අනේ ඇන්ටි, පිස්සු නං කෙළින්න එපා…

608

ඉහත සඳහන් උද්ධෘතය දිවයින වැනි ජාතික විනයක් ඇති පුවත්පතකට කිසිසේත්ම නොගැළපෙන බව ඔබ කල්පනා කරනු ඇත. එහෙත් මේ කතු වැකිය අවසානයේදී කතු වැකියට අදාළ ‘ඇන්ටි’, ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්ථිර වශයෙන්ම ව්‍යාකූල මානසිකත්වයකින් සිටින බව ඔබ තේරුම් ගන්නවා ඇත. ඇන්ටි යනු නැන්දා යන සිංහල වචනයේ ඉංග‍්‍රීසි උසුරුව වූ Aunt යන ඉංග‍්‍රීසි වදනෙහි ග‍්‍රාම්‍ය සිංහල වදනයි. ඉංග‍්‍රීසියේදී Aunt (ආන්ට්) ට, ඇන්ටි කීම Slang හෙවත් කබල් වචනයක් ලෙස හුවා දැක්විය හැකිය. අපගේ මේ කතු වැකියට අදාළ ඇන්ටි වූ කලී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ධුරන්දර හැට දෙහැවිරිදි මිෂෙල් බැෂලේ ය. මෙරට පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මිය යෑම මෙන්ම පොලිසිය සහ අපරාධ කල්ලි අතර හටගන්නා ගැටුම්වලදී පුද්ගලයින් මිය යෑම සම්බන්ධයෙන් තම දැඩි අවධානය යොමුව ඇති බව එතුමිය කියා සිටියි. මෙරට පොලිස් අත්අඩංගුවේදී මෑතකදී මිය ගිය සැකකරුවන්ගෙන් 99% දාමරික කුඩු වෙළෙන්දෝය. මෑතකදී පොලිස් අත්අඩංගුවේ සිටියදී ආයුධ ප‍්‍රදර්ශනයක් බැලීමට ගිය මාකඳුරේ මධුෂ් පොලිස් වෙඩි කා මිය ගියේය. මෙහිදී අප ආයුධ ප‍්‍රදර්ශනයක් යනුවෙන් සඳහන් කරන්නේ ගුවන් හමුදාව හෝ ශ‍්‍රී ලංකා යුද හමුදාව විටින් විට පවත්වන ආයුධ ප‍්‍රදර්ශන නොව මධුෂ් විසින් සඟවන ලද ආයුධ පොලිසියට පෙන්වීමට යෑමය. ඌරුජුවා ද මේ ආකාරයෙන්ම මිය ගිය කුඞ්ඩෙකි. මෙසේ ආයුධ බැලීම සඳහා එක්ක යා යුතු කුඞ්ඩන් රැුසක් වැලිකඩ රිමාන්ඞ් භාරයේත් හිර ගෙදරින් පිටත් සිටිති. මධුෂ් හෝ ඌරුජුවා මරණයට පත්වීම ගැන මේ රටේ කිසිදු විනයානුකූල පුරවැසියෙක් දුක්වන්නේ නැත. මේ මදාවියන් ගේ මළ මිනී භාර ගැනීමට පවා මුලදී කට්ටිය හිටියේ නැත. අත්අඩංගුවේ සිටින කුඩුකාරයන් මරණයට පත්වීමට විරුද්ධව, මිෂෙල් බැෂලේ ට පෙර, සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස ද කතා කර ඇත. ඒ පාර්ලිමේන්තුවේදී ය. සමහරවිට ඔහු එසේ කියන්නට ඇත්තේ 88, 89, 90 වකවානුවේදී එවකට තිබූ ආණ්ඩුව විසින් අමු අමුවේ මරා පුළුස්සන ලද හෝ පුළුස්සා මරන ලද හෝ ජේ.වී.පී. තරුණයන් සිහිපත් වීමෙන් වන්නට පුළුවන. 88, 89, 90 භීෂණයේදී මිය ගිය තරුණ තරුණියන්ගෙන්  99% ක්ම කිසිදු වරදක් නැතිව සැකපිට අත්අඩංගුවට ගත් අය වෙති. කෙසේ හෝ වේවා අපේ වැටහීමට අනුව මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ මේ පෙනී සිටින්නේ මාකඳුරේ මධුෂ් සහ ඌරුජුවා වෙනුවෙනි. ඇය හැසිරෙන්නේ මේ දෙදෙනාගේ නැන්දා කෙනකු හෝ ඇන්ටි කෙනකු ලෙසය.
 
 ජාත්‍යන්තර තලයේදී මිෂෙල් බැෂලේ මහත් සේ ගෞරවය දිනාගත් කාන්තාවකි. සැල්වදෝර් අයියන්දේ නමැති ප‍්‍රගතිශීලී ජනාධිපති මරා බලයට පත් වූ කෲර ලේ පිපාසිත ජනාධිපති අගුස්තෝ පිනෝජේ ගේ ත‍්‍රස්තවාදී රාජධානිය වූ චිලී රටේ උපන් මිෂෙල් බැෂලේ ඒ රටේ සමාජවාදී පක්ෂයේ බලගතු ක‍්‍රියාකාරිකයෙකි. පිනෝජේ ගේ අලූගෝසුවන් ඇය මැරීමට පැමිණි නිසා තරුණ කාලයේදී රටින් රටට පනිමින් ජීවත් වීමට ඇයට සිදුවිය. ඇගේ පියා මරවන ලද්දේ ද පිනෝජේ විසිනි. පිනෝජේ මිනී මැරවූයේ මේ රටේ 88, 89, 90 භීෂණ කාලයේදී අපේ පාලකයන් මිනී මැරවූ විදියටමය. උදාහරණයක් වශයෙන් විජේවීර ඝාතනයේදී ඔහුගේ අත පය කුඩු කොට පණ පිටින්ම ආදාහනාගාරයට වීසි කළ බව කියනු ලැබේ. පිනෝජේ ගේ කාලයේදී චිලී රටේ ජීවත් වූ විප්ලවකාරී සංගීතඥයකු වූ වික්ටර් හාරා මැරීමට පෙර පිනෝජේ ගේ මැරයෝ හාරා ගේ අතැඟිලි දහයම කපා වෙන් කර දැමූහ. එයට හේතුව වික්ටර් හාරා විසින් සිය අතැඟිලිවලින් ගිටාරය වයමින් පිනෝජේ ගේ පාලනයට එරෙහි ගීත ගායනා කිරීමය. මේ පාලනයට එරෙහිව ලෙයින් කඳුළින් සහ දහදියෙන් සටන් කොට දහස් ගණනින් ජීවිත පූජා කිරීමට චිලියේ සමාජවාදී පක්ෂයේ සහෝදර සහෝදරියෝ පෙරට ආහ. ඒ කැපවීම සමාන වන්නේ 71 අපේ‍්‍රල් කැරැුල්ලට සහ 88, 89 භීෂණයට ය. එම භීෂණයේදී තරුණයන් මරා ගෙල කඳින් වෙන්කොට පාලම් ඇඳි දිගේ ප‍්‍රදර්ශනය කෙරුණු බව මහත් ශෝකයෙන් මතක් කර දෙමු. භීෂකයන් විසින් පාලනය කෙරුණු චිලිය වැනි රටකින් පැමිණි මිෂෙල් බැෂලේ භීෂණයෙහි තිබෙන ලේ ගඳ ඉතා හොඳින් දත යුතුය. එසේ තිබියදී ශ‍්‍රී ලංකාව වැනි රටක කුඩු බිස්නස් කරමින් මිනිසුන් සංහාරය කර පොලිස් වෙඩි පහරින් මිය ගිය කාලකණ්ණි අමනුස්සයන් ගැන කතා කිරීමට හෝ දුක් වීමට ඇයට කිසිදු අයිතියක් නැත. මිෂෙල් බැෂලේගේ විප්ලවීය අතීතය කෙරෙහි අප තුළ තිබූ ගෞරවය කඩතොළු වී තිබේ. ඉතිං ඇන්ටි පිස්සු නං කෙළින්න එපා.

advertistmentadvertistment
advertistmentadvertistment