අඳුරු වළා සිපගනී; කොළඹ වායුව හිතකර නැහැ

347

මුව ආවරණ පළඳින්න… කුඩා දරුවන්
ස්වසන රෝග ඇති අය, වයෝවෘද්ධ අය, ගැබිනි මව්වරුන් හැකිතාක් ගෙදර ඉන්න
කොළඹ – මන්නාරම ‘මැජෙන්ටා’ යාපනය – කෑගල්ල – දඹුල්ල ‘දම්’ පුත්තලම – හම්බන්තොට ‘තැඹිලි’

දිස්ත්‍රික්ක 6 ක් අවදානමේ… මයික්‍රෝන් 2.5 දූෂිත වායු අංශු ප්‍රමාණය 150 ඉක්මවලා – මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත ජයසිංහ

ඉන්දියාවේ සිට පැමිණි සෞඛ්‍යයට අහිතකර දූවිලි අංශු සහිත වායුවක් නිසා කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක හයක අවදානම් තත්ත්වයක් ඊයේ (08දා) උද්ගතවී තිබිණි. ශ්වසන ආබාධ සහිත රෝගීන්, කුඩා දරුවන්, වයෝවෘද්ධ වැඩිහිටින්, ගැබිනි මව්වරුන් හැකිතාක් බාහිර පරිසරයට නිරාවරණය නොවී සිටින ලෙසත් මුව ආවරණ පළඳින ලෙසත් සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීය.

මෙම වායු දූෂණය නිසා කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 06 ක අඳුරු අහසක් දිස්විණි.

කොළඹ, ගම්පහ, මහනුවර, රත්නපුර, යාපනය, වව්නියාව දිස්ත්‍රික්ක ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසක මෙම තත්ත්වය උද්ගත වී තිබීම නිසා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස එම ප්‍රදේශවල ජනතාවට උපදෙස් දී තිබිණි.

කොළඹ නගරය පුරා ඊයේ (08 දා) පැවැති තත්ත්වය කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු ගුණාත්මක දර්ශකය අනුව සෞඛ්‍යට හිතකර නැති බව ප්‍රකාශ කර තිබිණි. ඊයේ (08දා) පෙරවරු 7.00 වන විට දර්ශක අගය 179 ක්ව පැවැති අතර එය පෙරවරු 10.00 වන විට 183 ට ඉහළ ගොස් තිබිණි.

අඳුරු වළා සිපගනී; කොළඹ වායුව හිතකර නැහැ
ඇමෙරිකානු තානපති කාර්යාලයේ දර්ශකය

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200ත් අතර අගයක පවතින බවය. වායු දූෂණ අවස්ථාවලදී ස්වසන ආබාධ සහිත රෝගීන්, කුඩා දරුවන්, වයෝවෘද්ධ පිරිස්, ගැබිනි මව්වරුන්, හෘද රෝගීන් හැකිතාක් එළියට නොගොස් නිවෙස් තුළ සිටීම වැදගත් බවත් එමගින් විෂ වායු, විෂ දූවිලි අංශුවල ආග්‍රහණය අවම කරගත හැකි බවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්‍ෂ සරත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කර සිටියේය.

මේ තත්ත්වය ලබන මාර්තු පමණ තෙක් විටින් විට පැවැතිය හැකි යැයිද ප්‍රේමසිරි මහතා දිවයිනට පැවසීය. මේ දිනවල අහස වළාකුළින් බරව පවතින්නේ වැහි වළාකුළු නිසා නොව මෙම කුඩා වායු අංශු නිසා බවද ඒ මහතා කීය.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් වායු දර්ශකය සැලකිල්ලට ගෙන ලබාගත් දත්ත අනුව කෙළඹ බත්තරමුල්ල ප්‍රදේශයේත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සෞඛ්‍යයට අහිතකර දැඩි තත්ත්වයක් පවතින බව අනාවණය කර ඇත. මැජෙන්ටා තත්ත්වය ලෙස එම වායු දූෂණය ඔවුන් නම් කර තිබේ. යාපනය, මුලතිව්, කෑගල්ල, දඹුල්ල ප්‍රදේශවල ඇති අහිතකර සෞඛ්‍ය තත්ත්වය දම්පාට ලෙසත්, පුත්තලම, හම්බන්තොට අහිතකර සෞඛ්‍ය තත්ත්වය තැඹිලි ලෙසත් සඳහන් කරමින් සටහනක් ඉදිරිපත් කර තිබිණි.

මේ අතර ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති මැන්ඩුවොස් සුළි කුණාටුව අද (09 දා) රාත්‍රී වනවිට ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශය වෙත ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සුළි කුණාටු තත්ත්වය නිසා මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු ප්‍රදේශවලට හා නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවුක ප්‍රජාවගෙන්ද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

advertistmentadvertistment
advertistmentadvertistment