අනේ මැති සඳුනේ ගෑස් ලැබුණෝතින් හාලුත් තිබුණෝතින් අපිත් කිරිබතක් කන්නෙමු!

246

සිංහල – දෙමළ අලුත් අවුරුද්දත් ඒ සංස්කෘතික සැණකෙළියේ නිරාමිස ප‍්‍රීතියත් ආණ්ඩුවේ සමාජ – ආර්ථික හා දේශපාලන අර්බුද විසින් අහිමි කරන ලද පසුබිමක සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවායි ප‍්‍රාර්ථනා කිරීම සරදමක් වැන්න. සත්තකින්ම අද මේ රටේ සතුටක් ඇති, සිනහවක් ඇති මුහුණක් දැක ගැනීම පවා අසීරුවී තිබේ. ආණ්ඩුවේත් ආණ්ඩුවේ ගජ මිතුරු සමාගම්වලත් ඒ සතුට ඒ සිනහව යම් ප‍්‍රමාණයකට අඩුවී තිබිය හැකිය. ඒ කුමක් වුවත් ධෛර්යයෙන් හා වීර්යෙන් යුතුව කඩා වැටුණු ජීවිත ගොඩනඟා ගැනීමටත් සකලවිධ අර්බුදවලින් මිදීමටත් එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීම හැර අන් මගක්ද අපට නැත. මහජනතාව යනු බොහෝවිට තමන් විසින් නොකරන ලද වැරදිවලටත්, පාලකයන්ගේ හා නායකයන්ගේ පව් කඳු වලටත් වන්දි ගෙවන අවාසනාවක්ද සමඟ ජීවිත පවත්වාගෙන යනු ලබන පිරිසකි. ජනතාවගේ මූලික අවශ්‍යතා කීපය හෝ ඉටුකරදීමට ආණ්ඩුවක් අසමත් වන්නේ නම් එහි ප‍්‍රබලම වින්දිතයා බවට පත්වන්නේද පොදු ජනතාවය.

අද අප දකින යථාර්ථය එයයි. තවමත් හැටනව ලක්‍ෂයේ ජනවරම පිළිබඳ උදම් අනන හා වහසි බස් දොඩන අයද සිටිති. එහෙත් අද වීථි බැස සිටින බොහෝ දෙනාගේ තේමා පාඨය වී ඇත්තේ මේ ආණ්ඩුව පලවා හැරිය යුතු බවය. රාජපක්‍ෂවරුන් ගෙදර යා යුතු බවය. ජනාධිපති, අගමැති ප‍්‍රමුඛ මැති ඇමැතිවරුන්ගේ නිවෙස් හා කාර්යාලද වටකරගත් ජනතාව උද්ඝෝෂණ කරමින් අයැද සිටින්නේ අලුත් ආරම්භයකි. මේ ආණ්ඩුවෙන් ප‍්‍රතිලාභ, වරප‍්‍රසාද ලත් පිරිස් හැර බොහෝ දෙනෙක් ආණ්ඩුව කෙරෙහි ප‍්‍රසාදයක් නොදක්වති.

රාජපක්‍ෂවරුන් කෙරෙහි බැඳීම්, පක්‍ෂපාතීකම් දැක්වූ ඇතැම් නායක කාරක භික්‍ෂූන් වහන්සේලාද අද ආණ්ඩුවේ විවේචකයෝ බවට පත්ව සිටිති. පාස්කු ප‍්‍රහාරයට යුක්තියක් ඉල්ලා ඇරඹුණු සටනේ නායකත්වය භාරගත් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝද රාජපක්‍ෂ පාලනය අවසන් විය යුතු බව ප‍්‍රසිද්ධියේම පවසති. මේ රට දූෂිතයන්ගේ, වංචනිකයන්ගේ හා කොමිස් කාක්කන්ගේ දඩබිමක් වී තිබෙන බව ඒ සියල්ලන්ගේම විවේචනය වී තිබේ.

නිදහසින් පසු රට භාරගත් දේශපාලනඥයන් විසින් රටට කරන ලද අනර්ථය වැඩි බව මේ වනවිට බොහෝ දෙනකුට පසක් වී තිබෙන කාරණයයි. රාජපක්‍ෂවරුන්ට සබඳතා තිබෙන අයටත් විවිධ දූෂණ, වංචා පිළිබඳ චෝදනා ඉදිරිපත්ව තිබෙන අතර සමහරුන්ට ජාත්‍යන්තරව පවා දඬුවම් නියම වී තිබේ. ඒ අමිහිරි ඇත්ත නිහඬව ඉවසීම හැර එටයට සාධනීය ප‍්‍රතිචාර දැක්වීමට හෝ ගෝඨාභය පාලනයද අසමත් විය. ආණ්ඩුවේම හිටපු විගණකාධිපතිවරයකු වූ ගාමිණී විජේසිංහ විසින් වුවද මේ ආණ්ඩුවට කරන ලද විවේචන බරපතළය. ඔහුගේ විවේචනයෙහි හරය වූයේ රාජපක්‍ෂ පවුල නීතියට උඩින් ධනය උපයන ජනතාවගේ සම්පත් හිතුමතයට විකුණාදමන දුස් පිළිවෙතක ගමන් කරන බවය. 1978 දී ඇරඹුණු පාලකයා නැතහොත් රාජ්‍ය නායකයා නීතියට යටත් නැති ක‍්‍රමවේදය මේ රටට විනාශය රැගෙන ආ බව අද වීථි බැස සිටින ජනතාවද තේරුම්ගෙන සිටිති. එහෙත් ‘සෞභාග්‍යයේ දැක්ම’ රට ඉදිරියේ තැබූ ගෝඨාභයද ජනාධිපතිධුරයට පත්ව ඒ ජරපත් ක‍්‍රමය එලෙසම නඩත්තු කරන බව අද පසක් වී තිබේ. පාර්ලිමේන්තුවේ සිටින 225 ම අපට එපා යැයි ජනතාව කියන්නේ දේශපාලන වශයෙන් කුණුවී ගිය රටක, දූෂණයෙන් ඉහවහා ගිය පාලනයක අමිහිරත්, දුර්ගන්ධයත් තවදුරටත් ඉවසා ගත නොහැකි පසුබිමකය. රුපියල් ලක්‍ෂ 800 ක් වටිනා සුඛෝපභෝගී රියක් මහජන මුදලින් ලබාගත හැකි ඇමැතිවරුන් සිටින එකම රට ලංකාවය.

ඉහළ නිලධාරීන්ට මෙන්ම මන්ත‍්‍රීවරුන්ටද කෝටි ගණන් වටිනා ඉහළම වර්ගවලට අයත් සුඛෝපභෝගී වාහන ලබාගැනීමේ වාසනාව හිමිවී තිබේ. තීරුබදු රහිත වාහන ලබාගන්නා සමහරුන් ඒවාද විකුණා මුදල් උපයති. මෙයට අමතරව බාර් හෙවත් මත්පැන් අලෙවිසල් හිමිකාර මන්ත‍්‍රීවරු ද සිටිති. (මේ මන්ත‍්‍රීවරුන්ගේ සැප සම්පත් වෙනම දැක්විය යුතු දීර්ඝ ලේඛනයකි.) මාර්ටින් ලුතර් කිං වරක් ප‍්‍රකාශ කළේ රටක පාර්ලිමේන්තුව දෙස බැලුවිට ඒ රට ගැන සිතාගත හැකි බවය. අපේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත‍්‍රීවරුන්ගේ විලාසය, ප‍්‍රඥාව, සදාචාරය, අදීනත්වය දැන මැන ගැනීමට එහි බොහෝ වාද විවාද වලදී හැකි බව පමණක් සඳහන් කරමු.

කෙසේ හෝ අද වනවිට මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවූ විමල්, උදය, වාසු ත‍්‍රිත්වය ප‍්‍රමුඛ පක්‍ෂ 11 එකමුතුව පවසන්නේද මහින්ද අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයම ඉවත්විය යුතු බවය. දෛවයේ මෙබඳු සරදමක් ඇතැයි මහින්ද අගමැතිවරයාට නිකමටවත් හිතුනේද යන්න ගැන අපට කිව නොහැක. එහෙත් අද එය සිදුවී තිබේ. මේ ආණ්ඩුවේ රාජපක්‍ෂ බලාධිපත්‍යයට අභියෝග කළ හැකි කිසිවෙක් නොවෙතියි බොහෝ දෙනෙක් සිතූහ. ජනාධිපති, අගමැති, මුදල් ඇමැති වැනි ප‍්‍රධානම නිලවලට අමතරව ඉහළම ඇමැතිධුර දෙකක් රාජපක්‍ෂ පවුලට වෙන්ව තිබුණි. ගෝඨාභය, මහින්ද, බැසිල්, චමල් හා මහින්දගේ පුත් නාමල් ද හොබවන නිලබල කෙබඳු දැයි අමුතුවෙන් කිව යුතු නැත. ඒ හැර ශෂීන්ද්‍ර වැනි තවත් නම්ද කීපයක් ඇත. අද ජනමතය පෙළ ගැසෙන්නේ මේ සියලු රාජපක්‍ෂවරුන්ට එරෙහිවය.

අද වීථි බැස සිටින ජනතාවගේ සටන් පාඨ කෙබඳු දැයි ආණ්ඩුවද දනී. ‘දවල්ට පෝලිමේ – රෑට කළුවරේ’ අපි හාමතේ යන්නට අමතරව ජනාධිපතිට හා මුදල් ඇමැතිට සෘජුව එල්ල කෙරෙන සටන් පාඨද ඇත. විදුලිය හා ඉන්ධන අර්බුදය විසින් අසරණභාවයට පත් ජනතාවට සහනයක් දීමට සාධනීය සැලැස්මක්ද මෙතෙක් ඉදිරිපත්ව නැත. කුමක් වුවත් දවසින් දවස උණුසුම් වන ජනතා විරෝධය අබියස ආණ්ඩුවට සිය හිතුවක්කාර ගමන් මග වෙනස් කිරීමට සිදුවිය. ආණ්ඩු විරෝධය ජනතාව තුළින්ම මතුවූ දේශපාලන නායකත්වයකින් තොරවූ එකක් වීමද කැපී පෙනේ. එහෙත් ඒ ජන හදගැස්මට තවමත් නිසි ප‍්‍රතිචාර දැක්වීමට ආණ්ඩුව අසමත්ව සිටින බවද පෙනේ. අසීමිතිව මුදල් අච්චු ගසා ආර්ථිකය බලගැන්වීමට සිතූ මෝඩයන්ටද අද තම අසාර්ථකත්වය වැටහී ගොස් තිබේ. ජනාධිපතිවරයා විසින් අලුත් ආර්ථික ප‍්‍රතිසංස්කරණයකට එකඟ බවද පෙනේ. රාජපක්‍ෂ දේශපාලනයෙහි වන්දි භට්ටයන් වෙනුවට ආර්ථික ක්‍ෂේත‍්‍රයෙහි ප‍්‍රාමාණික විද්වතුන්ට මේ වනවිට ඒ ආර්ථික මෙහෙයුම පවරා දෙනු ලැබ ඇත. ජනතාව තුළද ඒ පිළිබඳ විශ්වාසයක් ගොඩනැෙ`ගමින් තිබේ. එහෙත් එයට සමාන්තරව දේශපාලන ප‍්‍රතිසංස්කරණය සිදුවන බවක් කිව නොහැක.

අද ජනාධිපතිවරයාත් – අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයත් ඉවත් විය යුතු යැයි ඝෝෂා කරන්නේද එදා 20 වැනි සංශෝධනයටද අත එසවූ අයයි. දැන් රට තිබෙන්නේ විධායක බලය ඉවත් කළ යුතු යැයි යන ප‍්‍රබල ඉල්ලීම මතය. පාර්ලිමේන්තුව තුළින් ඒ අධිපතිවාදී ජනාධිපතිවරයා මෙල්ල කළ හැකි බවද නීති විශාරදයන්ගේ අදහසකි. පාර්ලිමේන්තුවේ සංයුතියද වෙනස් වී තිබේ. එහෙත් වත්මන් ආර්ථික කඩාවැටීම් තුළ කිසිසේත් මැතිවරණයක් පැවැත්වීමට ද නොහැකිය. මොන ආකාරයෙන් හෝ රාජ්‍ය කටයුතුද අඩාල වීමටද ඉඩ දිය යුතු නැත. මේ වනවිට රාජ්‍ය පරිපාලනයද අවුල් වී තිබේ. මේ ආණ්ඩුව විසින් ගන්නා ලද මුග්ධ පියවර එයට හේතුවී ඇත. පරිපාලන සේවයේ විධිමත් නිලධාරීන් වෙනුවට ජනාධිපතිවරයාගේ සිත්ගත් විශ‍්‍රාමික ජෙනරාල්ලා ඒ බොහෝ තැන්වල සිටිති. එහෙත් ඔවුහු රාජ්‍ය කළමනාකරණයේ හෝඩියවත් දනිත්ද? ජයවර්ධනගේ 78 ව්‍යවස්ථාවෙන් සිදුකළ අමන ක‍්‍රියාකාරකම් සියල්ල අද සාමාන්‍ය දේවල් බවට පත්ව තිබේ. වියත් මග තනිකරම දේශපාලන ජුන්ටාවකි. (මේ වියත් මග නාම ලේඛනය මෙතක් හෙළිවී නැත.) රාජ්‍ය ආයතන වැනසූ දේශපාලන පත්වීම් මේ රට තවත් විනාශයක හිර කළ බව අමුතුවෙන් කිවයුතු නැත.

මේ සියල්ල එක රැයකින් විසඳාගත නොහැක. ඒ සඳහා ශක්තිමත් ආරම්භය මෙම පාර්ලිමේන්තුවෙන්ම ලබාගත යුතු බව පවසන විද්වත්හු ද සිටිති. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ දින කීපයකට පෙර සඳහන් කළේ 20 වැනි සංශෝධනය අහෝසි කර නීතියට යටත් විධායකයක් හා ව්‍යවස්ථාදායකයක් ඇති කරන තෙක් ජාත්‍යන්තර විශ්වාසය අපට නොලැබෙන බවය. දූෂණය, වංචාව ඔඩුදුවා තිබෙන රටකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන අනුග‍්‍රහය නොදෙන බවද ඔහු සඳහන් කරයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි වලින් ඉදිරියෙන් සිටියත් ආණ්ඩුවේ ගමන ස්ථාවර නැති බව පැහැදිලිය. හිටපු විගණකාධිපතිවරයා කියන්නේ මේ ජරපත් දේශපාලනයට තිබෙන රැකවරණ, වරප‍්‍රසාද සියල්ල අහෝසි කිරීම අද පාර්ලිමේන්තුවේ එකඟතාවකින්ම කළ යුතු බවය. විපක්‍ෂය අන්තර්වාර පාලනයකට නොඑන බවද පවසා තිබේ. 11 දෙනාගේ එකමුතුව යෝජනා කර ඇත්තේද අගමැති ඇතුළු ඇමැතිවරුන් අස්විය යුතු බවය. එහෙත් ඇමැති සැප – මන්ත‍්‍රී සැප කෙසේ අත්හරිනු ඇද්දැයි කිව නොහැක. එසේම ඒවා සමඟ ජනතාව අතර නම් ගැවසිය නොහැකි බවද පෙනී යයි.

මේ අන්තෝ ජටා – බහිජටා මැද රටට මොන අලුත් අවුරුදුද? කොහොමටත් ආණ්ඩුව ඒ සඳහා කිසිදු අවධානයකින් කි‍්‍රයාකර නැත. තවම ඉන්ධන හා ගෑස් පෝළිම්ය. විදුලිය පමණක් අවුරුදු දින දෙක තුළ නොකපන බව නිවේදනය කර ඇත. සතොසින් දෙන සහන මල්ල ගැනද විවිධ චෝදනා නැගෙයි. කිරිබතක් පිසගැනීමට සුදුසු හාල් කිලෝව රුපියල් 200 කට වැඩි යැයි කියනු ඇසෙයි. ගෑස් නැතිවීම නිසා ලිප ගිනි නිවීමේ සිරිතටද මාස ගණනක් ගෙවී ඇති බව ගෘහණියෝ කියති. සීනි, කිරිපිටි, පරිප්පු ඇතුළු ආහාර මිල දෙගුණ තුන්ගුණයකින් ඉහළ ගොසින්ය. ජනමාධ්‍ය වාර්තා කළේ අවුරුද්දට ඇඳුමක් කැඩුමක් ගන්නා අය හිඟ බවය. ඒ ඇඳුම් නිමැවුම් කඩ කාමරවල ගොඩගැසී තිබීම නිසා ඔවුන්ගේ ආර්ථිකයද බින්දුවට බැස තිබෙන බව කියති. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ඒම අනිවාර්යය වුවත් කිරිබතක්, කැවුමක්, කොකිසක් අවුරුදු මේසයට එනු ඇතැයි සිතීමද අසීරුය. රටත්, දැයත්, සමයත් වියවුලට පත්ව අපට රජෙක්ද අහිමිවූ යුගයක් ඉතිහාසයේ සඳහන්ව තිබේ.

එදා ජනතාව පත්වූ අසරණභාවය ගැන කම්පාවූ කුංකුනාවේ පොඩි හාමුදුරුවන් නමින් ප‍්‍රකටව සිටි හිමිනමක් මෙබඳු කවි දෙකක් කියූ බවද ජනප‍්‍රවාදයෙහි සඳහන් වේ.

අනේ මැති සඳුනේ ගෑස් ලැබුණෝතින් හාලුත් තිබුණෝතින් අපිත් කිරිබතක් කන්නෙමු!

අදත් අපි හැම අතින්ම අසරණව සිටිමු. අපේ ජීවිත මෙන්ම අපේ රුපියලද බාල්දු වෙමින් තිබේ. අපේ දේශපාලනය මස්තු බාල්දු වී තිබේ. ජනතාව මහපාරේය. සමහරු ඉන්ධන හා ගෑස් පෝළිම්වලය. හෙට අනිද්දා බෙහෙත් හිඟයක්ද එන බව දොස්තරලාම කියති. කුලියක් කරගත් අයට එයත් අහිමිව තිබේ. බතක් නොඉදෙන පැල් කොපමණ දැයි නොදනිමු. සිනහව නැති කඳුළු නැති වෛරය දිලිසෙන මුහුණුද වෙති. එසේ නම් ජනතාවට කිව හැක්කේද මෙවැන්නක් විය නොහැකිද?

අනේ මැති සඳුනේ ගෑස් ලැබුණෝතින් හාලුත් තිබුණෝතින් අපිත් කිරිබතක් කන්නෙමු!

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment