අපදව්‍යවලින් තොරව මුහුදු වෙරළ සුරකිමු

728

සුන්දර වෙරළ තීරයක් රටකට ආභරණයකි. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලි ලත් රටක් වන මේ සිරි ලකට නම් එය නිකම් ආභරණයක් නොව මුතු ඇමණු ආභරණයක්මය. එහෙත් අමුතුවෙන් කිවයුතු නැතත් මේ මුතු ඇමණූ ආභරණය කිළිටි කරන්නෝද අපමය. ලොව හොඳම ස්වාභාවික සුන්දරත්වයෙන් පිරි මුහුදු වෙරළ කීපයක් අප රටේ පිහිටියද ඒ සුන්දර බව අසුන්දර කරන්නේ ද අපමය. 2019 වසරේ සුප්‍රකට ෆෝර්බ්ස් සඟරාව දක්වන පරිදි ලොව සුන්දරම මුහුදු වෙරළ පිහිටා තිබෙන්නේ ග්‍රීසියේය. අනතුරුව ඔස්ටේ්‍රලියාව, පිලිපීනය, බ්‍රසීලය, මෙක්සිකෝ, තායිලන්තය සහ වියට්නාමය ද වෙයි.

අපදව්‍යවලින් තොරව මුහුදු වෙරළ සුරකිමු

ආසියාතික රටවල් කිහිපයක් ද ඒ අතර නමක් දිනා ගෙන සිටීම හොඳ කාරණයකි. එහෙත් මුදු සුමුදු සුසිනිදු සුදු වැල්ලකින් හෙබි ශ්‍රී ලංකා වෙරළ තීරය ද ඒ සටහනේ පෙරමුණේ පසුවිය යුතු මුහුදු තීරයකි. ඒ ගෞරවය කෙළෙසී ඇත්තේ අප අත ඇති වරද මතය. අප අතේ ඇති ඒ වරද ඇතැම්විට ඔබ තොල ගා ඉවතට විසි කරන බීර ටින් එකක් යැයි කීවොත් ඔබ පුදුම නොවන්න. ක්‍රි.ව. පස්වන සියවසේදී ඉන්දියාවේ සිට මෙරටට පැමිණි විජය රජතුමා අප මුහුදු තීරය දෙස බලා ඇඟිලි වලින් ස්පර්ශ කර එහි ඇති වර්ණය අනුව මෙරට තම්බපණ්ණි ලෙස සැලකූ බව ඉතිහාසයේ දැක්වේ. එයට නම වැටුණේ ඒ මුහුදු වැල්ලේ තිබුණු තඹ පාට නිසාය. බැරි වෙලාවත් විජය රජතුමා අද වැනි දිනක මෙරටට ගොඩ බැස්සේ නම් මේ රටට තම්බපණ්ණි කියා නොව මේ මුහුදු වෙරළේ තැන තැන ඇති බියර් ටින්, බීම ටින් ඇතුළු හිස් කෑන් ගොඩ දැක මෙරට ඇලුමිනියම් රාජ්‍ය හෝ ඇලුමිනියම් දිවයින ලෙස නම් කරනු ඇත.

ඒ ඇලුමිනියම් රාජ්‍යයෙන් සහ ඒ හරහා සිදු වන මහා පරිසර දූෂණයෙන් මිදුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කර අප මේ මුහුදු වෙරළ රැක ගත යුතුය. එය ලස්සන කළ යුතුය. මෙරට පරිසරය රැක ගැනීම පිණිස සිටින පරිසර අධිකාරිය ඊට පළමු පියවර තබා ඇත. වන අරණ සංවිධානය ඒ සඳහා වසර තුනක සිට දායකත්වය ලබා දෙයි. මේ දෙපාර්ශ්වය වසර තුනක් තිස්සේ කරගෙන එන මුහුදු වෙරළ සුරැකීමේ වැඩසටහනට මේ වසරේ සිට තවත් පාර්ශ්වයක් අත්වැල් බැඳගෙන සිටී. ඒ මෙල්ටින් පොයින්ට් නම් ව්‍යාපෘතියයි. මධ්‍යම පරිසර අධිකාරියේ මගපෙන්වීමෙන් ස්ථාපිත මෙල්ටින් පොයින්ට් (Melting Point) ඇළුමිනියම් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය සහ වන අරණ සංවිධානය එක්ව දැන් කොළඹ වෙරළ පිරිසිදු කිරීම සිදු කරයි. “ලස්සන වෙරළ” ලෙස එම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව පසුගිය 04 වැනිදා ගල්කිස්ස වෙරළ තීරයෙදී පවත්වන ලදි. ගල්කිස්ස සිට කොළඹ වරාය නගරය දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීම සිදුකරන මෙම ව්‍යාපෘතිය සඳහා කොළඹ වරාය නගරය, පරිසර පොලිසිය, වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව සහයෝගය ලබාදෙයි.

අපදව්‍යවලින් තොරව මුහුදු වෙරළ සුරකිමු

මෙල්ටින් පොයින්ට් (Melting Point) යනු ඇළුමිනියම් ප්‍රතිචක්‍රීකරණය මගින් විසිතුරු දෑ ඇතුළු විවිධ භාණ්ඩ නිපදවන ව්‍යාපෘතියක් වන අතර ලස්සන වෙරළ වැඩසටහන හා එක්වීම තුළින් පරිසර දූෂණය අවම කිරීම සහ සිය ව්‍යාපෘතිය වැඩි දියුණු කිරීමත් බලාපොරොත්තු වන බව එම ව්‍යෘපෘතියේ ප්‍රධානි කීර්ති කණහැරආරච්චි මහතා සඳහන් කරයි.

“ඇළුමිනියම් ප්‍රතිචක්‍රීකරණයට සම්බන්ධ විවිධ ආදායම් මාර්ග තුළින් ලංකාවෙ සිය දහස් ගණනක් ජීවත් වෙනවා. අපේ ව්‍යාපෘතියට අවශ්‍ය ඒ අයට සවියක් වන්න. අපි තුන් ආකාරයකින් ඒ අයට උදව් කරනවා. ඒ ඇළුමිනියම් සපයාදීම, මේ කර්මාන්තයට අවශ්‍ය නවීන තාක්ෂණය හඳුන්වාදීම සහ මේ තුළින් නිපදවන භාණ්ඩවලට වෙළෙඳපොලක් නිර්මාණය කිරීමට සහය දීම යනාදි වශයෙන්. මේ වෙරළ තීරයෙන් එකතු වන ඇළුමිනියම් තුළින් නිපදවන භාණ්ඩයක් නැවත මේ වෙරළ තීරයෙදීම සංචාරකයන්ට අලෙවිකර විදේශ විනිමය ගෙනෙල්ලා රටේ ආර්ථිකයට දායක වෙන්න පුළුවන්. අපි මේ කර්මාන්තය වැඩිදියුණු කරන්න දැඩි කැපවීමකින් කටයුතු කරන්නේ ඒ නිසයි. ඒ වගේම අපි මේ සියල්ල සිදුකරන්නේ කිසිදු ලාභයක් අපේක්ෂාවෙන් තොර සමාජ සුබසාධන ව්‍යෘපෘතියක් ලෙසයි”

කීර්ති කණහැරආරච්චි මහතා එසේ දැක් වූ අදහස් පිළිබඳ විමසා බැලීමේදී අපට තවදුරටත් පැහැදිලි වන්නේ මධ්‍යම පරිසර අධිකාරිය, වන අරණ සංවිධානය සහ මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතිය එකතුව සිදුකරන මෙම ලස්සන වෙරළ වැඩසටහන ගල්කිස්සේ සිට කොළඹට මතු නොව රටේ සමස්ත වෙරළ තීරයට ම අවැසි වැඩසටහනක් බවය. අප රට වටා ඇති මේ සුන්දර මුහුදු වෙරළට පියවර තබන ඔබ එය අපවිත්‍ර වී ඇති අයුරු පිළිබඳ සාක්ෂි ඔබේ දෙනෙතින් දැක ඇත. අප රටේ ලස්සනම මුහුදු වෙරළ කිහිපයක් ලෙස හැඳින්වෙන මනිල්කාඩු, නිලාවේලි, ආරුගම්බේ ආදී මුහුදු වෙරළ ද මේ ටින් බෙලෙක්ක උවදුරෙන් විනාශ මුඛයට ගමන් කරමින් ඇත. ඩොලර් අර්බුදය නිසා රට ගොඩනැගීමට තිබෙන ප්‍රධාන විසඳුමක් ලෙස සැලකෙන අපේ රටේ සංචාරක ව්‍යාපාරයේද වඩාත් ආකර්ෂණීය අංගයක් වන

ශ්‍රී ලංකාවේ සුන්දර මුහුදු තීරය රැක ගැනීම අප සතු මහත් වගකීමකි. ඒ ඉටු කරන වගකීමෙන් රටට ලැබෙන තවත් ප්‍රතිලාභයක් ලෙස මේ ඇලුමිනියම් කර්මාන්තය දියුණු වීම ද දැක්විය හැක. එසේම ඇලුමිනියම් නිපදවීමට යොදා ගන්නා බොක්සයිඩ් නම් පාෂාණ වර්ගය අප ලබාගන්නේ පතල් කැණීම් මගිනි. ඉවතලන ඇලුමිනියම් ප්‍රයෝජනයට ගන්නේ නම් ඒ පතල් කැණීම නතර වනු ඇත. එසේම ඔබ අද මුහුදු වෙරළේ තැන තැන දමන ටින් කෑන් වලින් සිදුවන්නේ වෙරළ තීරය අපිරිසිදු වීම පමණක් නොව. එම ඇලුමිනියම් වල ඇති විෂ කාරක වලින් ජලජ මත්‍යසයින්ගේ ජීවිත වලට ද හානි වීමකි.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනි ලහදපුර, ලයන් බෲවරි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි රජීව් මීවක්කල, වන අරණ සංවිධානයේ සභාපති සංජක ප්‍රසාද් දොලේවත්ත සහ එම සංවිධානයේ ලේකම් තුෂාර වනසිංහ ඇතුළු මහත්ම මහත්මීහු රැසක් ලස්සන වෙරළ වැඩසටහනට දායකත්වය මතු නොව සිය සහභාගීත්වය ද ලබා දුන්හ.

ඇළුමිනියම් ප්‍රතිචක්‍රීකරණයට සම්බන්ධ විවිධ ආදායම් මාර්ග තුළින් ලංකාවෙ ජීවත් වන පවුල් සිය දහස් ගණනකට මෙමගින් සවියක් වනු ඇත. කීර්ති කණහැරආරච්චි මහතා එහිදී මෙසේද සඳහන් කළේය. “භාණ්ඩ නිෂ්පාදකයන්ට ඇළුමිනියම් සපයාදීම, කර්මාන්තයට අවශ්‍ය නවීන තාක්ෂණය හඳුන්වාදීම සහ මේ තුළින් නිපදවන භාණ්ඩවලට වෙළෙඳපොළක් නිර්මාණය කිරීම මෙහිදී අප විසින් සිදු කරනවා. මේ වෙරළ තීරයෙන් එකතු වන ඇළුමිනියම් තුළින් නිපදවන භාණ්ඩයක් නැවත මේ වෙරළ තීරයේදීම සංචාරකයන්ට අලෙවි කර විදේශ විනිමය ගෙනැවිත් රටේ ආර්ථිකයට දායක විය හැකි බව ප්‍රායෝගිකව පෙන්වාදීම අපගේ උත්සාහයයි. ඇලුමිනියම් කෑන් වර්ග පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. ඉවත දමන කෑන් වලින් 85% සිට 90% දක්වා ප්‍රමාණයක් මේ වන විට ප්‍රතිචක්‍රීකරණය කරනවා. අපි බීලා ඉවත දාන බියර් ටින්, බීම ටින්, සැමන් ටින්, වගේ ඇළුමිනියම් එකතු කරන්නේ අපේම රටේ අහිංසක මිනිස්සු. ඉවත දමන කෑන් 50 ක් හෝ 60 ක ප්‍රමාණයක් ඇලුමිනියම් කිලෝ එකකට ඇතුළත් වෙනවා. ඇලුමිනියම් කිලෝ එකක මිල රුපියල් 100 ත් 120 ත් අතර ප්‍රමාණයක් වෙනවා. පාරේ, බාර් ළඟ වැටිලා තියෙන බීර් කෑන් එකතු කරගෙන ගිහිල්ලා මේ කෑන් වර්ග වෙන් කරනවා. වෙන් කරලා ඒවා ප්‍රතිචක්ක්‍රීකරණය කරන ස්ථානවලට විකුණලා මේ මිනිස්සු එදා වේල කන්න තමන්ගේ ජීවිතය ගැට ගහගන්න කීයක් හරි හොයා ගන්නවා. තවත් සමහරක් අය මේ කෑන් එකතු කරගෙන ගිහිල්ලා එදිනෙදා භාවිතය සඳහා උපකරණ හදලා ඒවා විකුණලා කීයක් හරි හොයා ගන්නවා. තවත් සමහර අය විසිතුරු භාණ්ඩ හදලා ඒවා වෙළෙඳපලේ අලෙවි කරනවා. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයෝ අතර ලොකු ඉල්ලුමක් නැති වුණාට විදේශිකයන් අතර මේ අළුමිනියම් නිෂ්පාදනවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. හිතන්න, ඔබ.. මම.. අපි හැමෝම බීලා විසි කරන බියර් කෑන් එකෙන්, බීම කෑන් එකෙන්, කඩලා විසි කරන සැමන් ටින් එකෙන් ජීවත් වෙන මිනිස්සු මේ රටේ කොච්චර ඉන්නවද?

ඔයත් පාවිච්චියට අරගෙන ඉවත් කරන ඇලුමිනියම් භාජන, කෑන්, ටින් තියෙනවනම් ඒවා තැන තැන විසි කරන්න එපා. පාරේ හැම තැනම දාන්න එපා. ඒ පුංචි දේ කෙනෙකුගේ බඩගින්න නිවන්න සෘජුව හෝ වක්‍රව බලපානවා කියලා මතක තියාගන්න.” මේ පණිවිඩය රටට වටිනා බව ඔබටද වැටහෙනවා ඇත. ඔබ අප අවට පරිසරය රැක ගැනීම, පිරිසිදුව තබා ගැනීම මතු නොව අපේ මුහුදු වෙරළ ද පිරිසිදුව තබා පිරිසුදුව තබා ගැනීම සෑම අතින්ම හොඳ තත්ත්වයකි. ඇලුමිනියම් රාජ්‍යයෙන් මිදී ඉන්දියන් සාගරයේ මුතුඇටය එවිට යළි සොයා ගත හැකි වනු ඇත.

සුමිත් මානවඩු

advertistmentadvertistment
advertistmentadvertistment