අනුලා චෛත්‍යයේ කැණීම්වලින් ධාතුන් වහන්සේ නමක් සහ පුරාවස්තු රැසක් හමුවෙයි

511

ඓතිහාසික මිහින්තලා පුරාවිද්‍යා භූමියට අයත් අනුලා චෛත්‍යයේ කැණීම් අතරතුර පලිගුවලින් ආවරණය කරන ලද ධාතූන් වහන්සේ නමක් ඇතුළු ඉපැරණි වටිනාකමින් යුත් පුරාවස්තුන් රැසක් හමුවී ඇතැයි මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ ඊයේ (20දා) සඳහන් කළහ.

කැණීම්වලදී හමුවූ ධාතූන් වහන්සේ බොහෝ විට සර්වඥ ධාතුන් වහන්සේ නමක් වන බවට සැක පළ කරන බවත්ල මෙම ධාතූන් වහන්සේගේ කාලනිර්ණය සිදු කර ඊට අදාළ ඓතිහාසික තොරතුරු අනාවරණය කර ගැනීමේ කටයුතු ඉදිරියේදී සිදු කරන බවත් නාහිමිපාණෝ පැවසූහ.

මීට අමතරව මැටිවලින් සාදන ලද පුරාවිද්‍යා වටිනාකමකින් යුතු විවිධ හැඩයන් සහිත පුරාවස්තුන් කිහිපයක්ද මෙම කැණීම් අතරවාරයේදී එම පුරාවිද්‍යා නිලධාරීන්ට හමුව තිබේ.

මෙම කැණීම්වලදි ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු විශ්වාසය පළ කරති.

මෙරට ප‍්‍රථම බුද්ධ ශ‍්‍රාවිකාව වූ අනුලා මහරහත් තෙරණිය ඇතුළු පන්සිය නමක් බුද්ධ ශ‍්‍රාවිකාවන් වෙනුවෙන් ක‍්‍රිස්තු පූර්ව තෙවන සියවසේ විහාර මහාදේවියගේ මූලිකත්වයෙන් ඉදිකළ දැනට ගරා වැටී විනාශ වෙමින් පවතින ඓතිහාසික අනුලා චෛත්‍ය පුදබිම නැවත ප‍්‍රතිස්ථාපනය කිරීමේ පුණ්‍යෝත්සවය පසුගියදා ආරම්භ කෙරිණි.

තායිවානයේ ප‍්‍රධාන සංඝනායක නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ හා කුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපානන්ගේ ප‍්‍රධානත්වයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම සෑයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන අතර චෛත්‍ය ප‍්‍රතිස්ථාපන කටයුත්ත පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

වසර 2500ට අධික ඈත ඉතිහාසයක් ඇති අනුලා චෛත්‍යය පිහිටි පුදබිම 1926 වසරේදී පුරාවිද්‍යා බිමක් බවට පත්කර ඇතත් කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත්ව තිබුණි.

සංඝමිත්තා මහරහත් තෙරණිය ශ‍්‍රී මහ බෝධින්වහන්සේ මෙරටට වැඩමවීමෙන් අනතුරුව අනුලා බිසව ප‍්‍රමුඛ කුල කාන්තාවන් පන්සියයක් එක්ව පැවිදි වී මෙහෙනි සසුන ආරම්භ කර අනුලා චෛත්‍යය පිහිටි පිං බිමේ සිට ත‍්‍රිපිටකය හදාරලා ලෝකයටම බුදු දහම ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබේ.

මිහින්තලේ – රංග චතූල කැකිරාව – සුදත් ඒකනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment