අඳෝනා මැදින් ගිනිදැල් නැගුණා… අවුරුද්දේ බබාගේ උපන් දිනයත් එදා…

727

රාගල පොලිස් වසමට අයත් රාගලවත්ත උඩ කොටසේ පිහිටි නිවසක පෙරේදා (07 වැනිදා) රාත‍්‍රි 10.30 ට පමණ ඇති වූ හදිසි ගින්නකින් එකම පවුලේ මව, පියා, දියණිය සහ එම දියණියගේ දරුවන් දෙදෙනා ඉතාම අවාසනාවන්ත ලෙස පිළිස්සී මියගොස් ඇත.

මෙම ගිනිගැනීම සිදුවන අවස්ථාවේ අධික ලෙස බීමත්ව නිවසට පිටතින් සිටි මෙම පවුලේම සාමාජිකයකු වන 26 හැවිරිදි තරුණයකු දිවි ගලවාගෙන තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ 59 හැවිරිදි රාමයියා තංගයියා (පියා), 54 හැවිරිදි සිවනුමුත්තු ලෙච්චමී (මව), 35 හැවිරිදි ජෙයකුමාර් නදියා (දියණිය), 11 හැවිරිදි තුවාගරන් (මුනුපුරා) සහ එක් හැවිරිදි එරොසන් (මිණිපිරිය) යන අය බව පොලිසිය පවසයි.

අඳෝනා මැදින් ගිනිදැල් නැගුණා... අවුරුද්දේ බබාගේ උපන් දිනයත් එදා...

මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. මෙහිදී අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වූ අවුරුද්දක් වයසැති දැරියගේ උපන්දිනය එදිනට යෙදී තිබී ඇත.

උපන් දිනය වෙනුවෙන් නිවැසියන් කේක් කපා එය සමරා ඇති බව ද විමර්ශනවලින් හෙළි වී තිබේ.

පෙරේදා රාත‍්‍රි 10.30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර එය නිවා දැමීමට අසල්වාසීන් දැඩි උත්සාහයක් ගෙන ඇත. මේ පිළිබඳව රාගල පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව වහා ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සිද්ධිය වූ ස්ථානය වෙත පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබිණි.

මෙසේ ගිනිගෙන විනාශ වී ඇත්තේ වතු නිවාසයක් බව පොලිසිය පවසයි. මෙම ගින්න හටගත් අවස්ථාවේ නිවැසියන්ට ඉන් පිටතට පැමිණීමට නොහැකි වූයේ මන්ද යන්න ගැටලූවක් බව පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.

ගින්නට හසු වී පිළිස්සී මියගිය පුද්ගලයන් අසල්වාසීන් සමග ඉතාම සමීප සබඳතා පවත්වා ගෙන ගිය අය බව ද හෙළි වී තිබේ.

මෙම ගිනි ගැනීම සාහාසික ක‍්‍රියාවක් බවට කිසිදු සාක්‍ෂියක් නැති බව ද පොලිසිය පවසයි.

පිළිස්සී මියගිය මවගේ දියණියගේ සහ ඇගේ දරු දෙදෙනාගේ සිරුරු නිවසේ කාමරයක වැටී තිබූ අතර පියාගේ සිරුර සාලය කොටසේ තිබී පොලිසිය සොයාගෙන ඇත.

හඳුනාගත නොහැකි ආකාරයට මෙම සිරුරු පිළිස්සී විනාශ වී ගොස් ඇති බව ද පොලිසිය පවසයි.

මෙම ගින්න හටගත් අවස්ථාවේ ඒ ආසන්නයේ සිටි පුද්ගලයෙක් අදහස් දක්වමින් ‘දිවයින’ට මෙසේ කියා සිටියේය.

පෙරේදා ? 10.30 ට විතර වෙනකොට අපි නිදාගෙන හිටියේ. රාගලවත්ත උඩ කොටසේ ගේක පුංචි දරුවෙක් විලාප තියලා කෑ ගහන සද්දෙ ඇහුණා.

අපි සේරම ඒ පැත්තට දුවලා ගියා. ඒ යනකොට එකම ගිනි ජාලාවක් එක්ක ගෙයක් ගිනි ගන්නවා.

අපට කිට්ටුවෙන්නවත් බැරි තරමට ගින්න පැතිරිලා. ගේ ඇතුළෙ ඉන්න අය බේරගන්න උත්සාහ කළත් ඒක කර ගන්න බැරි වුණා. ගින්න නිවන්න අපි ලොකු උත්සාහයක් ගත්තා. රාගල පොලිසියෙනුත් ආවා. අපි හැමෝම එකතුවෙලා ගින්න නිවලා දැම්මා. ඒත් ඒ ගෙදර හිටිය හැමදෙනාම ඒ වෙනකොට පිච්චිලා මියගිහින් හිටියා.

රාගල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, නාලක රත්නායක, ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක, මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment