අනූපස් වසක සිංහල ශබ්දකෝෂ ගමන් මග

295

ලේඛනයේත් භාෂණයේත් උපයුක්ත පද අකාරාදියට අරුත් සපයමින්, භාෂාත්මක ගැටලු සඳහා නිරවද්‍ය විසඳුම් ලබා දෙමින් වර්තමානයේ සිංහල භාෂාව පෝෂණය කරන්නේද සංරක්ෂණය කරන්නේද සිංහල ශබ්දකෝෂයයි. ව්‍යවහාරයේ මහා සිංහල ශබ්දකෝෂය නම් වූ සිංහල-සිංහල ශබ්දකෝෂයද ඇතුළුව සිංහල-ඉංග‍්‍රීසි, සිංහල-ඉංග‍්‍රීසි-දෙමළ ත්‍රෛභාෂා, සංක්ෂිප්ත සහ අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය වැනි කෝෂග‍්‍රන්ථ රැසක සම්පාදනය සිදුවන්නේ කොළඹ 07, ශ‍්‍රීමත් මාර්ක්ස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනයෙනි. මේ මාර්තු මාසයේ 21 වැනිදා සිය අනූපස්වන ජන්ම දිනය සමරන අපගේ ශබ්දකෝෂ සම්පාදන ක‍්‍රියාවලිය සිංහල භාෂාව සම්බන්ධ ප‍්‍රශස්තතම කෝෂග‍්‍රන්ථකරණය වශයෙන් හැඳින්වීම අතිශයෝක්තියක් නොවන්නේ එය හුදු අකාරාදි අර්ථ සැපයීමකට වඩා

පෘථුල වශයෙන් වූ ශාස්ත‍්‍රීය අර්ථ විවරණයක් ලෙස අදාළ පදයේ නිරුක්තියද සමග සංගෘහීත කිරීමෙනි. එමතුද නොවේ වර්තමාන සිංහල භාෂාවේ රාජ්‍ය අධිකාරිත්වය හිමිව ඇත්තේද සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනයට ය.

දේශීය හා විදේශීය විද්වතුන් සහභාගී වූ දීර්ඝ ශාස්ත‍්‍රීය ක‍්‍රියාදාමයක ප‍්‍රතිඵලය වශයෙන් 1927 වර්ෂයේ මැදින් මස 21 වැනිදා සිංහල ශබ්දකෝෂ ස්ථාපිත කෙරිණි. බටහිර ජාතීන් විසින් ශ‍්‍රී ලංකාව තම ආධිපත්‍යයට නතුකර ගැනීමේ වෑයම තුළ පරිපාලන කාර්යන්හි පහසුව හා ආගම් ප‍්‍රචාරය වැනි ස්වකීය ප‍්‍රමුඛ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා සිංහල භාෂාව පිළිබඳ යම් දැනුමක් ලබාගැනීම අවශ්‍යයෙන්ම කළයුතු කාර්යක් විය. ශ‍්‍රී ලංකාව, පෘතුගීසි සහ ලන්දේසි ආක‍්‍රමණවල සිට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත්විජිතයක් බවට පත් වීමේ කාල පරාසය තුළ සිංහල භාෂාව හැදෑරීමේ ප‍්‍රයත්නයන් ලෙස දේවගැතිවරුන් විසින් සිදු කරන ලද ප‍්‍රාථමික අකාරාදි සම්පාදනය ක‍්‍රියාත්මක විය. ක්ලෆ් සහ චාර්ල්ස් කාටර් වැනි දේවගැතිවරුන් සම්පාදනය කළ සිංහල-ඉංග‍්‍රීසි අකාරාදීන් විමසීමේදී එය සනාථ වේ. ක‍්‍රි.ව 1845 දී රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව පිහිටුවීමත් සමඟ විධිමත් සිංහල අකාරාදී සම්පාදනයක අවශ්‍යතාව තීව‍්‍ර විය. ඒ අනුව ඒබ‍්‍රහම් මැන්දිස් ගුණසේකර වැනි දේශීය භාෂා පේ‍්‍රමීන්ගේ ද එවකට ලංකා යුනිවර්සිටි කොලීජියේ අධිපති ආර්. මාර්ස් සහ ලන්ඩන් නුවර ඉන්දියානු පුස්තකාලය භාරව සිටි රයින්හෝල්ඞ් රොස්ට් වැනි විදේශීය උගතුන්ගේ ද මැදිහත් වීම හා වසර ගණනාවක උත්සාහය මත මෙරට ප‍්‍රථම විධිමත් ශබ්දකෝෂ සම්පාදනය 1927 වර්ෂයේදී ඇරඹිණ.

ශ‍්‍රීමත් ඞී.බී. ජයතිලකයන් ප‍්‍රධාන කර්තෘ වශයෙන් පත් කරනු ලැබූ අතර ඒබ‍්‍රහම් මැන්දිස් ගුණසේකර සහ ඩබ්ලියු.එෆ්. ගුණවර්ධන මුදලිවරුන් උපකර්තෘවරුන් වශයෙන් සංස්කාරක මණ්ඩලයට පත්කර ගැනිණි. කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධුරයට ජර්මානු ජාතික කීර්තිමත් මහාචාර්යවරයකු වූ විල්හෙල්ම් ගයිගර් තෝරා ගැනුණු අතර පරිපාලන කාර්යන් රාජකීය ආසියාතික සමිතියට පැවරිණ. පසුව එනම් 1941 වසරේදී මෙහි පරිපාලනය ලංකා විශ්වවිද්‍යාලයටත් 1972 න් පසු සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයටත් පැවරිණ. වර්තමානය දක්වාම සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනයේ පරිපාලන කාර්යයන් සිදුවන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගිනි. සිංහල ශබ්දකෝෂ සම්පාදන කාර්යයේ මුඛ්‍ය ව්‍යාපෘතීන් ද්විත්වයකි. ඉන් පළමුවැන්න සිංහල-සිංහල මහා ශබ්දකෝෂයයි. දෙවැන්න එයට සමගාමී වූ සිංහල-ඉංග‍්‍රීසි ශබ්දකෝෂයයි. නූතන සිංහලය වූ කලී පාලි, සංස්කෘත, දෙමළ, අරාබි, මැලේ, උර්දු මෙන්ම පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි ආදී අපරදිග භාෂාවන් හා සම්මිශ‍්‍රණය වූ, ඒ භාෂාවන්ගෙන් පෝෂණය වූ සංකීර්ණ භාෂා ව්‍යවහාරයකි. එහි ලේඛනයේත් භාෂණයේත් වඩාත් නිරවද්‍ය වූ අර්ථ ඉදිරිපත් කිරීම මෙම ශබ්දකෝෂ සම්පාදනයේ ප‍්‍රමුඛ අරමුණකි. 1937 වර්ෂයේදී ප‍්‍රථම සිංහල-සිංහල ශබ්දකෝෂ කාණ්ඩය එළිදැක්වූ අතර ආචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගලයන්ගේ ප‍්‍රධාන කර්තෘත්වයෙන් 1992 වසරේදි එහි සම්පාදන කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට හැකි විය. සජීවි භාෂාවක සිදුවන්නා වූ නිරන්තර වෙනස්වීම් අනුව ශබ්දකෝෂ කලාපයන්ගේ සංස්කරණ කාර්යය සිදුවිය යුතුමය. ඒ අනුව යමින් වර්තමානයේ සිංහල-සිංහල ශබ්දකෝෂයේ ප‍්‍රතිසංශෝධිත කලාප සම්පාදනය සිදුවේ. සිංහල-ඉංග‍්‍රීසි ශබ්දකෝෂයේ මේ දක්වා කලාප තිහක් මුද්‍රණයෙන් එළි දක්වා ඇති අතර එහි ”ද” අක්ෂරය සහිත තිස් එක්වන කලාපය නුදුරේදීම ජනගත කිරීමට නියමිතය.

භාෂාවේදීන්ට ශබ්දකෝෂ පරිහරණය යනු වචනයක අර්ථය විමසීමට ඔබ්බෙන් වූ ශාස්ත‍්‍රීය ක‍්‍රියාදාමයකි. යම් වචනයක ඓතිහාසික භාවිතය, නිරුක්තිය, ව්‍යාකරණ ප‍්‍රවර්ගය හඳුනාගැනීම, අක්ෂර වින්‍යාසය තහවුරු කිරීම මෙන්ම භාෂා පර්යේෂණ සඳහා ඉවහල් කර ගැනීම වැනි ශාස්ත‍්‍රීය අරමුණු ඒ අතර තිබිය හැකි වේ. එහෙත් සාමාන්‍ය පාඨකයාට ශබ්දකෝෂ භාවිතයේ දී එවන් සංකීර්ණ ශාස්ත‍්‍රීය අරමුණු තිබිය හැකි නොවේ. ඔහු එය පරිහරණය කරන්නේ හුදෙක් වචනයක අර්ථය විමසීමට පමණක් විය හැකිය. එවන් පසුබිමක පාඨක අවශ්‍යතා අනුව යමින් වර්තමානයේ සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය තම ප‍්‍රමුඛ ව්‍යාපෘති ද්විත්වයට අමතරව නව ශබ්දකෝෂ ව්‍යාපෘති කීපයකම සම්පාදන කටයුතු සිදු කරයි. විශේෂයෙන් මහා ශබ්දකෝෂ කාණ්ඩයන් කලාප රැසකින් සමන්විත වීමත්, ප‍්‍රායෝගිකව ඒවා පරිහරණය කිරීමේ අපහසුවත් මත මේ ශබ්දකෝෂ සම්පාදනය සිදු කෙරේ. ඒ අනුව සිංහල-සිංහල සහ සිංහල-ඉංග‍්‍රීසි ශබ්දකෝෂ සංක්ෂිප්ත ශබ්දකෝෂ වශයෙන් කාණ්ඩයන් කීපයක් එළිදක්වා තිබේ. රජයේ වත්මන් භාෂා ප‍්‍රතිපත්තීන්ට අනුකූලව යමින් සිංහල-දෙමළ-ඉංග‍්‍රීසි ත්‍රෛභාෂා ශබ්දකෝෂ සම්පාදනය සිදුවන අතර ඒ සඳහා ශබ්දකෝෂ කර්තෘ මණ්ඩලයට අමතරව දෙමළ භාෂා ප‍්‍රාමාණිකයන්ගේ දායකත්වය ලබාගැනීමට හැකි ව තිබේ. මෙම කෝෂ ග‍්‍රන්ථ ව්‍යාපෘතීන් අතර මෑතකදී අප විසින් නිකුත් කළ අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය පිළිබඳව වෙසෙසින්ම සඳහන් කළ යුතුවේ. එය විශාල පාඨක ආකර්ෂණයක් දිනාගැනීමට සමත්ව ඇත. ඉතා කෙටි කලකින් එය තවදුරටත් සංශෝධනය කොට මුල් කෘතියට වඩා වැඩි වචන සංඛ්‍යාවක් සහිතව එහි දෙවන මුද්‍රණයක්ද එළිදක්වා තිබේ.

නූතන තාක්ෂණය හා අනුගතවෙමින් ශබ්දකෝෂ සම්පාදනය ඩිජිටල්කරණය කිරීම සිංහල අකාරාදි ඉතිහාසයේ සන්ධිස්ථානයක් මෙන්ම නව ප‍්‍රවණතාවක් සනිටුහන් කරන අවස්ථාවක් ද වේ. එහි පළමු පියවර වූයේ මීට වසර කිහිපයකට පෙර ආරම්භ කළ සිංහල ශබ්දකෝෂ වෙබ් අඩවියයි. මෙතෙක් සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන් මගින් සංස්කරණ කටයුතු සිදු කළ ශබ්දකෝෂ කාර්යයන් සඳහා නූතන තාක්ෂණය ක‍්‍රමානුකූලව ඉවහල්කොට ගැනීම වර්තමානයේ ආරම්භ වී තිබේ. ශබ්දකෝෂ සම්පාදනය ඩිජිටල්කරණය කිරීමෙහිලා සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය සතු ප‍්‍රධාන අරමුණු දෙකකි. එනම් පාඨක අවශ්‍යතා සපුරාලීම සහ සංස්කරණ කටයුතුවලදී ඇතිවන අපහසුතා මඟහරවාලීම සඳහා ය. මෙතෙක් මුද්‍රණයෙන් එළිදැක්වූ ශබ්දකෝෂ කලාප සමූහය මෙරට කිසිදු විශ්වවිද්‍යාලයක හෝ පුස්තකාලයක හෝ වෙනත් කිසිදු ආයතනයක සංගෘහීත වී නොමැති පසුබිමක අසීරුවෙන් හෝ එම කලාප එක්රැස් කිරීමත් ප‍්‍රතිමුද්‍රණය කොට ජනගත කිරීමටත් ඇත්තේ ඉතා සීමිත ශක්‍යතාවකි. මේ අසීරු කර්තව්‍යය සුඛනම්‍ය කරගත හැකිවන්නේ ශබ්දකෝෂය ඩිජිටල්කරණය කිරීමෙනි. සාම්ප‍්‍රදායික සංස්කරණ ක‍්‍රමවේදය සඳහා විශාල කාලසීමාවක් ගතවන අතර ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බවද නොරහසකි. නූතන තාක්ෂණය හා අනුගතවී ශබ්දකෝෂ සම්පාදනය ඩිජිටල්කරණය කිරීම මේ සියලු අසීරුතා සඳහා වන ප‍්‍රශස්ත විසඳුමකි. සිංහල-සිංහල ශබ්දකෝෂයේ පළමු කලාප ප‍්‍රතිමුද්‍රණය කිරීම සඳහා ස්කෑන් පිටපත් සැකසීම ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේම දිගුවකි. සිංහල ශබ්දකෝෂය හා සම්බන්ධිත පරිගණක, ජංගම දුරකථන යෙදවුම් නිර්මාණය කිරීමෙන් පාඨකයාට පහසුවෙන් හා ක්ෂණිකව ශබ්දකෝෂය හා සම්බන්ධ වී තම භාෂා අවශ්‍යතා විසඳාගැනීමේ අවකාශය සැලසේ. සිංහල ශබ්දකෝෂයේ ලිපි රචනය සඳහා මූලාශ‍්‍ර කොට ගැනෙන යොමුපත් අකාරාදියේ සුරක්ෂිත ගබඩාකරණය ද සිංහල භාෂාව සඳහා වාග් සංහිතාවක් (ජදරචමි) නිර්මාණය කිරීමද ශබ්දකෝෂ ඩිජිටල්කරණය කිරීමේ අරමුණු අතර වේ. පාඨකයාට පහසුවෙන් ශබ්දකෝෂය පරිශීලනය කිරීමේ අවකාශය ලබාදෙන අතර නව පරිශීලකයන් ශබ්දකෝෂ පරිහරණය සඳහා ආකර්ෂණය කරගැනීම ද එමගින් අපේක්ෂිතය.

සිංහල ශබ්දකෝෂ සම්පාදනය වර්තමානයේ සීමිත භෞතික හා මානව සම්පත් ප‍්‍රමාණයකින් අභියෝග රාශියක් මධ්‍යයෙහි කෙරෙන අසීරු ක‍්‍රියාවලියක් බවට පත්ව තිබේ. වත්මන් ප‍්‍රධාන කර්තෘ සම්මානිත මහාචාර්ය රෝහිණි පරණවිතාන මහත්මිය ප‍්‍රමුඛ කර්තෘ කාර්ය මණ්ඩලය ශබ්දකෝෂ සම්පාදන කාර්යයෙහි යෙදෙමින් සිංහල භාෂාවේ පෝෂණය හා සංරක්ෂණය උදෙසා කැපවන්නේ තවත් පස් වසකින් සියවස් සපුරන්නා වූ සිංහල ශබ්දකෝෂය හුදු කෝෂග‍්‍රන්ථකරණයක් නොව උත්කෘෂ්ට ජාතික මෙහෙවරක්ද බවට පත්කරලීමේ අභිලාෂයෙනි.

නිල්මිණි මනූජා ද සිල්වා
නියෝජ්‍ය කර්තෘ, සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය

අනූපස් වසක සිංහල ශබ්දකෝෂ ගමන් මග
advertistmentadvertistment
advertistmentadvertistment