අනේ මහතුනි! කියව වියතුනි හෙට උදාවන කලදවස ගැන

314

මේ දිනවල සමාජ – දේශපාලන ක්‍ෂේත්‍රවල ප්‍රබල අවධානයට මෙන්ම දැඩි විවේචනයට ද ලක්ව තිබෙන නව ත්‍රස්ත විරෝධී පනත නිසැකයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස පිළිබඳ අභිනව සංවාදයකට ද හේතු වී තිබේ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබෙන්නේ මෙතෙක් තිබුණු ත්‍රස්තවාදී පනත අහෝසි කර එය සංශෝධනය කිරීමටත්, ජාතික හා රාජ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරිමටත් මෙම අලුත් පනත ඉදිරිපත් කෙරෙන බවය. එහෙත් මෙමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම දෙදරා යන බවත්, විශේෂයෙන් මාධ්‍ය නිදහස අනතුරට ලක්වන බවත් බොහෝදෙනකුගේ විවේචනයයි. ආණ්ඩුව සිය අධිපතිවාදී මෙහෙයුම්වලට වුවමනා සමාජ, දේශපාලන අවකාශය වර්ධනය කරගැනීම සඳහා දියත් කෙරෙන මර්දනයට කිසියම් නීතිමය ආවරණයක් සකස් කර ගැනීමට මේ ත්‍රස්ත විරෝධී අලුත් පනත ඉදිරිපත් කර තිබෙන බව ද සමහරු සඳහන් කරති.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හා ඒවාට අනුබල, අනුග්‍රහ ලබාදීම් අඩාල කිරීම සඳහා 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කළ ආකාරය මේ වනවිට සමහරුන්ට අමතක වී තිබිය හැකිය. එදා මෙය හඳුන්වන ලද්දේ තාවකාලික පනතක් ලෙස ය. එම පනතේදීත් පුවත්පත්වලට යම් යම් සීමා පනවා තිබුණි. එසේ වුවද ඒ වනවිට උද්ගතව තිබුණු කොටි ත්‍රස්තවාදය හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් නිසා ම එම පනතට ජනතාවගේ ප්‍රබල විරෝධයක් එල්ල වූයේ ද නැත. එහෙත් මෙම පනතට ජාත්‍යන්තර වශයෙන් විරෝධතා නැඟුණි. ජගත් මානව හිමිකම් කවුන්සිලයට ද පනත අහෝසි කරන බව සඳහන් ප්‍රතිඥා පවා ආණ්ඩුව විසින්ම ලබා දී තිබුණි. එහෙත් එය ඉටුනොවීය.

අලුත් ත්‍රස්ත විරෝධී පනත ගෙනඑනනේ එකී පැරණි පනතේ විෂ නසා එයට ප්‍රජාතන්ත්‍රවාදී මුහුණක් ලබාදීමට බව ආණ්ඩුවේ ඇඟවීමය. එහෙත් මේ වනවිට ගැසට් කර තිබෙන පනත එබඳු විෂ නැසීමකට වඩා විෂ මුර්ජා කිරීමට තරම් ප්‍රබල එකක් ද යන සැකය මතුවී තිබේ. එම පනතෙහි ත්‍රස්තවාදය යන්න අරුත්ගන්වා තිබෙන ආකාරය හෙවත් එයට දී තිබෙන නිර්වචනය අතිශය ප්‍රබල හා සංකීර්ණත්වයකින් යුතුය. ‘ත්‍රස්ත‘ යන්නට සෝරත ශබ්ද කෝෂයෙහි දී ඇත්තේ තැතිගත් යන්නයි. ඒ අනුව ත්‍රාසයට හෙවත් භීතියට පත්කරවන ක්‍රියාව ත්‍රස්තවාදය ලෙස හැඳින්විය හැකිය. (ශ්‍රී සුමංගල ශබ්දකෝෂය දැනට තිබෙන විධිමත් හා ප්‍රාමාණික භාෂාවේදීන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ කෘතියයි) මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ඉංග්‍රීසි – සිංහල මහා ශබ්දකෝෂය අනුව ද එැරරදර යන ඉංග්‍රීසි වචනයට භීතිය, හිංසනය, බිය දැනවීම, සංවිධානගතව ත්‍රස්තවාදය පාවිච්චි කිරීම වැනි අර්ථ ලබාදී තිබේ. එනිසා මෙම ත්‍රස්තවාදය යන්නට පැහැදිලි හා නිශ්චිත අරුතක් සිංහලයේ තිබේ. එහෙත් ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන පනත මගින් ත්‍රස්තවාදී පදයට අලුත් අදහස්, විවරණ කීපයක් ඇතුළත් කර තිබෙන බවක් ද පෙනේ.

අනේ මහතුනි! කියව වියතුනි හෙට උදාවන කලදවස ගැන

ආණ්ඩුවකට එරෙහිව පැවැත්වෙන විරෝධතා, උද්ඝෝෂණ, ඒ හා සම්බන්ධ විවේචන ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අරුත්ගැන්වෙන නීතියක් යොදා ගැනීමට මේ පනත කෙටුම්පත් කළ අයට අවශ්‍ය වි තිබෙන බව පෙනී යයි. මෙම පනත සම්බන්ධයෙන් සිදුවූ බොහෝ විවේචනවල හරය ලෙස පෙනී යන්නේ ද ආණ්ඩුවට එරෙහිව නැඟෙන විරෝධතාවලට අනුග්‍රහය දැක්වෙන කවර හෝ ප්‍රතිචාරයක් වුවද ත්‍රස්තවාදය යටතට ගැනෙන බවකි. අත්‍යවශ්‍ය සේවයක් ලෙස නම්කර තිබෙන කවර හෝ සේවාවක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ද මෙහිදී ඉඩක් නැත. ජනතාව, කටයුතුවලට බාධාවන දේවල් හා ඒ සඳහා පෙලඹවීම් කිරීම ද සෘජුව හෝ වක්‍රව ඒවා දිරිගැන්වීම ද ප්‍රකාශ සිදුකිරීම ද වරදක් බව එහි දැක්වේ.

ප්‍රජාතන්ත්‍රවාදයත් එහි මූලික ලක්‍ෂණයක් වන භාෂණයේ නිදහසත් එහි අංග ලෙස පිළිගනු ලබන මුද්‍රිත හා විiුත් මාධ්‍ය පාලනය සඳහා ආණ්ඩුවක් දක්වන උනන්දුව මෙරටේ අලුත් ප්‍රවණතාවක් නොවේ. අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය සම්බන්ධව තිබෙන විවේචන සියල්ල සදොස් නොවේ. එහෙත් ඒවා සෘජුවම ත්‍රස්ත ක්‍රියා ගණයට අයත් කළ නොහැක. චේතනාන්විතව හා දුෂ්ට අරමුණු ඇතිව පොදු යහපතට බාධා කිරීමට කිසිවකුට ඉඩක් දිය යුතු නැත. එසේ වුවද මහජන කැළඹීමක් ඇති විය හැකි යැයි යන කාරණාව යටතේ අදහස් ප්‍රකාශනයට බාධා කිරීම බොහෝ විට නිරර්ථක වී තිබේ.

මර්දනය හා තර්ජනය දේශපාලනයේදී භාවිත කිරීම සම්බන්ධයෙන් අපට ප්‍රමාණවත් නිදසුන් තිබේ. ආණ්ඩුවක ප්‍රතිපත්ති සියල්ලටම පුළුල් මහජන ප්‍රසාදයක් නොලැබෙන අවස්ථාවක වුවද පියවරක් පස්සට ගැනීමට නායකයෝ අකැමැති වෙති.

ජේ. ආර්. ජයවර්ධන සම්බන්ධයෙන් තිබෙන විචේවනයක් වූයේ ඔහු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පුරසාරම්, අලංකාර යොදා ගනිමින් ම එයට හරස් වූ පාලකයකු බව ය. ජයවර්ධන, පොලිසිය හා අධිකරණය සම්බන්ධයෙන් දැක්වූ ඇතැම් ප්‍රතිචාර අදටත් විවාදාත්මකය. ජයවර්ධනගේ මානසිකත්වයට සමීප වූ පොලිසියේ උසස් නිලධාරීන්ට මුක්තියක් ලබාදීමට ඔහු උත්සාහ කළ බව රහසක් නොවේ. පැවතුණු සාම්ප්‍රදායී දේශපාලනයට අභියෝග කළ වාමාංශික ප්‍රතිචාර සම්බන්ධයෙන් ජයවර්ධනට තිබුණු අතෘප්තිය ද අපට මතකය. ඔහු නිබඳව පෙනී සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් වුවද ඔහු මර්දනය සඳහා දැක්වූ නිහඬ අනුමැතිය කෙබඳු දැයි දන්නා අය අදත් සිටිති. මැතිවරණ කල්දැමීම, වර්ජකයන් රැකියාවලින් නෙරපා දැමීම මෙන්ම එබඳු ක්‍රියාකාරකම් සඳහා මැර බලය හා පොලිසියත් මෙහෙයවූ බවට ද ජයවර්ධන යුගය කුප්‍රකටව තිබේ.

ජනාධිපති රනිල්ගේ දේශපාලන ක්‍රියාකාරකම් වැඩුණේ ජයවර්ධන සෙවණේ මෙන්ම ඔහුගේ සකලවිධ දේශපාලන මෙහෙයුම් සමඟය. එහෙත් ඔහු ජයවර්ධනට වඩා ප්‍රජාතන්ත්‍රවාදයට ශක්තිමත් චරිතයක් විය. විධායක බලය සම්බන්ධයෙන් ඔහුට විවේචනයක් ද තිබුණි. එසේ වුවද තම දේශපාලන අපේක්‍ෂාවන් හා ඉලක්ක රිසි ලෙස බලගැන්වීමට ඔහුට මහජන වරමක් නොලැබුණි. ජයවර්ධනට වුවද ඒ බලය හිමි වූයේ ජීවිත සැඳෑවේදී ය. එහෙත් ජයවර්ධන ඒ බලය ජනතාවගෙන්

ලබාගැනීමට තරම් දක්‍ෂයකු විය. පසුව ඔහු ක්‍රියාත්මක කළේ දිගු කලක් තම මනසෙහි නිද්‍රාජිතව තිබුණු අපේක්‍ෂාවන් හා අරමුණු බව ද පෙනුණි. ඔහු තමන්ට හා තම පක්‍ෂයට ගැළපෙන ව්‍යවස්ථාවක් ද සම්මත කර සමාජ, ආර්ථික පෙරළියකට ද රට යොමුකළ නායකයෙක් විය. ඒවා පිළිබඳ අදත් විවේචන තිබේ.

කෙසේ හෝ රනිල්, ජනාධිපති ධුරයට පත්වන්නේ එබඳු මහජන වරමකින් නොව වෙනත් නීත්‍යනුකූල ක්‍රියාදාමයකට අනුවය. ගෝඨාභය ජනාධිපතිවරයාගේ අදේශපාලනික ක්‍රියාකාරකම් නිසා බිඳවැටුණු සමාජ ආර්ථිකය පමණක් නොව දේශපාලනික අරාජිකත්වය ද දුරලා රට සක්‍රීය කිරීමට ජනාධිපති රනිල් සමත් විය. ඔහු අරගලකරුවන් මර්දනය කළ ආකාරය ගැන අපට විවේචනයක් තිබේ. එහෙත් ඔහු ඒ විරෝධතා දේශපාලනය දියකර හැරීමට උපක්‍රමශීලී විය. එසේම ඔහු විසිරී ගිය ප්‍රභූ දේශපාලනයේ රාජපක්‍ෂ කේන්ද්‍රය යළි බලගැන්වීමට වුවමනා තීරණාත්මක ශක්තියක් ද ලබාදී ඇත. අරගලයෙන් පසුබැස ගිය මැති ඇමැතිවරු ඔහුට පැසසුම් කරති. එහෙත් අපට හැඟෙන පරිදි ජනාධිපති රනිල් අද පෙනී සිටින්නේ එදා ගාලුමුවදොර අරගලයෙන් පරාජිතව බියට පත්වූ ප්‍රභූ දේශපාලනය යළි බලගැන්වීමටය. විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනයට ඉදිරිපත් වූ ඔහු අද එහි ආරක්‍ෂකයා බවට පත්ව සිටින්නෙහි ිද යන කුහුල ද අප තුළ වේ.

ජනාධිපති රනිල්ගේ ඇතැම් දේශපාලන ප්‍රතිචාරවලින් ප්‍රකාශ වන්නේ ඔහු විධායකය ලෙස ශක්තිමත් වීමට දරන අත්සාහයයි. ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට වුව ද ඔහු සියුම්ව ඇඟවීම් කරන බවයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ තීරක බලය ඔහු සතු බව නොවේද? ඒ ක්‍රියාදාමයෙන් පැහැදිලි වන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඔහු සෘජුව විවේචනය නොකරයි. එහෙත් සාමාන්‍ය දේශාපාලන චරිත යොදා ගනිමින් එය දුබල කිරීමට ඔහුට හැකි වී තිබේ. එවා පිළිබඳ කෙබඳු විවේචන සිදු වුවත් ජනාධිපති රනිල් ඒ කිසිවකට සෘජුව මැදිහත් වී නැත. පාර්ලිමේන්තුවේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඔහු විසින් දක්වන ලද උත්ප්‍රාසනීය ප්‍රතිචාරය කව්රුත් දනිති. කුමක් වුවත් එදා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දැඩි අභියෝගාත්මක ප්‍රතිචාර දැක්වූ ස.ජ.බ. හෝ ජා.ජ.බ. අද ඔවුන් සඵත කළ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය ලබාදීමට අසමත් වී සිටිති. දැන් කව්රුත් සිතන්නේ මේ වසර අගදී කුමක් හෝ මැතිවරණයක් ප්‍රකාශයට පත්විය හැකි බවය. ඒ සඳහා තිබෙන ව්‍යවස්ථානුකූල සීමා වෙනස් කළ හැකි ද යන්න වෙනම ප්‍රශ්නයකි. එහෙත් ජනාධිපතිවරණයක් සඳහා ඔහු සූදානම් වන බව ද පෙනේ.

ජනාධිපති රනිල්, ගෝඨාභය රාජපක්‍ෂට වඩා සාර්ථක රාජ්‍ය නායකයකු බව අද පොහොට්ටුව ද පිළිගනී. එම පක්‍ෂයේ ලේකම් සාගර කීවේත් ගෝඨාභය අසමත් බවය. කොහොමටත් ජනාධිපති රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය අනුමත කරවාගෙන, ඒ අනුව රට මෙහෙයවමින් සිටින බව ද ජනතාව දනිති. එසේම අහස උසට නැඟ තිබුණු භාණ්ඩ මිල අඩුවීමත්, ඉන්ධන මිල පහළ යෑමෙන් ජනතාවට සුළු හෝ සහන ලැබෙමින් ද තිබෙන මොහොතකි මේ. මේ අතර ජනාධිපති රනිල් සුවිශේෂ අවධාරණයක් ද කර ඇත. එනම් තමන් සිටින්නේ හරි දේ කිරීමට විනා ජනප්‍රිය දේ කිරීමට නොවන බවය. ජනප්‍රිය සංකල්පවලින් රට විනාශ වූ බව පෙන්වා දෙන ජනාධිපතිවරයා කිසිවකුට නීතිය හා සාමය කඩන අරගලවලට ඉඩක් නොදෙන බව ද පවසයි. එසේම රටේ ආර්ථිකයට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු නොකර සිටියොත් මීළඟ ජනතා නැඟිටීම තව දරුණු විය හැකි බව ද ජනාධිපතිවරයා පවසා ඇත.

මේ අනුව ජනාධිපතිවරයාට රටේ ආර්ථිකය සාධනීය වර්ධනයකට පරිවර්තනය කිරීමේ සැබෑ අවශ්‍යතාවක් තිබෙන බව ඉතා පැහැදිලිය. එහෙත් ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් උද්ගතව තිබෙන විරෝධතා සමනය කර නොගෙන ඒ ඉලක්ක ජයගත හැකිද? ඒ සඳහා සමාජය තුළ සංවාදයක් සිදුවිය යුතු නොවේද? එහෙත් ඒ සංවාද මාවත වෙනුවට ආණ්ඩුව ඇදී යන්නේ මර්දනකාරී මාර්ගයකට ද යන ප්‍රශ්නය දැන් මතුවී තිබේ. ආණ්ඩුව විසින් අනුමත කර ගැනීමට අපේක්‍ෂා කරන නව ත්‍රස්ත විරෝධී පනත කිසිසේත්ම ජනතාවාදී පාලනයකින් අපේක්‍ෂා කළ නොහැකි බව බොහෝ විද්වතුන්, වෘත්තිකයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු බහුතරයකගේ අදහස වී තිබේ. මෙය පෙරදිග මුතු ඇටයෙහි පුරවැසියන්ගේ කට වැසීමට දරණ දුෂ්ට ප්‍රයත්නයක් ලෙස ද සමහරු හඳුන්වති.

ඉහත සඳහන් කළ පරිදි මේ අලුත් පනත විෂඝෝර වූද, අතිශය භයානක වූද, පනතක් බව මෙතෙක් සිදුවූ විවේචනවලින් ද ප්‍රකාශ වී තිබේ. දෙමළ සන්ධානයේ ශානක්‍යන් රාසමානික්කම් මෙන්ම සුමන්තිරන් ද මෙය භයානක පනතක් බව කියති. ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම දැනටමත් එයට කනස්සල්ල පළකර ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද එම පනත ගැන විමර්ශනය කිරිමට කමිටුවක් පත්කර ඇති බවට වාර්තා විය. මහජන අදහස් සාමකාමීව ප්‍රකාශ කිරීම මෙන්ම ජනතාව ප්‍රකෝප නොවන තොරතුරු සම්පාදනය ගැන ආණ්ඩුවක් බියවිය යුතු නැත. මෙම අභිනව පනත පසුගිය වසරේ ඇතිවූ ජනතා නැඟිටීම්, එබඳු උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා යොදාගත හැකි විධිවිධානවලින් යුතු බව පෙනේ. විරෝධතා, පෙළපාලි, සිවිල් සංවිධාන වීදි බැසීම, වෘත්තිකයන්ගේ වර්ජන අද මේ ආණ්ඩුවට හිසරදයක් වී තිබෙන බව නිසැකය. ඒවාට දායක වන පිරිස් පමණක් නොව ගොවියන්, සරසවි සිසුන්. ගුරුවරුන් ඇතුළු විවිධ විරෝධතා දිරවාගත නොහැකි ආණ්ඩුවක් ලෙස මේ පාලකයන්ට ප්‍රබල විවේචනයක් ද ඇත. එබඳු දේශපාලන අවදිවීම් මැඬලීමේ කුරිරු පනතක් ලෙස මෙම ප්‍රතිත්‍රස්ත පනත හැඳින්වුවත් පොහොට්ටුවේ රූකඩයන් එයට අත එසවිය හැකි බව ද කියනු ඇසෙයි.

ඇත්ත වශයෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයකු වන මහින්ද රාජපක්‍ෂ මේ ගැන දරන ස්ථාවරය කුමක් ද? මර්දනකාරී ප්‍රචණ්ඩ දේශපාලනයෙන් වැනසී ගිය තරුණ හා වෘත්තීය සගයන් ගැන සංවේදී මනසක් සහිත කිසිවකුට මෙබඳු පනතක් අනුමත කළ හැකිද? මාධ්‍යකරුවන් වුව ද පුනරුත්ථාපන කඳවුරුවල ගාල් කරන අලුත් නීති වුවමනා කාට ද? කාගේ ආරක්‍ෂාව සඳහා ද? මේ වනවිට ආණ්ඩුවේම වෘත්තීය සමිති නායකයන් ද මුහුණ දී සිටින මර්දනය කෙබඳු දැයි ජනතාව දනිති. තෙල් සංස්ථාවේ අර්බුදය සම්බන්ධයෙන් සිදු කෙරෙන ‘බේරාගැනීමේ මෙහෙයුම්’ ගැන ද මාධ්‍යවල පළවිය. ඒවාට දායක වූ පොහොට්ටුව හා සම්බන්ධ වෘත්තීය සංගම්වලට සහනයක් ලබා ගැනීමට දරණ ප්‍රයත්නය ද හාස්‍ය දනවයි. කුමක් වුවත් ආණ්ඩුවට අවශ්‍ය මර්දනය බව පැහැදිලිය. මානව හිමිකම්, වෘත්තීය අයිතිවාසිකම් යන සියල්ලටම උඩින් පැනීමට පාලකයන්ට වුවමනා වී තිබේ. අධිකරණ නියෝගයකින් තොරව අත්අඩංගුවට ගැනීමේ බලය පොලිස් නිලධාරීන්ට හා හමුදා අංශවලට ලබාදීමට ද යෝජනා කර ඇතැයි කියන පනතක අරමුණ වසන් කළ නොහැක.

ජනාධිපති රනිල් පුනපුනා ප්‍රකාශ කරන්නේ මේ ආර්ථික අගාධයෙන් රට ගොඩගැනීමට තමන්ට සියලු පාර්ශ්වයන්ගේ සහාය වුවමනා බවය. ඒ සද්කාර්යය මල්වට්ටියකට උපමා කරන පහන් සිතක, රටේ ප්‍රජාතන්ත්‍රවාදී හා මානව හිමිකම් වෙනුවෙන් නැඟෙන ජනහඬ මර්දනය කිරීම සඳහා දුෂ්ට දැඩි මානසිකත්වයක් ඇතිවිය හැකිදැයි අපට සිතිය නොහැක. එහෙත් මේ වර්ගයේ පනතක් තුළ තිබෙන ඒකාධිපතිවාදී ලක්‍ෂණ පසක් කර ගැනීමට හැකි ස්වල්ප දෙනෙක් හෝ නොසිටිත් ද? දේශපාලනය යනු නායකයා පුදන, පක්‍ෂය රජ කරවන වර්ගයේ මෙහෙයුමක් නොවන බව තවමත් සමහරුන්ට වැටහී නොතිබීම දෙකෝටි විසිලක්‍ෂයක් වූ ජනතාවගේ කර්මදෝෂයක් වැන්න.

රටේ ව්‍යවස්ථාවක් තමන්ගේ ලේ නෑයන්ට, තම පක්‍ෂයේ පැවැත්මට වුවමනා පරිදි සම්මත කරගත් නායකයන්ගේ මෙහෙයුම් පිළිබඳව විචාරශීලීව බැලීමට අප අසමත් වුවහොත් මේ රටට හෙටක් නැති බව අප වටහා ගත යුතුය. එසේම තම බල ව්‍යාපෘතීන් සඳහා දුෂ්ට, කෲර මර්දන පනත් සම්මත කර ගැනීමට තවමත් උත්සාහ දරන දේශපාලනඥනයන්ගෙන් ද අප ප්‍රවේශම් විය යුතුය. පුද්ගල ප්‍රතිරූප වන්දනා කළ මුග්ධ දේශපාලනය වෙනුවට ප්‍රබුද්ධ මනසකින්, විමසුම් ඇසකින් මේ පවතින දේශපාලනය කියැවීම අද අත්‍යවශ්‍යම පුරවැසි වගකීම බව ද අප තේරුම් ගත යුතුය. ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම්, මාධ්‍ය නිදහස වැනි සමාජ ධර්මතාවන් පිළිබඳව විවෘත මනසකින් බලන ලෝකයක ළිං මැඩියන් මෙන් ඒවාට බාධාකරන දේශපාලනඥයන් ගැන අපට පැවසීමට කිසිවක් නැත. එහෙත් වෙනස් වන විශ්ව සංස්කෘතික හා මාධ්‍ය සමාජයක එයට හරස්වීම යනු අතිශය ඛේදනීය තත්ත්වයක් බව නම් කිව හැකිය. ආණ්ඩුවක් සුරැකීමටත්, එයින් ස්වාර්ථය සාදා ගැනීමටත් ක්‍රියාකරන වසල දේශපාලනඥයන්ගෙන් ද රටට අඩුවක් නැත. එහෙත් මේ පනත තමන්ට අනුමත කළ නොහැකි යැයි ප්‍රකාශ කිරීමට තරම් ආත්ම ශක්තියක් තිබෙන අය ද ආණ්ඩුවේත් සිටිති.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment