අපනයනය සීමා වීමෙන් කොහු කර්මාන්තයත්  පණඅදී: මෝල් 200 ක් දැනටමත් වහලා

367

රු. 40 ට තිබ්බ කොහු කෙඳි කිලෝව 18 ට බැහැලා

ප්‍රවාහන සහ අපනයන ගාස්තු ඉහළ දැමීමෙන් අපනයනය අඩුවෙලා

කොහු කෙඳි අපනයනය කිරීම සීමා වී ඇති නිසා මේ වනවිට කොහු කෙඳිවල මිල විශාල වශයෙන් පහත වැටී ඇති බැව් දකුණු පළාතේ කොහු මෝල් හිමියන් පවසති.

රු. 40 ට පැවති කොහු කෙඳි කිලෝවක මිල මේ වනවිට රු. 18 – 20 දක්වා පහත වැටී ඇති බව පෙන්වාදෙන කොහුමෝල් හිමියෝ මේ තත්ත්වය නිසා තමන් ගැටලු රැසකට මුහුණදෙන බව පවසති. දකුණු පළාතේ කොහු මෝල් 275 ක් පමණ තිබෙන බවත්” මින් 200 ක් පමණ දැනටමත් වසාදමා ඇති බැව් දකුණු පළාත් කොහු නිෂ්පාදන සංගමයේ භාණ්ඩාගාරික ඩබ්ලිව්. ඩී. ධම්මික සුජිත් කුමාර මහතා පවසයි.

කොහු කෙඳි අපනයනය සීමාවීම නිසා මෙරටට ලැබිය යුතු ඩොලර් විශාල ප්‍රමාණයක් අහිමි වී ඇති බවද ධම්මික මහතා පෙන්වා දෙයි. මේ පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීවේය. “මෙරටට ඩොලර් උපයා දෙන්නේ සංචාරක කර්මාන්තයෙන් පමණක් නෙවෙයි. කොහු නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තවලිනුත් මෙරටට විශාල වශයෙන් ඩොලර් උපයා දෙනවා. කොහු මෝලක ප්‍රධාන නිෂ්පාදනය තමයි කොහු කෙඳි. මේවායෙන් සියයට 90 ක් විතර අපනයනය කරනවා. ඉන්ධන අර්බුදය සහ අපනයනයට වැයවන ගාස්තු ඉහළ යෑමෙන් කොහු කෙඳි අපනයනය සීමාවෙලා.

කොහුබත්වලට නම් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉන්ධන අර්බුදය නිසා කොහුබත්” පොල්ලෙලි හා කොහු ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවාහනය කරගැනීමට නොහැකි වෙලා. ප්‍රවාහන ගාස්තුත් විශාල වශයෙන් වැඩිවෙලා” යැයිද දකුණු පළාත් කොහු නිෂ්පාදන සංගමයේ භාණ්ඩාගාරිකවරයා සඳහන් කළේය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment