්යාවන් සුරක්ෂිත කරවන පද්ධතියක් ලෙස හැඳින්විය හැකිද? ජනාධිපතිවරුන් ගැන ඇමැතිවරුන් ගැන මෙන්ම නිලධාරීන් ගැනද මහජනයා තුළ අත්තේ ප්‍රසන්න හැඟීම් නොවේ හොරකම්වලට ගෑවී ඇතැයි කියවෙන අය ගැන වුවද විමර්ශනයක් සිදු කෙරෙන ක්‍රමවේදයදක් මෙරටේ නැත. මහා පරිමාණ ව්‍යාපෘති සම්බන්ධයෙන් නැඟෙන දූෂණ වංචා චෝදනා වුවද ස්වල්ප නොවේ. ආණ්ඩුවේ ඇමැතිවරු එබඳු අයුතු ධන ඉපීම් සඳහා පෙළඹී සිටිත් නම් මන්ත්‍රීකම පමණක් තිබෙන එකා කල්පනා කරන්නේ ඒ වපසරිය තුළ හෝ යමක් කමක් හොයා ගැනීමට විය හැකිය. අප මේ කියන්නේ පොදුවේ සියල්ලෝම හොරු බවක් නොවේ. බල්ලන් සමග ලැගීම නිසා මැක්කන් සමග නැඟිටීමට සිදු වන්නාක් මෙන් හොරුන් සමග වාසය කිරීම ද හොර නාමය ගා ගැනීමට ප්‍රමාණවත්ය. එබඳු පසුබිමක මේ හොරා හැර තවත් හොරු සිටිත්දැයි ඇසීමේ කිසිදු වරදක් නැත.

එදා ජේ. ආර්. ජයවර්ධනට ද ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සිටි හොරුන් පාලනය කළ නොහැකි වූ බව ජයවර්ධන චරිතාපදානයෙහි දැක්වේ. එහෙත් ඔහු තම අනුගාමිකයන්ට පරමාදර්ශයක දුන් චරිතයක් ලෙස ද හඳුන්වා ඇත. ඔහු ගේ නිවස එහි වු භාණ්ඩ ආදිය ඉතා සරල හා චාම් ලෙස පවත්වා ගෙන ගියේද ඒ කාලයේ පවා මහා මාලිගා ඉදි කිරීමේ උමතුවකින් පෙළුණු ඇමැතිවරුන්ට ආදර්ශයක් වන පරිදි බවද එහි සඳහන්ව ඇත. රාජ්‍ය නායකයා ලෙස සුඛෝපභෝගී ජීවන රටාවක් ඔහුට ප්‍රිය නොවූ අතර සිය පාරම්පරික නිවස හැර කිසිම තැනක ඔහු නමින් මන්දිර නොනැගීමටද ඔහුට අවශ්‍ය වී ඇත. ඉහළ වටිනාකම් සහිත ඉඩම්, විදේශ තැන්පත් කිසිවක් සම්බන්ධයෙන් ජේ. ආර්ට කිසිවෙක් චෝදනා නොකරති. දූ දරුවන්, නෑයන් ආදීන්ට වරප්‍රසාද සහිත ජීවිත හිමිකර නොදීමටද ඔහු කැප වී ඇත. එහෙත් ඔහු පෙන්වු ධර්මිෂ්ට සමාජ සිතියම දූෂණය, භීෂණය, අල්ලස ආදී කළුපැල්ලම්වලින් ගහන වුවක් බවද කියති.

මේ අනුව නායකයකු කෙතරම් ප්‍රතිපත්ති අනුගමනය කළත් ඔවුන් විනය නීතිය නොතකා ක්‍රියා කිරීම මහත් විනාශයක් බව අද සක්සුදක් සේ පැහැදිලිව ඇත. වත්මන් ජනාධිපති රනිල් අද මුහුණ දී සිටින්නේද සුපිරි ජීවන රටාවලට හුරු වූ බොහෝ අය විසින් කරනු ලබන දූෂණ හොරකම් මුදල් ඉපයීම් නවතා ලීමේ උභතෝකෝටිකයට විය හැකිය. කුමක් වුවත් එදා රත්තරන් හොරකම නිසා අනුර ඩැනියෙල්ට නම් මන්ත්‍රීකම අහෝසි වූ බවද මතකය. එහෙත් ඔහුගේ නැඟණිය වූ ශ්‍රියානි ඩැනියෙල්ට ඔහු නියෝජනය කළ ආසනය ලබාදීමට ජයවර්ධන ජනධිපතිවරයා පියවර ගෙන තිබුණි. එසේ වුවද වත්මන් සමාජ දේශපාලන බිඳ වැටීම දන්නා මෙරටේ ජනතාව නම් හොරුන්ට දූෂිතයන්ට ගෑවුණු කෙනෙකුටවත් සිය මනාපය පළ කරනු ඇතැයි සිතිය නොහැක. එනිසා මේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ප්‍රතිචාරය මෙම දූෂිත දේශපාලනයේ හැරවුමක් සංකේතවත් කරන්නක් වුවහොත් කොතරම් අගේද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment