අනේ අපිව බේරගන්න – සංචාරක වීසා මත ගිය පන්දහසක් ඩුබායිවල – හාම්පුතුන්ගේ ඉල්ලීම අනුව ජාවාරමුන් කාන්තාවන් විකුණලා

540

තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම්ගේ වැඩ තහනම්
අතේ සල්ලිවලින් යළි එන්න කියයි
විසිට් වීසා මත මැදපෙරදිග යෑම තාවකාලිකව නවත්වයි
සුරක්‍ෂා නිවස්නයේ සිටින 31ක්ම ලියාපදිංචි නොවී රට ගිය අය

සංචාරක වීසා මත ඩුබායි රාජ්‍යයට ගිය ශ්‍රී ලාංකිකයන් පන්දහසකට අධික පිරිසක් එරට සිටින අතර එසේ ඩුබායි ගෙන්වාගෙන සිටි කාන්තාවන් පිරිසක් වෙන්දේසි කර ඕමාන්හි ගණිකා සේවයට යොමුකර ඇති බවට එල්ලවී තිබෙන චෝදනාව පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර මෙහි මහ මොළකරු ඇතුළු මෙරට ප්‍රධාන තැරැව්කරු සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියෙන් පසු විසිට් වීසා මත මැදපෙරදිග රටවලට යෑම තාවකාලිකව නතර කිරීමටත් ස්වයං වීසා :ීැකf ඪසි්* මත ඩුබායි හා ඕමාන් වෙත යෑමට ලබාදී තිබූ අවසරය නතර කිරීමටත් පියවර ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතා ‘දිවයින’ ට පැවැසීය.

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම් ලෙස කටයුතු කළ කුෂාන් නමැති නිලධාරියාට එල්ල වී තිබෙන චෝදනා මත ඔහුගේ වැඩ තහනම් කර තිබේ.

පෞද්ගලික මුදල් වැයකර වහාම මෙරටට පැමිණෙන ලෙසටද සැකකරුට දැනුම්දී තිබේ.

එම නිලධාරියා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශ දූත සේවයට පත්කර ඇති අතර ඔහුට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඕමාන් “සුරක්‍ෂා” නිවස්නයේ රැඳී සිටින බව කියන එරට අතරමං වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 45 දෙනාගෙන් දහහතර දෙනෙකු පමණක් කාර්යාංශයේ ලියාපදිංචි වී සිටින බවද හෙළිවී ඇත. ඔවුන් සංචාරක වීසා මත එරටට ගොස් තිබෙන අතර එම පිරිස කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට හැකි බව මේ පිළිබඳ කළ විමසීමේදී කාර්යාංශයේ සභාපතිවරයා කීය. එරට පොලිසියේ හෝ අධිකරණවල ඔවුන්ට එරෙහිව නීතිමය ගැටලු නැතිනම් ඔවුන්ව ගෙන්වා ගැනීම කඩිනමින් කළ හැකි බවද නීතිමය ගැටලු තිබේනම් එම කටයුතු පමාවන බවද කාර්යාංශ සභාපතිවරයා කීය. සෙසු පිරිස කාර්යාංශයේ ලියාපදිංචි වී නොමැති වුවත් එම පිරිස මෙරටට ගෙන්වා ගැනීමට කාර්යාංශය කළ හැකි මැදිහත්වීම කරන බවද සභාපතිවරයා පැවැසීය.

ඉකුත් වසර එකහමාරක් තුළ සංචාරක වීසා මත ඩුබායි සහ ඕමාන් රාජ්‍යයන් වෙත යෑමට ශ්‍රී ලාංකිකයන්ට ලබාදී තිබූ බවත් ඉන් ප්‍රයෝජන ගත් කිසියම් සංවිධානාත්මක පිරිසක් මිනිස් ජාවාරමක් හරහා ශ්‍රී ලාංකික කතුන් ගණිකා ව්‍යාපාරයට අලෙවි කර තිබේ නම් ඊට එරෙහිව ගතයුතු සෑම පියවරක්ම ගන්නා බවත් කාර්යාංශ සභාපතිවරයා සඳහන් කළේය.

ඕමානයේ සිදුවී ඇති බව කියන මෙම මිනිස් ජාවාරමට හසුවී සිටින පිරිස නොබියව ඒ පිළිබඳ කරුණු හෙළිකරන්නේ නම් ඉදිරි විමර්ශන වලට එය ශක්තියක් වන බවද ඒ මහතා කීය.

ඩුබායි හා ඕමාන් රාජ්‍ය වෙත කතුන් ගෙන්වාගෙන යම්කිසි මිනිස් ජාවාරමක් කර තිබේද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා කාර්යාංශයේ “විශේෂ විමර්ශන කණ්ඩායමක්” ඒ රටවලට යැවීමට සැලසුම් කර ඇත.

දැනට ලැබී තිබෙන තොරතුරුවලට අනුව විසිට් වීසා මත ඩුබායි හා ඕමාන් රටට ගෙන්වාගත් කාන්තාවන් ,ච්එජයැර, ක්‍රමවේදයට ගෘහ සේවයට තෝරාගෙන ඇති අතර නේපාලය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය ආදී රටවල කාන්තාවන් ඒ ඒ මිල ගණන් වලට අනුව තෝරාගෙන ඇතැයි හෙළිවී ඇත. ඒ ආකාරයට සුදුසු අය තෝරා ගැනීමට ඉඩ ලබාදී ඇත්තේද එරට හාම්පුතුන්ගේ ඉල්ලීම අනුවය.

කෙසේ වෙතත් මෙහිදී ශ්‍රී ලාංකික කාන්තාවන් ගණිකා වෘත්තියට හෝ මිනිස් ජාවාරම ලෙස විකිණීමට කටයුතු කර තිබේනම් ඊට සම්බන්ධ මෙරට රැකියා ඒජන්සිකරුවන්ට සහ තැරැව්කරුවන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවද කාර්යාංශය කියා සිටී.

ආගමන විගමන නිලධාරීන්, රැකියා ඒජන්සි හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් මේ කියන මිනිස් ජාවාරමට සම්බන්ධ පිරිස සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද වෙනම පරීක්‍ෂණයක් සිදු කරයි.

මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉර්ෆාස් නමැති ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගේ මෙරට උප නියෝජිත ලෙස කටයුතු කළ බාලක්‍රිෂ්ණන් කුගනේෂ්වරන් නමැත්තාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මීට අදාළ තවත් සැකකාරියක දඹුල්ල ප්‍රදේශයේ දී ඊයේ (21 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඕමානයේ සිටින තවත් ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් අන්තර්ජාලයට මුදාහළ වීඩියෝ පටයකින් ඉල්ලා සිටියේ තමන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙසයි.

“අපිට ලංකාවට එන්න ඕනේ. උදව් කරන්න අපිට ඉන්න තැනක් නෑ. අපිව ගෙන්න ගන්න” යනුවෙන් එමගින් ඔවුන් ඉල්ලා තිබිණි.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment