අඳුරු සිදුවීම් හරහා ආණ්ඩුව මර්දනයකට සූදානම් වන බව පැහැදිලියි- පා. ම. ගයන්ත කරුණාතිලක (සජබ)

113

යහපාලන කාලයේ මාධ්‍ය නිදහස දෝරේ ගලන්න අපි කටයුතු කළා

අඳුරු සිදුවීම් හරහා ආණ්ඩුව මර්දනයකට සූදානම් වන බව පැහැදිලි වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතා කියයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (15 දා) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතා මෙසේද කියා සිටියේය.

අපි ඊයේ දවස තුළ දැක්කා 2015 ට පෙර සිදු වෙච්ච අඳුර යුගයේ සිදුවුණු සිදුවීම් දෙකක්. එකක් අලූයම අනිත් එක මහ දවල්. එහිදී අපි දැක්කා චමුදිත සමරවික‍්‍රම මාධ්‍යවේදියාගේ නිවසට මැර ප‍්‍රහාරයක් එල්ල වුණා. ඒ වගේම අසූචි ප‍්‍රහාරයකුත් එල්ල වුණා. මේවා අපි ඉතාමත් පිළිකුලෙන් හෙළා දකින සිදුවීම්. ඒ වගේම අපි දැක්කා සමාජ ක‍්‍රියාකාරිකයකු විදියට ක‍්‍රියා කරන ෂෙහාන් මාලක ගමගේ පැහැරගැනීම ආකාරයේ අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කළා. මේ කිසිදු සිදුවීමක් අපි සමගි ජන බලවේගය හැටියට අනුමත කරන්නේ නැහැ. ඒවා අපි හෙළා දකිනවා.

ඒ වගේම තමන් නොරුස්සන අදහස් ප‍්‍රකාශ කරන අය ඝාතනය කිරීම්, අතපය කැඞීම්, අතුරුදන් කිරීම් සිදු වන හැටි මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් බරපතළ කළු පැල්ලමක් තිබුණු හැටි අපිට මතකයි, 2015 ට පෙර යුගයේ.

පසුගිය යහපාලන රජයේ එවැනි කළු පැල්ලමක් තිබුණු වෙලාවක ජනමාධ්‍ය ඇමැතිවරයා හැටියට ක‍්‍රියා කරපු පුද්ගලයා හැටියටත් යහපාලන ආණ්ඩුව පවතිද්දී මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් තිබුණු ඒ අඳුරු යුගය සහමුලින්ම අනිත් පැත්ත හරවන්න ක‍්‍රියාකළා. ඒ කාලයේ මාධ්‍යවේදීන් ජීවිත බේර ගැනීම සඳහා විශාල පිරිසක් රට හැර ගිහින් තිබුණා. යහපාලන ආණ්ඩුව පිහිටුවා එය උපරිම ලබා දුන්නා. විදේශගතව සිටි අය නැවත ලංකාවට ඇවිත් නිදහසේ පෑන හසුරුවන්න ඉඩ ලබා දුන්නා. ඒ වගේම මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දුන්නා. මාධ්‍ය නිදහස දෝර ගලන විදියට අපි කටයුතු කරලා තිබුණා. ජනාධිපතිවරයා වෙන්න පුළුවන්, අගමැතිවරයා වෙන්න පුළුවන් ඇමැතිවරු වෙන්න පුළුවන් රජය නිර්දය ලෙස විවේචනය කරල බය නැතුව තමන්ගේ දරු පවුලත් එක්ක නිදහසේ ජීවත් වීමේ හැකියාව එදා අපි උදා කළා කියන එක බය නැතුව ප‍්‍රකාශ කරන්න පුළුවන්.

එම නිසා මෙම සිදුවීම් හරහා මර්දනයකට සූදානම් වන බවයි කාටත් පේන්න තියෙන්නේ. මෙම සිද්ධිවලට අපක්ෂපාතී පරීක්ෂණ කරලා වහාම වැරදිකරුවන් නීතිය හමුවට ගෙන එන්න ක‍්‍රියා කළ යුතුව තිබෙනවා. ඒ පරීක්ෂණ දියාරු කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ නොතබන ලෙස අපි සියලූ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ දවස්වල ජනතාව බලාගෙන ඉන්නේ කොයි මොහොතේ නැවත වතාවක් තෙල් මිල වැඩි වෙයිද? එය වැඩි වුණොත් ජීවත් වීමේ අර්බුදය තවත් උග‍්‍ර වෙනවා කියන හැඟීමෙන් තමයි කවුරුත් බලාගෙන ඉන්නේ. නැතිව භාර ගන්න කොට ඩොලර් 68 කට තමයි තෙල් බැරල් එකක් මිලට ගත්තේ. හැබැයි ඩොලර් හැට අටක් දීලා බැරල් එකක් ගන්නකොට පෙට‍්‍රල් ලීටරයක් 137 ටත් ඞීසල් ලීටරයක් රුපියල් 111කට ජනතාවට ලබා ගැනීමට පුළුවන්කම තිබුණා. එහෙම තිබියදී අපේ යහපාලන ආණ්ඩුව බලයට පත් වුණු ගමන් එක විට පෙට‍්‍රල් ලීටරයක් පමණක් රු. 33 කින් අඩු කරන ජනතාවට සහන දුන්නා. මට මතකයි එක් අවස්ථාවකදී වසර ගණනාවක පසුව සොච්චමකින් තෙල් මිල වැඩි වුණාම අද ආණ්ඩු කරවන අය බලවතුන් පාර්ලිමේන්තුව ළඟට ලොකු වාහනවලින් ඇවිත් බයිසිකලෙන් පාර්ලිමේන්තුවේ ආ හැටි. ඒ වගේම ගොන් කරත්තවල නැගලා සමහර ආපු හැටිත් මට මතකයි.

දැන් මේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ දෙවතාවක් තෙල් මිල වැඩි කළා. මේ රජය බලයට ආවට පස්සේ එක දිගටම මාස ගණනාවක් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අසීමිතව අඩුවුණා. මාස දහ හතක් තිස්සේ එසේ අඩු වෙද්දී අපි කොතෙකුත් ඒ වාසිය ජනතාවට දෙන්න කියද්දී රජය ඒ වාසිය ජනතාවට නොදී අසීමිත ලාභයක් ලබා ගත්තා. එහෙම තියෙද්දි ජුනි 11 රජය බලයට පත් වෙලා තෙල් මිල වැඩි කළා. ඉන්පසු රටට කිව්වා තෙල් සංස්ථාව විශාල පාඩුවක් ලබන ඒ වගේම රාජ්‍ය බැංකු දෙක ආරක්ෂා කරගන්නත් අඛණ්ඩව ජනතාවට තෙල් සපයන්න තිබෙනවා. ඒ නිසා අපට තෙල් මිල වැඩි කරලා ජනතාව පිට බර පැටවීමට සිදුවෙනවා කියලා. නැවත දෙසැම්බර් මාසයේදී තවත් වතාවක් තෙල් මිල වැඩිකර ලෝක වෙළෙඳ පොළේ වැඩි වෙච්ච නිසා තෙල් මිල වැඩි කරන්න වුණා කියලා ආණ්ඩුව කිව්වා.

මෙච්චර ප‍්‍රශ්න තියෙද්දී එක පැත්තකින් සිමෙන්ති නැහැ. තව පැත්තකින් බෙහෙත් ටික ගැනීමේ අර්බුදයක් තිබෙනවා. කිරි පිටි ටික ගන්න බැරි ඉන්නවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන එන නැව් හිර වෙලා තියෙන හැටි වාර්තා වෙනවා. විදුලිය කපන්න සිද්ධ වෙලා තියෙනවා. තෙල් සංස්ථාව පාඩු ලබනවා කියනවා. මෙහෙම තිබියදී අපි දැක්කා නැව්වලට ප‍්‍රමාද ගාස්තු හැටියට ඩොලර් ලක්ෂ ගණනක් ගෙවන්න කටයුතු කරපු හැටි. ඒ වගේම අපි කියන්න කැමතියි අද ලංකාවේ තෙල් අවශ්‍යතාවයන් ඉන්දියන් ඔයිල් සමාගම සතු පිරවුම්හල්වල අලෙවි කරන්නේ 15% ක ප‍්‍රමාණයක්. 85% ක් රටේ ජනතාවට තෙල් අලෙවි කරන්නේ තෙල් සංස්ථාව සතු සිපෙට්කෝ තෙල්වලින් පිරවුම් හල්වලින්. නමුත් එකම මිලට තෙල් අලෙවි කරලා 85% ක් අලෙවි කරන තෙල් සංස්ථාව අසීමිත පාඩු ලබන්නත් 15% ක් විතරක් අලෙවි කරලා ඉන්දියන් ඔයිල් සමාගම අසීමිතව ලාභ ලබන්නත් කටයුතු කරනවා. මෙතනින් පේනවා තෙල් සංස්ථාවේ දූෂණ අකාර්යක්ෂමතාව ඒ සියල්ල ජනතාව පිට පටවන්න සිද්ධ වෙලා තිබෙන කාරණාව.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment