අනුහස් සපිරි මංගල මහා සෑයේ නොදත් කතාව

672
ගෞතම බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ සේරුවිල අසබඩයි
මංගල මහාසෑය පිහිටි ස්ථානයේ බුදුවරු පස්නමකගේ ධාතූන්වහන්සේ තැන්පත් චෛත්‍ය ඉදිවෙනවා…
මංගල මහාසෑය තුළ ලලාට ධාතූන් වහන්සේ තැන්පත්ව තිබෙන්නෙ බුද්ධ ප්‍රතිමාවේ නළල් තලයේමයි…
ලලාට ධාතූන්වහන්සේ වැඩ සිටින මංගල මහාසෑය කාවන්තිස්ස රජු නිර්මාණය කිරීම බුදුන් වහන්සේගේ නියමයක්…

ළා හිරු රැසින් වර්ණ ගැන් වූ අහස සිතුවමක් සේ ශෝභාමත්ව දිලුණි. වන පෙත අතරින් ගලා එන සිහින් මඳ පවන විඩාබර ගතට පවන් සැලිණි. තුරුගොමු අතරින් නැඟෙන මියුරු සංගීතයක් බඳු කුරුලු නාදයට දෙසවන පිනවිණි. සුදු මල් අහුරක් දෝතට ගෙන සලපතල මළුව වටා පියවර මනිමින් සිටින විට මගේ සිත සේරුවාවිල මංගල මහාසෑයේ අතීතයට දිව ගියේය.

නුවර දළදා මාලිගාවේ වැඩ සිටින දන්ත ධාතූන් වහන්සේගේ ඉතිහාස කතාව ලියැවුණු ග්‍රන්ථය දාඨා වංශය ද, රුවන්මැලි මහා සෑයේ ඉතිහාසය සටහන් ග්‍රන්ථය ථූප වංශය වන අතර, ජයසිරිමා බෝධීන් වහන්සේගේ ඉතිහාස කතාව ලියැවුණු ග්‍රන්ථය බෝධි වංශය වන අතර සේරුවාවිල මංගල මහාසෑයේ ඉතිහාසය ලියැවුණු ග්‍රන්ථය ධාතු වංශය නම් වේ. එම ග්‍රන්ථයේ සඳහන් ආකාරයට සේරුවාවිල මංගල මහාසෑයේ ඉතිහාස කතාව ලියැවීමට පටන්ගෙන ඇත්තේ මේ භද්‍ර කල්පයේ ආරම්භයත් සමඟය.

මේ භද්‍ර කල්පයේ පළමුව වැඩ සිටි කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ධාතූන් වහන්සේ තැන්පත් කර පළමුකොට මේ ස්ථානයේ චෛත්‍යයක් ඉදිකර ඇති බවද ධාතු වංශයේ සඳහන්ය. කෝණාගම බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ද ධාතූන්වහන්සේ තැන්පත්කොට මේ ස්ථානයේම චෛත්‍යයක් ඉදිකර ඇත. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේද ධාතූන්වහන්සේ තැන්පත්කොට මේ ස්ථානයේ චෛත්‍යයක් නිර්මාණය වී ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන්වහන්සේ තැන්පත්කොට හතර වැනි චෛත්‍යය නිර්මාණය වී ඇති මේ ස්ථානයේ අනාගතයේ පහළ වන මෛත්‍රී බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට පස්වැනි චෛත්‍යය නිර්මාණය වන බව ද ධාතු වංශයේ සඳහන් වී ඇත. අදහාගත නොහැකි තරම්ය. දැන් අප පය ගසා සිටිනුයේ බුදුවරු පස්නමකගේ සර්වඥ ධාතූන්වහන්සේ තැන්පත්කොට චෛත්‍ය වහන්සේ පහක් ඉදිවෙන පින්බිමකය.

එමෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු විසිරුණු ධාතූන් වහන්සේ සහ නොවිසිරුණු ධාතූන් වහන්සේ වශයෙන් සර්වඥ ධාතූන් වහන්සේ කොටස් දෙකකට බෙදිණි. විසිරුණු ධාතූන්වහන්සේ ද්‍රෝණ අටෙන් එක ද්‍රෝණයක් තැන්පත් කොට අනුරාධපුර රුවන්මැලි මහාසෑය ඉදිකෙරිණි. ඉතිරි සර්වඥ ධාතූන්වහන්සේ හත් ද්‍රෝණය තුන් ලෝකය පුරා චෛත්‍ය වහන්සේ ඉදිකර යම්, යම් ප්‍රමාණවලින් තැන්පත්කොට ඇත. නොවිසිරුණු ධාතූන්වහන්සේ හත් නමට, දළදා වහන්සේ සිව් නමක්, අකු ධාතූන්වහන්සේ දෙනමක් සහ ලලාට ධාතූන්වහන්සේ වේ. එම ධාතූන්වහන්සේ සහ විසිරුණු ධාතූන් වහන්සේ අතර විශාලතම ධාතූන් වහන්සේ ලලාට ධාතූන් වහන්සේය. අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ නළල් තලය වේ. එමෙන්ම නොවිසිරුණු ධාතූන්වහන්සේ අතරින් දළදා වහන්සේ සිව්නමෙන් එක් නමක් නුවර දළදා මාළිගාවේ ද, තවත් දළදා වහන්සේ නමක් සෝමාවතිය චෛත්‍ය වහන්සේ තුළ ද, තවත් දළදා වහන්සේ නමක් පාකිස්ථානයේ ගන්ධාරපුරයේ සහ තවත් දළදා වහන්සේ නමක් තව්තිසා දිව්‍යලෝකයේ සිළුමිණි සෑයේ වැඩ සිටිති. අකු ධාතූන්වහන්සේ දෙනමකගෙන් එක් නමක් අනුරාධපුර ථූපාරාම චෛත්‍ය වහන්සේ තුළ ද, අනෙක් අකු ධාතූන් වහන්සේ බ්‍රහ්මලෝකයේ සිළුමිණි සෑයේ වැඩ සිටිති. ‘එකම ලලාට ධාතූන් වහන්සේ’ වැඩ සිටිනුයේ සේරුවාවිල මංගල මහාසෑයේය. එමෙන්ම මේ මහාසෑයේ වංශ කතාවේ සඳහන් විශේෂ කරුණු අතර ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති අනාගත වාක්‍යය ප්‍රධානය. එනම් බුදුරජාණන් වහන්සේ තුන්වැනි වරට ලංකාවට වැඩම කළ මොහොතේ සේරුවාවිල පින්බිමට ද වැඩම කර පාදස්පර්ශයෙන් පූජනීය කොට ‘අනාගතයේ ලංකාවේ මහවැලි ගඟේ දකුණු කෙළවරේ සේරුවිල කියා විලක් තිබේ. ඒ විල ආසන්නයේ වරහසොණ්ඩි නමින් ගල් තලාවක් පිහිටා තිබේ. ඒ ගල් තලාව අසල කාවන්තිස්ස නම් රජු විසින් මාගේ ලලාට ධාතූන්වහන්සේ තැන්පත්කොට සෑයක් ඉදිකරා වී…’ කියා අනාගත වාක්‍ය එසේ දේශනා කර ඇති බව ධාතු වංශයේ සටහන් කර තිබේ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව දෙවිවරු, රජවරු විවිධ දේශයන්වලට, ලෝකවලට ධාතූන්වහන්සේ වැඩම වූහ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කුසිනාරාමයේ උපවර්තන සාල උද්‍යානය පාලනය කළ මල්ල රජදරුවන්ගේ ධාතු කොටසට ලලාට ධාතූන්වහන්සේ අයිති වූහ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් බුදුරාජණන් වහන්සේ දේශනා කොට වදාළ අනාගත වාක්‍ය සිහිපත් කරනවිට සේරුවාවිල ප්‍රදේශයේ ලලාට ධාතූන් වහන්සේ පිහිටුවීම පිළිබඳ වදාළ අනාගත වාක්‍ය සිහිපත් වී ලලාට ධාතූන් වහන්සේ වැඩසිටින ස්ථානය ගැන දිවැසින් බැලූහ. ලලාට ධාතුන් වහන්සේ මල්ල රජදරුවන්ගේ ධාතු කොටසට අයත්ව තිබෙන අයුරු දිවැසින් දුටු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එම රජදරුවන් හමුවට පැමිණ බුදුරජාණන් වහන්සේ වදාළ අනාගත වාක්‍ය පවසමින් ලලාට ධාතූන් වහන්සේ ලබාදෙන ලෙසට ඉල්ලා සිටියහ. ඒ අනුව මල්ල රජදරුවන් විසින් ගෞතම බුද්ධ ශාසනයේ සම්පූර්ණ බර දරාගෙන සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ලලාට ධාතූන් වහන්සේ පූජා කළහ. අනතුරුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩසිටි සුගන්ධ කුටියේ ලලාට ධාතූන්වහන්සේ තැන්පත්කොට වැඳුම් පිදුම් කළහ. කාශ්‍යප මහරහතන් වහන්සේ වියපත් වී අපවත්වීමට ආසන්න වන විට ගෝල මහරහතන් වහන්සේ නමකට ලලාට ධාතූන්වහන්සේ භාර දී බුදුන්වහන්සේ දේශනා කළ වාක්‍ය පැවසූහ. සුගන්ධ කුටියේ තැන්පත් ලලාට ධාතූන් වහන්සේට වැඳුම් පිදුම් කරගෙන සිටි උන්වහන්සේ ද අපවත්වීමට ආසන්න වූ විට ගෝල මහරහතන් වහන්සේ නමකට ලලාට ධාතූන්වහන්සේ භාර දී බුදුන්වහන්සේ දේශනා කොට වදාළ වාක්‍ය පැවසූහ. ඒ අයුරින් මහරහතන් වහන්සේ සය නමක්, පරපම්පරා සයක් ලලාට ධාතූන්වහන්සේට වැඳුම්, පිදුම් කරගෙන මෙරට කාවන්තිස්ස රජ පරපුරේ ප්‍රථම රජු රාජ්‍යත්වයට පත්වන තෙක් වඩමවාගෙන පැමිණියහ. දේවානම්පියතිස්ස රජුගේ බාලම සහෝදරයා වූ මහානාග රජු මෙරට පාලනය භාරගත් පසු මහාදේව මහරහතන් වහන්සේ විසින් ලලාට ධාතූන්වහන්සේ ලංකාවට වැඩමවාගෙන පැමිණ රජුට භාර කර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ වාක්‍ය පැවසූහ.

මහානාග රජු අතිශය ශ්‍රද්ධාවන්ත කෙනෙකි. එහෙත් බුදුන් වහන්සේගේ දේශනයට අනුව ලලාට ධාතූන්වහන්සේ තැන්පත් කොට මංගල මහාසෑය ඉදිකිරීමේ අයිතිය ඇත්තේ කාවන්තිස්ස රජතුමාටය. එහෙයින් මහානාග රජු ලලාට ධාතූන්වහන්සේ මාලිගාවේ තැන්පත් කොට ශ්‍රද්ධාවෙන් යුක්තව වැඳුම්, පිදුම් කරගෙන සිටීහ. මහානාග රජු වියපත් වී යටාලතිස්ස කුමරුට රජකම භාරදෙන මොහොතේ ද ලලාට ධාතූන්වහන්සේ භාර කර බුද්ධ වාක්‍ය පැවසූහ. යටාලතිස්ස රජු ද මහත් ශ්‍රද්ධාවෙන් මාලිගාවේ තැන්පත් කොට ලලාට ධාතූන්වහන්සේට වැඳුම්, පිදුම් කර මරණාසන්න මොහොතේ ගෝඨාභය නම් ඔහුගේ පුත්‍රරත්නයට ලලාට ධාතූන්වහන්සේ භාරකර බුද්ධ වාක්‍ය පවසා රාජ්‍ය පාලනය ද භාර කළහ. දැහැමි රාජ්‍ය පාලනයක් ගෙන ගිය ගෝඨාභය රජු ද රාජ මාළිගාවේ තැන්පත්කොට ලලාට ධාතූන් වහන්සේට වැඳුම්, පිදුම් කොට මරණාසන්න මොහොතේ බුද්ධ වාක්‍යයට අනුව ලලාට ධාතූන් වහන්සේගේ සැබෑ හිමිකරු වූ ගෝඨාභය රජුගේ පුත්‍රරත්නය කාවන්තිස්ස කුමරුට ලලාට ධාතූන්වහන්සේ භාර කර බුද්ධ වාක්‍ය පවසා රාජ්‍ය පාලනය ද භාර කළහ. රාජ්‍ය පාලනය භාර කරන මොහොත වන තෙක් කිසිවකුට ලලාට ධාතූන්වහන්සේ අයිතිය සම්බන්ධයෙන් බුදුන්වහන්සේ දේශනා කොට වදාළ බුද්ධ වාක්‍ය පැවැසීම රහසක් සේ රැකීමට සියලු රජවරු කටයුතු කළහ. එමෙන්ම ලලාට ධාතූන් වහන්සේගේ ආනුභාවයෙන්, බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තියෙන් ‘කාවන්තිස්ස නාමය’ පුතෙක්ට හෝ තැබීමට කිසිදු රජවරයකුට සිත් පහළ නොවූහ. ලලාට ධාතූන්වහන්සේ සැබෑ හිමිකරු ඔහු බව කාවන්තිස්ස රජු දැනගත් මොහොතේ සතුටින් ඉපිළී ගියහ. මාලිගාව ඉදිරිපිටම තැන්පත් කර තැබූ ලලාට ධාතූන් වහන්සේට මාලිගාවෙන් පිටමං වන විට, නැවත පැමිණෙන විට, නින්දට යෑමට පෙර දවසට දහ දොළස් වතාවක් රජු විසින් වැඳුම්, පිදුම් කළහ. කල්ගත වන විට කාවන්තිස්ස රජුට ලලාට ධාතූන් වහන්සේ නොදැක ඉන්න බැරි තත්ත්වයට පත් විය. දෑසින් දැක ධාතූන් වහන්සේ වන්දනා කිරීමට ඇති කැමැත්ත නිසා චෛත්‍ය වහන්සේ ඉදිකිරීම ද දවසින්, දවස ප්‍රමාද කළහ.

කාවන්තිස්ස රජුගේ අග බිසව විහාරමහාදේවියගේ සහෝදරයෙක් වූ චුල්ල පිණ්ණපාතික තිස්ස මහරහතන් වහන්සේ විසින් කාවන්තිස්ස රජුට කොපමණ ආයුෂ තිබේදැයි දිවසින් බලන විට ජීවතුන් අතර සිටිනුයේ තව ස්වල්ප කාලයක් පමණක් බව වැටහී ඇත. ඒ බව දැනුම් දී ඉක්මනට ධාතූන් වහන්සේ තැන්පත්කොට චෛත්‍ය වහන්සේ ඉදිකරන ලෙසට කාවන්තිස්ස රජුට චුල්ල පිණ්ණපාතික තිස්ස මහරහතන් වහන්සේ විසින් උපදෙස් ලබාදී ඇත. මහරහතන් වහන්සේගේ උපදෙස් පිළිගත් කාවන්තිස්ස රජු බුද්ධ වාක්‍යයට අනුව චෛත්‍ය වහන්සේ ඉදිකරන සේරුවාවිල අසබඩ සොයාගෙන පැමිණියහ. දකුණු රට මාතර සිට පැමිණි රජු ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන මහවැලි ගඟ ප්‍රථමයෙන් සොයාගත්හ. දෙවනුව මහවැලි ගඟේ දකුණු කෙළවරේ පිහිටි විසල් සේරුවාවිල සොයාගත්හ. එකල සේරුවිල අක්කර දොළොස්දාහක වපසරියකින් යුක්ත විශාල විලකි. අනතුරුව පිරිවර අශ්ව කරත්තවලින් විල වටා ගමන් කරන විට වරහසොණ්ඩි ගල් තලාව අසළ රජු ගමන් කරමින් සිටි අශ්ව කරත්තය මඩේ එරිණි.

අනුහස් සපිරි මංගල මහා සෑයේ නොදත් කතාව

‘මහරහතන් වහන්සේ… අශ්ව කරත්තය මඩේ එරිලා. උඩට ගන්න කොච්චර උත්සාහ කළත් එන්නේ නෑ…’ චුල්ල පිණ්ණපාතික තිස්ස මහරහතන් වහන්සේට කාවන්තිස්ස රජු එසේ පැවසූහ. මහරහතන් වහන්සේ අසුනින් නැඟිට වට පිට විපරම් කරනවිට බුද්ධ වාක්‍යයේ සඳහන් වරහසොණ්ඩි ගල් තලාව ආසන්නයෙන් පෙනුණහ. මහරහතන් වහන්සේ විසින් ඒ බව රජුට දැනුම් දුන් පසු ගල් තලාව මත ලීවලින් තාවකාලික විහාරයක් තනා ඒ තුළ ලලාට ධාතූන්වහන්සේ තැන්පත් කර එදින රාත්‍රියේ රජු සුව සේ සැතපුණහ. පසුදින හිමිදිරියේම පණිවිඩකරුවෙක් දිවවිත් ‘රජතුමනි… රජතුමනි… සේරුවිලට නුදුරින් විශාල ගඩොල් ගොඩක් ගොඩ ගහලා තියෙනවා…’ ඊට ටික වෙලාවකට පසු තව පණිවිඩකරුවෙක් පැමිණ ‘රජතුමනි… රජතුමනි… මුහුදු වෙරළට රත්තරන් ගොඩක් ගොඩ ගහලා තියෙනවා…’ තව කෙනෙක් පැමිණ මුහුදු වෙරළට ගොඩ ගැසූ මැණික් ගොඩක් ගැන රජු දැනුවත් කළේය. තවකෙක් වෙරළට ගොඩ ගැසූ මුතු ගොඩක් ගැන දැනුම් දුන්නේය. විශ්මයට සහ සතුටට පත් රජු ඇතුළු පිරිවර ගඩොල්, රත්තරන්, මුතු, මැණික් ගොඩවල් සොයාගෙන ගියහ. පණිවිඩකරුවන් පැවසූ ආකාරයට සේරුවිලට නුදුරින් බිම් තැන්නක විශාල ගඩොල් ගොඩකි. ඊට එපිටින් මුහුදු වෙරළ වසාගත් විසල් රත්තරන් ගොඩකි. ඒ ආසන්නයේම මුතු, මැණික් ගොඩවල්ය.

රජු සහ මහරහතන් වහන්සේ ඇතුළු පිරිවර එක ගඩොල බැගින් ගෙන සේරුවිල අසබඩ වරහසොණ්ඩි ගල් තලාව ආසන්නයේ ස්ථානයක ගොඩ ගැසූහ. සේරුවාවිල මංගල මහා සෑය ඉදිකිරීමට මිනිසුන්ගේ සුරතින් රැගෙන ආ ගඩොල් එපමණකි. ඉතිරි සියලුම ගඩොල් රැගෙනවිත් ඇත්තේ දෙවිවරුය. චෛත්‍ය වහන්සේ ඉදිකිරීමට අවැසි සියලුම අමුද්‍රව්‍ය, ධාතු ගර්භය සැරසීමට අවශ්‍ය මුතු, මැණික් රත්තරන් සියලුම දෑ දෙවිවරු විසින් පහළ කළහ. එහෙත් බුද්ධ වාක්‍යයේ නිශ්චිතව සඳහන් කර නොතිබීම නිසා මංගල මහා සෑය ඉදිකරන ස්ථානය සොයාගැනීමට රජුට උපක්‍රම භාවිතා කිරීමට සිදු වූහ. ඒ අනුව ගවයන් අටදෙනෙක් බැඳ රජු එම සතුන් අසළට පැමිණ ‘ලලාට ධාතූන් වහන්සේ පිහිටන තැන බුදුරජාණන් වහන්සේ යම් තැනක ද අධිෂ්ඨාන කළේ හෙට හිමිදිරිය වන විට මේ සතුන් අටදෙනා ඒ ස්ථානයේ සිටගෙන සිටිත්වා…’ කියා රජු විසින් අධිෂ්ඨාන කළහ. පසුදා හිමිදිරි පාන්දර අවදි වෙනකොට ගස් බැඳ සිටි ස්ථානයේ ගවයන් නැත. සේවකයන් අවට විපරම් කර බලනවිට දැන් අප වැඳ නමස්කාර කොට සිටින මංගල මහා සෑය හතර කොනේ ගවයන් හතර දෙනෙක් ද, වාහල්කඩවල් හතරේ තව ගවයන් හතරදෙනෙක් ද මුහුණට, මුහුණ බලාගෙන සිටීහ. එම ගවයන් ඉවත් කිරීමට සේවකයන් කොතරම් උත්සාහ කළ ද රජු පැමිණෙන තෙක් උන් නොසැළවුණහ. රජු පැමිණ ගවයන් සිටින ස්ථාන ලකුණු කරගත් පසු ඒ සතුන් සෙමෙන් යන්න ගියහ. මහාසෑය ඉදිකරන ස්ථානය ගැන තවදුරටත් තහවුරු කරගැනීමට අවැසි වූ බැවින් අශ්වයන් අටදෙනෙක් ද ගස් බැඳ රජු විසින් පෙර අධිෂ්ඨානයම කළහ. පසුදා හිමිදිරියේ අවදි වී විපරම් කර බලනවිට අශ්වයෝ අටදෙනා ද ගවයන් සිටි ස්ථානවලම සිටගෙන සිටියහ. තෙවැනි දින ඇතෙක් ගස් බැඳ පෙර අධිෂ්ඨානය කර රජු සුව සේ නින්දට ගියහ. පසුවදා හිමිදිරියේ අවදි වී බලන විට ගවයන්, අශ්වයන් සිටි ස්ථානයේ හරි මැද ඇතා සිටගෙන සිටියහ. රාජපුරුෂයන් ලවා එම ස්ථානය නිවැරැදිව ලකුණු කරගත් රජු මංගල මහාසෑය ඉදිකරන ස්ථානය තක්කෙටම තීරණය කළහ. සුබ හෝරාවෙන් චෛත්‍ය ඉදිකිරීමේ වැඩ ආරම්භ කර ධාතූ ගර්භය දක්වා ඉදිකිරීම් කටයුතු කරගෙන ගියේය.

මහාසෑයේ ධාතූ ගර්භය සෑදීමට සාමණේර මහරහතන් වහන්සේ විසින් සෘද්ධි බලයෙන් හිමාලයෙන් විසල් ගල් පතුරු සයක් රැගෙන ආහ. ඒ ගල් පතුරු හයෙන් එකක් යටට, සිව් දෙසට ගල් පතුරු හතරක් තබා උඩ පියන වෙන් කොට ධාතූ ගර්භයේ වැඩ ආරම්භ කළහ. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන උසට රත්තරනින් පිළිමයක් නිර්මාණය කොට මුතු, මැණික්, රත්තරන්වලින් සම්පූර්ණයෙන් බුද්ධ චරිතය ධාතු ගර්භයේ අඹමින් කළ විශ්මිත නිර්මාණය ගැන ධාතු වංශයේ පැහැදිළිකොට තිබේ. අසීමිත ගෞරවයෙන් යුක්තව භක්ති ආදරයෙන් නිර්මාණය වූ ධාතු මන්දිරය තුළ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කරන දිනය පැමිණියේය. වරහසොණ්ඩි ගල් තලාව මත තැන්පත් කර තිබූ ලලාට ධාතූන් වහන්සේ කාවන්තිස්ස රජු විසින් මහ පෙරහැරකින් චෛත්‍ය වහන්සේ අසලට වඩම්මවාගෙන පැමිණියහ. ලලාට ධාතූන් වහන්සේ දෑසින් දැක වන්දනා කිරීමට තිබෙන අවස්ථාව සදාකාලිකවම නැති වී යන සොවින් රජු දැඩි සේ කම්පාවට පත් වී සිටියහ. සිත් වේදනාව සඟවාගෙන ලලාට ධාතූන් වහන්සේ වඩම්මවාගෙන පැමිණි කාවන්තිස්ස රජු ‘ලලාට ධාතූන් වහන්සේ මේ පිළිම වහන්සේගේ නළල් තලයේම පිහිටේවා…’ කියා අධිෂ්ඨානයක් කළහ. එම අධිෂ්ඨානයත් සමඟ තල් ගස් හතක් උසට ධාතූන් වහන්සේ අහසට පැන නැඟ, රැස් විහිදුවමින් ප්‍රාතිහාර පාමින් පහළට වැඩම කොට බුද්ධ ප්‍රතිමාවේ නළල් තලයේම පිහිටීහ. අනෙකුත් සියලුම චෛත්‍ය වහන්සේ තුළ ධාතූන් වහන්සේ රන් කරඬුවල තැන්පත් වී තිබෙන පසුබිමක සේරුවාවිල මංගල මහාසෑයේ ලලාට ධාතූන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ජීවමානම ධාතූන් වහන්සේ පිහිටන නළල් තලයේම පිහිටීම ද සුවිශේෂත්වයකි. එමෙන්ම කේෂ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට බලා සිටි විහාරමහාදේවීය ද රජු කළ අධිෂ්ඨානයම කළාය. ඒ පුණ්‍ය අධිෂ්ඨානයත් සමඟ අහසට නැඟි කේෂ ධාතූන් වහන්සේ රැස් විහිදුවමින් ප්‍රාතිහාර පාමින් වැඩම කොට බුද්ධ ප්‍රතිමාවේ සිරසේ ම වැඩ සිටියහ.

ධාතු තැන්පත් කිරීමෙන් පසුව මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මළුවට වැඩම කළහ. කාවන්තිස්ස රජු පමණක් ධාතු තැන්පත් කළ උඩ මළුවේ ම රැදුණාහ. එකම ඉරියව්වෙන් සිටි රජු දෙස බලා සිටි මහරහතන් වහන්සේ නැවත රජු සිටින ස්ථානයට වැඩම කළහ. බුදු පිළිම වහන්සේගේ සිරි පතුලට දෑත් තබාගෙන ලලාට ධාතූන්වහන්සේ දෙස බලාගෙන පුංචි දරුවෙක් ඉකී ගසා හඬන්නා සේ කාවන්තිස්ස රජු හඬා වැළපෙමින් සිටියහ. ඒ මොහොතේ රජුගේ සිතේ පහළ වී තිබෙන සිතුවිලි ගැන මහරහතන් වහන්සේ දිවැසින් බැලූහ. අරුම පුදුම සිතුවිල්ලකි.

‘ලලාට ධාතූන් වහන්සේ නොදැක එක තත්ත්පරයක්වත් ජීවත් වෙලා ඵලක් නෑ. මෙතැනම මැරිලා ගියා වේ… මම මෙතැනින් නැඟිටින්නෙ නෑ…’ රජුගේ හදමඬල තුළ ජීවිතය අතහැරීමේ සිතුවිලි උපදින විට සේරුවාවිල ප්‍රදේශයේ පොළොව කම්පා වී මහා සාගරයේ දිය කඳ රළු වී ඇත. සක් දෙවියන්ගේ ආසනය රත් වී තුන් ලොවම කම්පාවට පත්ව ඇත. මහරහතුන් වහන්සේ විසින් කරුණු කාරණා අවබෝධ කර දුන්න ද රජු විසින් හිටි පියවර වෙනස් නොකළහ. විහාරමහාදේවීය පැමිණ කතා කළ ද රජුගේ සිත වෙනස් නොවූහ. අවසානයේ මහරහතන් වහන්සේගේ සෘද්ධි බලයෙන් රජු ඔසවාගෙන පැමිණ මළුවේ තැබූහ…

මංගල මහාසෑයට පහරදීමට පැමිණි කොටි ත්‍රස්තවාදීහු අවි ආයුධ අතහැර හිස් ලූ ලූ අත දුවති…

ඉතිරි කොටස ලබන සතියට…

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment