අනුශූරයෝ අද පකිස්තානය සමග අවසන් පූර්ව සටනට පිවිසෙති

220

2022 පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පාකිස්තානය සහ නවසීලන්තය අතර ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පස්වරු 01:30ට ආරම්භ වීමට නියමිතය.

නවසීලන්ත කණ්ඩායම කේන් විලියම්සන් විසින්ද පාකිස්තාන කණ්ඩායම බාබර් අසාම් විසින්ද මෙහෙයවනු ලබති. මෙවර ලෝක කුසලාන තරඟාවලියේ තමන් සහභාගි වූ තරගවලින් එකක් පමණක් පරාජයට පත්වූ නවසීලන්තය සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව ද නියෝජනය කළ පළමු කාණ්ඩයෙන් තරග වැදුණි. එහිදි එම කාණ්ඩයේ පෙරමුණ ගත් කණ්ඩායම ලෙස ප්‍රසාද ලකුණු 7ක් හිමි කරගෙන අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීය.

නවසීලන්ත එම තරඟ අතරින් පරාජයට පත්වූයේ එංගලන්තයට එරෙහිව තරගය පමණක් වූ අතර ඔස්‌ට්‍රේලියාවට එරෙහිව පැවති සුපිරි 12 සමාරම්භක තරගයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තරගාවලියට අවතීර්ණ වූයේය.

අනුශූරයෝ අද පකිස්තානය සමග අවසන් පූර්ව සටනට පිවිසෙති

පාකිස්තානය එහි දෙවන කාණ්ඩය යටතේ තරග වැදුණු අතර පළමු තරගයේදී ඉන්දියාව හමුවේ පරාජයට පත් වූ ඔවුහු දෙවන තරගයේදී සිම්බාබ්වේ හමුවේ ලජ්ජා සහගත පරාජයකට ද උරුමකම් කීහ.

එහෙත් අනතුරුව ප්‍රබල ලෙස තරගාවලියට අවතීර්ණ වූ පකිස්තානය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ අයර්ලන්තයට එරෙහි තරග ජයග්‍රහණය කරමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීය.

ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සහ දක්ෂ වේග පන්දු යවන්නන්ගෙන් සැදුම්ලත් නවසීලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේදී සුවිශේෂී දස්කම් දක්වන්නට සමත් වූ අතර ඔවුහු පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අනුශූරයෝ ද වෙති.

පසුගිය 2021 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී එංගලන්තය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ නවසීලන්තයට ඔස්‌ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වී අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය. එම ලෝක කුසලාන තරගාවලියේ දී ද අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ පාකිස්තානය එහිදී ඔස්‌ට්‍රේලියාව හමුවේ අනපේක්ෂිත පරාජයකට මුහුණ දී අවසන් තරගයට සුදුසුකම් නොලබා තරගාවලියෙන් නික්ම ගියේය.

නවසීලන්තය සහ පකිස්තානය අවසන් වරට මුණ ගැසුණු පන්දුවාර විස්සයි විස්ස තරග 5 අතරින් තරග 4ක් ජයග්‍රහණය කිරීමට පකිස්තානය සමත් වී ඇති අතර නවසීලන්තය එහිදී ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. නවසීලන්තයේ ප්‍රබල පිතිකරුවන් වන ඩෙවොන් කෝන්වේ,

ග්ලේන් පිලිප්ස්, කේන් විලියම්සන් ලකුණු අතර සිටීම පකිස්තානයට ඉමහත් හිසරදයක් වනු ඇති අතර පාකිස්තානයේ වේග පන්දු යවන ක්‍රීඩකයන් වන සහීන් ෂා අෆ්රිඩි, හැරිස් රවුෆ් සහ තුන් ඉරියව් ක්‍රීඩක ශදාබ් ඛාන් නවසීලන්ත පිතිකරු ලැයිස්තුවට තර්ජනයක් වනු නොඅනුමානය.

කසුන් රණවීර ඔස්‌ට්‍රේලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment