අනේ සරත් කන්නාඩියෙන් නම් බලන්න එපා

2295

ශ‍්‍රී ලංකාවේ එක්තරා ප‍්‍රබල කැබිනට් ඇමැතිවරයකු සිය විශේෂ වරප‍්‍රසාද භාවිත කරමින් එස්. ටී. එෆ්. සෙබළුන් 74 ක් සහ පොලිස් නිලධාරීන් හත් දෙනකු ස්වකීය ශරීර ආරක්ෂාව සඳහා තබාගෙන සිටින බව දැනගන්නට තිබේ. මේ බව සිකුරාදා (14) දිවයිනේ මුල් පිටුවේ පළ විය. ශරීර ආරක්ෂකයා යන වචනයේ නියම ස්වරූපය වන්නේ කාය ආරක්ෂකයා යන්නය. එහි ඉංග‍්‍රීසි වචනය ලෙස Body Guard යන්න යොදනු ලැබේ. මේ කියන ඇමැත්තයා මොකාද යන්න අපි දනිමු. තමා පැමිණි දේශපාලන ගමනේ මුල පිළිබඳව කිසිදු මතකයක් නැති, තමාට උදව් කළ මිනිසුන්ගේ දුරකථන ඇමතුමකට පවා පිළිතුරු නොදෙන මේ ඇමැත්තයා හයේ හතරේ පංචස්කන්ධයක් ඇති හිටපු රාජ්‍ය ඇමැති කෙනෙකි. මෝඩයා තල් ගසක් සේ වැඩෙන බව භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාරන ලදී. හිසත් කටත් මහත්ව, කඳත් බඩත් මහත්ව හැදෙන මෙකී මෝඩයාගේ මොලේ සයිස් එක අබ ඇට භාගයකි. ඒ නිසා ස්වකීය ආරක්ෂාවට පොලිසියේ 81 දෙනෙක් පිරිවරාගෙන යෑමේ ආබාධය මොහුට හට ගැනීම ස්වභාවිකය. මෙවැනි ගල් මදයන් ඇමැති මණ්ඩලවල තබා ගැනීම කිසිසේත්ම නොහොබී. රාජ්‍ය ඇමැති ලෙස පැත්තකට කර නොතබා මෙකී පුස් යෝධයාට කැබිනට් ඇමැතිකමක් දීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුවිශාල වාත අමාරුවක් බෝ කරගෙන තිබේ. කොතරම් තෙල් ගෑවත් කසාය බිව්වත් නස්න කළත් වස්ති කළත් මෙවැනි වාත අමාරු බැහැර කිරීම ලේසි නැත. එසේ නම් ජනාධිපතිතුමා කළ යුත්තේ මීළඟ කැබිනට් සංශෝධනයේදී මේ පුස් යෝධයා පැරණි රාජ්‍ය ඇමැතිකම දක්වා ඩිමොට් කිරීම ය. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ප‍්‍රධානීන්ට ආරක්ෂාව සැපයීම පිළිබඳව අනු පිළිවෙළක් හෙවත් ඕඩරයක් තිබේ. මේ ඕඩරයට අනුව වැඩිම ආරක්ෂාව හිමිවන්නේ ජනාධිපතිට ය. එම ගණන ජනාධිපති චන්ද්‍රිකාගේ කාලයේ නම් ත‍්‍රිවිධ හමුදාවේ 2800 කගෙන් පමණ සමන්විත විය. මෙයින් හැඟවෙන්නේ ජනාධිපති චන්ද්‍රිකා ගෙදර ඉන්න විටත්, ලැට් එකට යන විටත්, ගමන් බිමන් යන විටත් ආරක්ෂකයන් 2800 ක් ඇය වටා පොර කකා ගොනුවී සිටින බව නොවේ. එක් එක් අවස්ථාවලදී අවශ්‍ය ආරක්ෂකයන් ගණන ජනාධිපතිනියගේ ආරක්ෂක ප‍්‍රධානියා විසින් හඳුනාගනු ලැබේ. සමහරවිට එම පිරිස 10 කි. නැත්නම් 20 කි. ඉන්දියාව විසින් ලංකාව ආක‍්‍රමණය කරනු ලබන්නේ නම් හෝ ඒ හා සමාන ප‍්‍රචණ්ඩ ආක‍්‍රමණශීලී අවස්ථාවකදී ආරක්ෂකයන් 2800 ම ඇය වටා යෙදවිය හැකිය. රාජ්‍ය ධුරාවලියට අනුව දෙවන තැනට ආරක්ෂාව ලැබෙන්නේ රටේ අගමැතිට ය. මේ වෙලාවේදී ගෝඨාභය රාජපක්ෂ ගමනක් යනවිට එකම එක හමුදා ආරක්ෂක රියක් ඔහු පසුපසින් යයි. අගමැති මහින්ද රාජපක්ෂ ගමනක් යන විටත් තත්ත්වය එයමය. ඊට අමතරව ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිට ඉතා සීමිත ආරක්ෂාවක් ලබා දී තිබේ. හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට ද එක පොලිස් ජීප් එකක ආරක්ෂාව ඇත. හිටපු ජනාධිපතිවරුන්ට සහ හිටපු අගමැතිවරුන්ට ආරක්ෂාව ලබා දීමේදී මීට වැඩි ප‍්‍රතිපාදන සැපයිය යුතු නමුදු මෛත‍්‍රීපාල සිරිසේනගෙන් පළිගත යුතු බැවින් ඔහුගේ ආරක්ෂාව කපා දමන ලදී. යහපාලන ආණ්ඩු කාලයේදී මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව ද මේ ආකාරයෙන්ම කපා දමා තිබූ නිසා අරකට මේක බැලන්ස් විය. ගෝඨාභය යනු කෙළින්ම එල්.ටී.ටී.ඊ. ටාගට් එකකි. ගෝඨාභය ඝාතනය කිරීමේ වරෙන්තුව අතේ තබාගත් එල්.ටී.ටී.ඊ කාරයෝ එදත් සිටියහ. අදත් ඉන්නවා ඇත. හෙටත් ඉන්නට පුළුවන. එසේ තිබියදීත් ගෝඨාභය රාජපක්ෂ එක ආරක්ෂක රථයක් සහිතව පාරවල් නොවසා මිරිහානේ ගෙදරට යන හැටි සතියේ දවස්වල හවසට බලාගත හැකිය. මහින්ද රාජපක්ෂ නම් ත‍්‍රීවීලරයක නැග තනිවම වුව ගෙදර යෑමට බයක් සැකක් ඇති කෙනෙක් නොවේ. එසේ තිබියදීත් පෙර කී ඇමැත්තයා ස්වකීය ආරක්ෂාව සඳහා පොලිසියේ 81 දෙනෙක් තබා ගැනීමෙන් හැඟී යන්නේ එතුමාට වෙනම ලෙඩක් ඇති බවය.

 ආරක්ෂාව සඳහා බොඩිගාඞ් ලා තබාගැනීම වූකලී වෙනම මානසික මාන්දමකි. ආණ්ඩුවේ වෙන්දේසියකින් පරණ ලෑන්ඞ් රෝවර් රථයක් මිලට ගෙන එය අලූත්වැඩියා කර සුදු අත්කොට කමිස සහ කළු කලිසම් ඇඳගත් පිරිමි හතරපස් දෙනෙක් එහි නංවාගෙන ඊට ඉදිරියෙන් තමා නැගී යන පැජරෝවට ආරක්ෂාව ලබාගන්නා පිස්සු පූසෝ මෙරට බහුල ය. මෙකී පිස්සන් එමගින් අදහස් කරන්නේ තමන්ට නැති කීර්තියක් සහ බලයක් මවාගැනීමය. පැජරෝවෙන් යන එකා කිසියම් තැනක නැවැත්වූ සැනින් ආරක්ෂකයන් පටවාගෙන පිටුපසින් එන ලෑන්ඞ් රෝවරයද නවතී. ඉන්පසු එම රථයෙන් බිමට පනින ආරක්ෂක රැුල පැජරෝව වටකර ගනිති. සමහරවිට මේ පැජරෝවේ සිටින එකා පහේ පංතියට පමණක් ඉගෙනගත් ඉන් එහා කිසිදු අධ්‍යාපනයක් නැති එහෙත් කවරාකාරයෙන් හෝ මුදල් හම්බකරගත් මෝඩයෙක් විය හැකිය. මෙවැනි අවස්ථාවලදී පාරේ යන ජනතාවට මාර්ග තදබදයන්ට මුහුණදීමට සිදුවේ. යහමින් සල්ලි හම්බ කරන එක්තරා ටියුෂන් ගුරෙක් මීට කලකට පෙර මෙවැනි විගඩමක් කිරීමට ගොස් පොලිසියට හසුවිය. ඉන්පසු ඒකාට කුමක් සිදුවීදැයි අපි නොදනිමු.

 ශ‍්‍රී ලංකාවේ කැබිනට් ඇමැතිවරුන්ට ඇමැති ආරක්ෂක අංශයෙන් පොලිසියේ හත්දෙනකු ආරක්ෂාව පිණිස ලබාදී තිබේ. මෙය නීත්‍යානුකූලය. මන්ත‍්‍රී කෙනකුට දෙදෙනකු පමණ ලැබේ. හැබැයි මන්ත‍්‍රීතුමා ගමනක් යනවිට ඔහුගේ පුද්ගලික ගෝලයෝ රථවල නැගී ඔහු පසුපස එති. මේ සියල්ලම කෘත‍්‍රිම ජවනිකාය. මේ රටේ පොලිසිය භාර ඇමැතිව සිටින්නේ රණවිරුවකු වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර ය. ඔහුගේ රණවීරත්වයේ ස්වභාවය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් කාලයෙන් කාලයට පාර්ලිමේන්තුවේදී අභියෝගයට ලක්කරනු ලැබ ඇති නමුදු අපි නම් ඒවා නො පිළිගනිමු. සරත් වීරසේකර සිය දේශපාලන ජීවිතය පටන් ගන්නේ ජාතිකවාදියකු ලෙසය. දැන් ඔහුගේ ආස්ථානය කුමක්දැයි අපි නොදනිමු. මේ පොලිස් ඇමැතිතුමා කදිම ලේඛකයෙකි. ඔහු සිය ලේඛක ජීවිතය පටන්ගන්නේ දිවයින පත්තරයෙනි. ඒ නිසා අපට ඔහු කෙරෙහි විශේෂ ආදරයක් ඇත. මේ සියලූ කරුණු සලකා අපි ඔහුගෙන් ඉල්ලීමක් කරමු. එනම් පොලිසියේ 81 දෙනෙක් ආරක්ෂාවට යොදාගත් ඇමැති කුකුළා මොකාද යන්න සොයා ඒ බව හෙළිදරව් කර පෙරකී පොලිස් නිලධාරීන් 81 දෙනා වෙනත් රාජකාරිවලට අනුයුක්ත කිරීම ය. මේ ඇමැත්තයා සොයාගැනීමට ඔහුට ඉතා පහසුවනු ඇත. සමහරවිට උදේට රැුවුල කැපීම සඳහා කන්නාඩිය වෙත ගිය විටත් පෙර කී ඇමැත්තයා ඒ තුළ සිටිනු ඔහුට පෙනෙන්නට ඉඩ තිබේ. මේ නිසා සරත් කන්නාඩිය සමග තරහ වී කන්නාඩිය පොළවේ ගසනවා වෙනුවට අවශ්‍යතාවය හඳුනාගෙන කටයුතු කිරීම ඔබගේ යුතුකම ය.

advertistmentadvertistment
advertistmentadvertistment