අනුර බණ්ඩාරනායක මෙරට සිටි නිර්මල නායකයෙක්

463

(අදට 15 යෙදෙන අනුර බණ්ඩාරනායකයන්ගේ  73 වැනි ජන්ම දිනය වෙනුවෙනි)

 ශ‍්‍රී ලංකා දේශපාලනයේ එක් යුගයක් වර්ණවත් වූයේ අනුර බණ්ඩාරනායකයන් නිසා ය. එතුමා 1949 පෙබ. 15 වැනි දින උපත ලැබීය. ඔහු දෙස් විදෙස් පතළ කීර්තියක් ලැබූ රාජ්‍ය නායකයන් දෙපළක් වූ ශ‍්‍රීමත් එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකයන්ගේ සහ ලොව පළමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ එකම පුත‍්‍රයා විය. ඔවුන්ගේ නොමඳ සෙනෙහස මැද වැඩුන කුඩා අනුර වෙත ලංකාවේ කොයි කාගේත් නෙත් යොමුවී තිබුණේ කෙදිනක හෝ ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්වනු ඇතැයි යන හැඟීම නිසා ය. එහෙත් දෛවයේ කුමන කරුණක් නිසා මේ දයාබර මානව හිතවාදී නායකයාට එම තත්ත්වයට පත්වීමට නොහැකි විය. මෙයට හේතුවක් වන්නට ඇත්තේ එතුමා කිසි ම විටක සටකපට අවස්ථාවාදී දේශපාලනයක නිරත නොවීමත් ඇසුරට වැටුණු පවිටු මිතුරන්ගෙන් වූ හානියත් වන්නට ඇත. මේ නිසා දේශපාලන අම්බරයේ ඉහළ ම හිනිපෙත්ත වන රාජ්‍ය නායකත්වය පෙනි පෙනී එතුමාට එය අහිමිව ගියේය.

 අනුර බණ්ඩාරනායකයන්ගේ දේශපාලන ජීවිතයේ කෙදිනකවත් ජාතිවාදය, ආගම්වාදය දක්නට නොවූයේය. ඒ බව ඔහුගේ පාර්ලිමේන්තු දේශන, ප‍්‍රසිද්ධ දේශපාලන කතා හා ශාස්ත‍්‍රීය දේශන පිරික්සූවිට පෙනී යයි. එතුමා සැබැවින්ම මානව හිතවාදියකු විය. හැම ජන කොටසකට ම ආදරය කළේය. හැම  ආගමකට ම ගරු කළේය. කෙනකුගේ ජාතිය හෝ ආගම් පදනම් කරගෙන එතුමා කාටවත් පහර ගැසුවේ නැත.

 අනුර බණ්ඩාරනායක සිය දේශපාලනය ලියුවේ තමා විසින්ම ය. සංස්කරණය කළේ් තමාමය. එතුමා ඉංග‍්‍රීසි අත්අකුරින් ලියූ පිටපත් මා දැක ඇත. එතුමා සිය කතාවක් අවසන් කරන්නේ සම්භාවනීය බටහිර ලේඛකයකුගේ කවියක් හෝ වැකියක් සිය කතාවට අපූර්වට ගළපා ගනිමින්ය. එතුමා විලියම් ශේක්ෂ්පියර්, ටී. එස්. විලියට් වැනි බටහිර කවීන්ගේ නිර්මාණ මැනවින් අධ්‍යයනය කර ඇත. ඒවා හොඳින් තේරුම් ගන්නා මහා රසඥතාවයක් ඔහුට තිබිණි. අනුර බණ්ඩාරනායක පිටරට සම්භාවනීය චිත‍්‍රපට බැලීමේ ලෝලියෙක් ද විය.

 අනුර බණ්ඩාරනායක හැදී වැඩුණේ කලබලකාරී අවිවේකී පරිසරයක වුවත් පොත පත කියවීම, කවි නිර්මාණය, කියවීම, නවකතා පරිශීලනය, විදෙස් සම්භාවනීය චිත‍්‍රපට හා නාට්‍ය නැරඹීම යනාදිය නො කඩවා කළේය. සිය පියා ද අපමණ කියවීමේ ලෝලියකු විය. ඒ ආරය ඔහුට බලපාන්නට ඇත. ඔහු කොතරම් බරපතළ කරුණුවලට මුහුණ දී සිටිය ද සැහැල්ලූවෙන් සිනහමුසු මුහුණින් ගත කළේය. එතුමා කිට්ටුවෙන් ඇසුරු කරන්නට මට ලැබුණු නිසා මට පෙනී යන්නේ ඔහු තුළ විවිධ විෂයන් ගැන පෘථුල දැනුමක් තිබූ බවයි. ඉතිහාසය සාහිත්‍ය දේශපාලන දර්ශනය හා ආර්ථික දර්ශනය පිළිබඳව එතුමා සමකළ හැකි දැනුමක් තිබූ අය පාර්ලිමේන්තුවේ සිටියේ අල්ප පිරිසකි. අතීත රාජ්‍ය සභාව උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් හා විශිෂ්ට පරම්පරාවල පුද්ගලයන්ගෙන් සමන්විත වුවත් නූතනය එසේ නොවන බව ප‍්‍රසිද්ධ මතය යි.

 අනුර බණ්ඩාරනායකගේ මඟ පෙන්වීම ඇසුර හා උදව් නිසා දේශපාලනයේ හිනිපෙත්තට ම ගිය අය අද දේශපාලනයේ ඉහළින්ම වැජඹෙති. එසේ වුවත් ඔවුන් කිසිම කෙනකු එතුමාගේ උපන්දිනයට හෝ අනුස්මරණයට හෝ ලිපියක්, අනුස්මරණ උත්සවයක්, දේශනයක් පවා දානයක්වත් දීමට කෘතඥතාවක් නොමැත. ඒ තරමට ම අද දේශපාලන සමාජය පිරිහීමට හෝ විකෘති තත්ත්වයට පත්ව ඇත. කෙළෙහිගුණ අන්තයට පිරිහී  ගොස්ය.

 අනුර බණ්ඩාරනායක මහතා තම හොරගොල්ල වළව්වේ ඉඩමේ අතිශය වාණිජමය වටිනාකමක් සහිත නුවර කොළඹ පාර අද්දර අක්කර ගණනාවක් තම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි කම්කරුවන්ට බෙදා දුන්නේය. නූතන දේශපාලනයේ එබඳු ලෙස කළ කිසිවකු නැත. මෙලෙස ක‍්‍රියා කළේ එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක, පිලිප් වැනි දේශපාලනඥයෝය. ලංකාවේ නූතනයේ නම්, සියයට 99ක් ම දේශපාලනඥයන්ගේ ක‍්‍රියාදාමය වන්නේ පරම්පරා සඳහා ද ධනය රැුස් කිරීමය. 1977න් පසු මෙරට දේශපාලනය දරුණු සෝදාපාළුවකට ලක්වීම නිසා දේශපාලනඥයන් ධනය හා බලය පසු පස හඹායෑම ප‍්‍රකට කරුණක් විය. මේ නිසා අනුර බණ්ඩාරනායක වැනි දේශපාලනඥයෝ අද දුර්ලභය. අද ඒ නිසා මහජනතාවගේ ප‍්‍රශ්න දිනපතා ඉහළ යනවා මිස පහළ යන්නේ නැත.

 අනුර බණ්ඩාරනායක මහතා රාජකීය විiාලයේ අධ්‍යාපනය හමාරකොට ලොව ප‍්‍රකට විශ්වවිiාලයක් වන ලන්ඩන් විශ්වවිiාලයේ අධ්‍යාපනය ලබා ඉතිහාසය පිළිබඳ පළමු පෙළේ ගෞරව උපාධිය දිනා ගත්තේය. එතුමාට එම විශ්වවිiාලයෙන් ලැබූ කථිකාචාර්ය ධුරයත් අතහැර තමාට සිය පවුලෙන් උරුම වූ දේශපාලනයට නායකත්වය දෙන්නට ලංකාවට පැමිණියේය. එතැන් සිට ශ‍්‍රීලනිපයේ ශාඛා සමිතියේ සිට ජාතික මට්ටම දක්වා සියලූම අංශ විධිමත් කරමින් ශක්තිමත් කරමින් ඒවාට මාර්ගෝපදේශකත්වය හා නායකත්වය දෙමින් පක්ෂය මෙහෙය වීය. 1977 අන්ත පරාජයක් ලබද්දී තරුණ නායක අනුර නුවරඑළියේ 49,000කට අධික ඡුන්ද ප‍්‍රමාණයක් ලබා ගත්තේ දින හයක් පමණක් එම ආසනයේ මැතිවරණයට යෙදීමෙනි. නුවරඑළිය, මස්කෙළිය බහු ආසනයේ එතුමා දෙවැනි මන්ත‍්‍රීවරයා වන්නේ තොණ්ඩමන් නමැති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා තෙවැනියා කරමින්ය.

 දමිළ වතු කම්කරුවන් අති බහුතරයක් ඇති, නුවරඑළිය, මස්කෙළිය ආසනයේ  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්පසු කිසි දිනෙක එබඳු ඉහළ ඡන්ද ප‍්‍රතිශතයක් නොලැබූ බව පෙනේ. ඉන් ගම්‍ය වන්නේ අනුරගේ ජනප‍්‍රියත්වය සංවිධාන ශක්තියත් හා කථිකත්වයත්ය. ඔහු 1977 මැතිවරණයට රට පුරා ගියේය. සෑම ආසනයකම රැුස්වීම් ඇමතීය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වැටෙන්නට ගිය අඩියෙන් ගොඩගත්තේ අනුර ය. 1977න් පසු බලය හිමි එජාපය විපක්ෂය සමතලා කිරීමට කටයුතු කරද්දී ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු 8ක් සමග කරට කර සටනක් දුන්නේ සිය වාග් චාතුර්යයේ මහිමයෙන්ය. එජාප නායකයන්ට හීන් දාඩිය දමන්නට අනුර සිය වාග් සංග‍්‍රාමය මෙහෙය වීය.

 අනුර බණ්ඩාරනායකයන් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල සිටි ළාබාලම විපක්ෂ නායකයා විය. ඔහු විපක්ෂ නායක ලෙස සිය කාර්යභාරය නියමාකාරයෙන් ඉටු කළේය. සිය තනතුරු ජනතා සුබසෙත සඳහාත්, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසාත් හෙතෙම කැප කළේය. එසේම මෙතුමා ලංකාවේ කීර්තිමත්ම කථානායක ලෙස කථානායක පුටුව බැබළ වීය. අනුර බණ්ඩාරනායක මහතා කථානායක ධුරයේ කීර්තිය හා බලය නිසි ලෙස රැුකී ආකාරය ගැන ආදර්ශයක් ලබා දෙයි. එතුමාගේ අඩුව වර්තමාන දේශපාලනයට බලවත් පාඩුවකි. මෙම විචිත‍්‍රවත් දේශපාලනඥයාගේ වාග් චාතුර්යයෙන් ඔප් නැංවුණු ශී‍්‍ර ලංකා දේශපාලන වේදිකාවට යළිත් එබඳු ප‍්‍රතාපවත් චරිත නොලැබෙනු ඇත.

 ගාමිණී ගුණසේකර
 සභාපති අධ්‍යාපන මිත‍්‍රත්ව සංසදය

advertistmentadvertistment
advertistmentadvertistment