අපට බලය දුන්නොත් රට ගොඩගන්න අප සූදානම් – අනුර කුමාර දිසානායක අනුරාධපුර රැළියේදි කියයි

358

ගෝඨාභය  මෙරට බිහිවූ අමනෝඥම  නායකයායි

කැමති කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමේ අවස්ථාව සහිතව සිය බලවේගයට ආණ්ඩු බලය ලබා දෙන්නේනම් අනිවාර්යෙන්ම වැටී ඇති රට හදන්න සූදානම් යැයි ජාතික ජන බලවේගයේ සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (20 වැනිදා) අවධාරණය කර සඳහන් කළේය.

ජනතාව මහපාරේ මිය නොයවා සිදුවෙමින් ඇති විනාශය වළක්වාලන රටක් තැනීමට ජාතික ජන බලවේගයට හැකි බවත් ඒ සඳහා සූදානම් බවත් හෙතෙම කීය.

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (26 වැනිදා) එම අදහස් පළ කළේ එම පක්ෂය විසින් අනුරාධපුරයේ සංවිධානය කළ ‘ආණ්ඩුව පන්නමු ! පාරට බහිමු! උද්ඝෝෂණ පෙළපාලිය අවසානයේ පැවැති ජන රැළිය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ යනු මෙරට දේශපාලන ඉතිහාසයේ බිහිවූ අමනෝඥම රජා බව කියන්න ඕනෑ. ඔහුට මේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ගැන ඔහුට හැඟීමක්, කම්පනයක් නැහැ. රනිල් වික්‍රමසිංහ යනු හිරිවැටුණු නායකයෙක්. ඔහුටත් ජනතාවගේ ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ. ජනතාව ගැන කිසියම් හෝ කම්පනයක් ඔහුට තිබේ නම් ඉන්ටර් කූලර් දාගෙන යෝග ව්‍යායාම කරයිද? සාමාන්‍යයෙන් යෝග ව්‍යායාමයක් කරන්නේ දහඩිය පොඩ්ඩක් හෝ වගුරවන්න නමුත් ඔහු යෝග කරන්නේ ඒ. සී. දමාගෙන. මේ නායකයෝ එහෙම තමයි. ඔවුන්ට ජනතාවගේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ. ඔවුන් දන්නේ ජනතාවගේ ධනය සොරකම් කිරීම පමණයි.

ජනතාව මහ පාරේ මැරෙනවා. දරුවාට අධ්‍යාපනය අහිමිවෙලා. අති බහුතරයකට ජීවත්වීමේ මාර්ග ඇහිරිලා. මේ තත්ත්වයෙන් තවදුරටත් අපි ඉවසිය යුතුද? අපේ රටේ ජනතාව ඒ තරම් නිවට නැති බව අපි හොඳින් දන්නවා. මෙයට එරෙහිව අපි සටන් කළ යුතුයි.

මෙම රට ගොඩනැංවිය හැක්කේ කෙසේද? පැරැට්ලා අවා වගේ මොළ හත ආවා වගේ දියසෙන් කුමාරවරු එන්නේ නැහැ. ඒ වගේම ඉන්දියාව ඇවිත් අපේ රට ගොඩදායි කියලා සමහරු හිතනවා. එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිත් රට ගොඩගනීවි යැයි ඇතැමුන් හිතනවා. එහෙම වෙන්නෙත් නැති බව සිහි තබා ගත යුතුයි. ඇත්තටම රට ගොඩනැඟිය හැකි වන්නේ රටේ සමස්ත ජනතාව වසර දෙකතුනක් රට ගොඩ ගන්නවා යන අවංක හැඟීමෙන් අප්‍රතිහත ධෛර්යයෙන් වැඩ කිරීමෙන් පමණයි.

ඉන්දියාව, ජපානය, රුසියාව ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල රට ගොඩගනීවි යැයි කිසිසේත් සිතන්න බැහැ. එහෙම රටවල් වෙනත් රටවල් ගොඩදාන්නේ නැහැ. හැබැයි ලෝකෙ රටවල් ජාත්‍යන්තර රටවල සහාය ලබා ගත යුතුයි. වැටී ඇති රට ගොඩනැඟිය හැක්කේ රටේ ජනතාවට පමණයි. අපි සියල්ලෝම වෙහෙස මහන්සි වෙන්න වෙනවා.

තෙල් ඇමැති ඉන්නවා. ෂෙඩ්වල තෙල් නැහැ. කෘෂිකර්ම ඇමැති ඉන්නවා ගොවියාට පොහොර නැහැ. අධ්‍යාපන ඇමැති ඉන්නවා දරුවන්ට අධ්‍යාපනය නැහැ. රාජ්‍ය පරිපාලන ඇමැති ඉන්නවා රාජ්‍ය සේවකයාට වැඩ නැහැ. මෙහෙම තත්ත්වයක් තුළ ආණ්ඩුවක් කුමකටද? පාසල් වහන්න, ෂෙඩ් වහන්න, රජයේ කාර්යාල වහන්න, පොහොර නොදෙන්න ඇමැතිවරු වැඩක් තිබෙනවද? මේ වගේ ආණ්ඩුවකින් රටක් ගොඩ ගන්න කිසිසේත් බැහැ.

මේ රට ගොඩදාන්න අප ලෑස්තියි. ගෝඨාභය රනිල් අපට ආණ්ඩුව භාර දෙනවා නම් රට හදන්න අප ලෑස්තියි. අපට මෙම ආණ්ඩුව දෙන්න අපි කැමති කැබිනට් මණ්ඩලයක් පත්කරගන්න අපිට ඉඩ දෙන්න. ජාතික ජන බලවේගයේ අපිට පාර්ලිමේන්තුවේ තව පහළොවක් විස්සක් එකතු කරන් ආණ්ඩුවක් හදන්න දෙනවා නම් අප රට හදනවා. අද ආණ්ඩු හදලා හෙට ප්‍රශ්නය විසඳනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් රටේ ප්‍රශ්නය විසඳන්න ක්‍රියාමාර්ගයක් අපි අනිවාර්යෙන්ම ගන්නවා.

ජනතාව මහ පාරේ මිය නොයන රටක් හදන ක්‍රියාමාර්ගයක්, විනාශය වළක්වන ක්‍රියාමාර්ගයක් ගොඩනඟන්න අපට පුළුවන්. එයට අප සූදානම්.

මෙරට පාලනය කළ පාලකයන් රටේ ධනය හොරකම් කර ඇති බව ලෝකය පුරා මාධ්‍ය වාර්තා කරනවා. ඇමෙරිකාවේ හැමිල්ටන් රිසව් බැංකුව ණය අයකර ගැනීම් සම්බන්ධයෙන් අප රටට එරෙහිව එරට නඩුවක් පවරනවා. එහිදී පාලකයන් ඩොලර් හොරකම් කර ඇති ආකාරය සඳහන් කර තිබෙනවා. බැසිල් රාජපක්ෂ ඔවුන් හඳුන්වා දී තිබෙන්නේ මිස්ටර් ටෙන් ප්‍රසන්ට් කියලා. අද ගෑස්, තෙල්, බෙහෙත්, ආහාර නැත්තේ ඩොලර් හිඟකම නිසා. ඩොලර් නැත්තේ කුමක් නිසාද? ඒ අපේ පාලකයන් ඒවා හොරකම් කර ඇති නිසයි. මේ ඇත්ත ජනතාව තේරුම් ගත යුතුයි.

අප රටේ චෞර කණ්ඩායම් දෙකක් මේ රටේ ජනතාවගේ ධනය මාරුවෙන් මාරුවට කොල්කා තිබෙනවා. මෙය වහා වෙනස් විය යුතුයි. අප රටට වංචාවෙන් දූෂණයෙන්, නාස්තියෙන් තොර දේශපාලනයක් අවශ්‍යයි. එය කළ හැක්කේ කාටද? එය කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බව අප සහතික කර කියා සිටිනවා. අපි ජනතාවගේ සතයක් හොරකම් නොකළ මිනිස්සු. මේ වේදිකාවේ සිටින අපගේ ආචාර්ය, මහාචාර්යවරුන්ට අර්බුදය හමුවේ වුවත් තම දූ දරුවන්ට කන්න බොන්න දෙන්න පුළුවන්කම තිබෙනවා. නමුත් ඔවුන් අප හා එක්වන්නේ රටේ ජනතාව වෙනුවෙන්. අප නිවට ජනතාවක් නොවන බව පෙන්වන්න ඕනෑ. තෙල් පෝළිමක මියැදෙන මිනිස්සු, බෙහෙත් නැතිව මියයන මිනිස්සු, සාමාන්‍ය මරණ නොවෙයි. මේ සියල්ල ඝාතනයන්. ඊට එරෙහිව අපි නැඟී සිටිය යුතු නැද්ද? එය තවදුරටත් දරාගත යුතු නැහැ. රට අලුත් පරිවර්තනයකට යා යුතුයි. මහජනතාවගේ හොරා කෑ මුදල් නැවත පවරා ගත යුතුයි. මේ සියල්ල හදන්න නායක්තවය දෙන්න අප සූදානම්. බෙදී සිටියා ඇති. පාට, පක්ෂ ඇතුළු බේදවලින් මිදී එක පොදියක් ලෙස වැඩ කරමු අපි එක්වී මේ රට හදමු.

මෙහිදී අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති, ජාතික ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය.

රනිල්ට, ගෝඨාභයට බැරි බව අපි කිව්වා. එය දැන් ඔප්පු වෙලා. ඒ නිසා තවදුරටත් ඔවුන්ට බලයේ ඉන්න බැහැ. රටේ ප්‍රශ්න වංගු දමා මඟහරින්න හදනවා නම් අපි අනිවාර්යෙන්ම ඔවුන්ව පන්නා දමනවා. අප අනුරාධපුරයෙන් මේ සටන පටන් ගත්තේ ඒ සඳහායි. ගෝඨා රනිල් පූට්ටු ආණ්ඩුව රට තව තවත් අගාධයට ඇද දමමින් තිබෙනවා. ඒ නිසා ජනතාවට තීරණයක් ගන්න වහා ඉඩ ලබා දිය යුතුයි. දැන් රටට ඇති විසඳුම ගෝඨා රනිල් ආණ්ඩුව පන්නා දැමීමයි.

වත්මන් ආණ්ඩුව දිනපතාම ජනතාව කොල්ලකමින් සිටිනවා. ඒ අතරේ රටේ දරු පරපුරේ අධ්‍යාපනය වසර දෙකක් තිස්සේ අහිමි කරමින් සිටිනවා. දරුවන්ට අධ්‍යාපනය දෙන්න බැරි, ගොවියාට තෙල් පොහොර දෙන්න බැරි, ජනතාවට ආහාර බෙහෙත් දෙන්න බැරි ආණ්ඩුවකට රට පාලනය කරන්න අයිතියක් නැහැ. ඒ නිසා කනෙන් ඇදලා එළියට දාන්න කලින් බැහැලා පලයල්ලා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment