අනුශූර ක්‍රොඒෂියාව විසි වී මෙසී සිහිනයට යයි – එය මාගේ ලෝක කුසලාන අවසන් සටනයි

404

වාර්තා රැසක් තැබූ මෙසී එසේ කියයි

ලෝක පාපන්දු පිටියේ ලියොනල් මෙසී නාමය ඉදිරියේ තවත් වාර්තා ගොන්නක් සටහන් කරමින් ආර්ජන්ටිනා කණ්ඩායම 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීය.

එම අවසන් මහා තරගය තමන්ගේ අවසාන පාපන්දු ලෝක කුසලාන තරඟය වනු ඇතැයි මේ වන විට 35 හැවිරිදි වියේ පසු වන ලියොනල් මෙසී තරඟයෙන් අනතුරුව ප්‍රකාශ කළේය.

කටාර් රාජ්‍යයේ ලුසල් ක්‍රීඩාංගණයේදී ඊයේ (14 වැනිදා ) අලුයම ක්‍රොඒෂියාව සමග පැවති අවසන් පූර්ව තරගය 3-0ක් ලෙස ජයග්‍රහණය කරමින් ආර්ජන්ටිනාව අවසන් මහා තරගයට හිමිකම් කී අතර එය ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ 6 වන අවස්ථාව වේ.

එතෙක් තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස සිය දක්ෂතා ලෝකය හමුවේ පෙන්වමින් සිටි ලෝක අනුශූර ක්‍රෝඒෂියා කණ්ඩායමේ 2022 පාපන්දු ලෝක කුසලාන ගමන එතකින් නිමා විය.

ක්‍රොඒෂියාවට එරෙහිව ඊයේ තරඟයේදී ආර්ජන්ටිනාව වෙනුවෙන් ගෝල වාර්තා කිරීම ආරම්භ කළ ලියොනල් මෙසී එම ගෝලය පාපන්දු ලෝක කුසලාන තරගාවලියක ඔහු විසින් වාර්තා කරන ලද 11 වැනි ගෝලය බවට පත්කර ගත්තේය.

ඒ අනුව ආර්ජන්ටිනාව වෙනුවෙන් පාපන්දු ලෝක කුසලාන තරඟාවලිවල වැඩිම ගෝල රැස්කළ ක්‍රීඩකයාගේ වාර්තාව සියතට ගැනීමට මෙසී සමත් වූයේය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ ගාබි්‍රයෙල් බැටිස්ටා ආර්ජන්ටිනාව වෙනුවෙන් ගෝල 10ක් වාර්තා කර තිබුණි.

එම ගෝලයත් සමග මෙවර තරගාවලියේ වැඩිම ගෝල ලාභියාගේ වාර්තාවට ප්‍රංශයේ කයිලාන් බැම්ප්පේ සහ ආර්ජන්ටිනවේ ජුලියස් අල්වාරෙස් සමග සමතැන් ගැනීමට ද සුපිරි ක්‍රීඩක මෙසී සමත්වූයේය.

ජුලියස් අල්වාරෙස් මෙම තරගයේදී ගෝල දෙකක් ලබා ගත් අතර ඉන් එක් ගෝලයකට සහාය වෙමින් මෙවර තරගාවලියේ ගෝල වැඩිම ගණනකට සහය දුන් ක්‍රීඩකයාගේ වාර්තාවට ද සම අයිතිවාසිකම් කීමටද මෙසී සමත් වූයේය.

සිය කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් ඔවුන් අවසන් මහා තරඟය කරා කැඳවාගෙන ආ ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව වන ලියොනල් මෙසී තවමත් පාපන්දු ලෝක කුසලානයක පහස ලබා නැත.

advertistmentadvertistment
advertistmentadvertistment