අපරාදෙ කාලය හා වියදම: ප්‍රශ්න ඇසූ මන්ත්‍රීවරුවරුත් නෑ පිළිතුරු දෙන්න ඇමැතිවරුත් නෑ

164

මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට විෂයභාර ඇමැතිවරු මෙන්ම ප්‍රශ්න විමසූ ඇතැම් මන්ත්‍රීවරුද ඊයේ (13) පාර්ලිමේන්තු නොපැමිණීමෙන් දෙපාර්ශවය අතර මතබේදාත්මක තත්ත්වයක් ඇති විය.

මීට පෙර මන්ත්‍රීවරු විමසූ එහෙත් පිළිතුරු ලබා ගැනීමට නොහැකි වූ ප්‍රශ්න 49ක් විමසීම සඳහා පාර්ලිමේන්තු විශේෂ දිනයක් ලෙස ඊයේ දින රැස්වූ අතර එහිදී ප්‍රශ්නය විමසූ ඇතැම් මන්ත්‍රීවරු මෙන්ම අදාල පිළිතුරු දීමට ඇමැතිවරුද සභාවට පැමිණ සිටියේ නැත.

මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තු රැස්වීම පුරා පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේම අදහස් විටින් විට පළ වූ අතර ඇතැම් මන්ත්‍රීවරු සිය ප්‍රශ්නයට පිළිතුරු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් උදේ වරුවේ සිට සිය අසුනට වී සිටියද පිළිතුරු ලබා දීමට නිසි වෙලාව පිමිණෙන විට එම ප්‍රශ්නයට උත්තර දීමට ඇතැම් විට ආණ්ඩුව කල් ඉල්ලා සිටිනු ලැබීය. එබැවින් දුර බැහැර සිට පැමිණි තමන් හට එලෙස කල් ඉල්ලීම දැඩි අසාධාරණයක් වන බැවින් පිළිතුරු නොදෙන්නේ නම් ඒ සම්බන්ධයේන උදේ වරුවේම දැනුවත් කරන්නැයිද විපක්ෂ මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් එවැනි දැනුවත් කිරීමක් නොවුනු අතර විමසා තිබූ ප්‍රශ්න බොහොමයකට අදාළ ඇමැතිවරයා වෙනුවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසින් පිළිතුරු දීමට සිදුවීම පිළිබඳවද විපක්ෂයේ අප්‍රසාදය පලවිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ ප්‍රශ්නයක් විමසීමට පැයකට අධික කාලයක් වැය කිරීම තුළින් ඊයේ උදේ වරුවේ පැයක පමණ කාලයක් නාස්ති කළ බවත් ඒ අතරතුර ඇතැම් ඇමැතිවරු අත්‍යවශ්‍ය රාජකාරි වෙනුවෙන් සභාවෙන් පිටව ගිය බවද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කීය.

මේ අතර පිළිතුරු දීමට ඇමැතිවරු මෙන්ම ප්‍රශ්නය විමසා තිබූ මන්ත්‍රීවරු නොපැමිණ තිබීමද ආණ්ඩු පක්ෂයේ අවධානයට ලක්වූ අතර 32 වැනි ප්‍රශ්නය විමසන අවස්ථාව වන විට එලෙස ප්‍රශ්න ඇසූ මන්ත්‍රීවරු 14කු පැමිණ නැතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය.

කෙසේවෙත්ත න්‍යාය පත්‍රයට ඊයේ දින ඇතුලත් තර තිබූ ප්‍රශ්න 49 සඳහා පිළිතුරු දී අවසන් කිරීම කල් ඉල්ලා සිටීම හෝ සභාගත කිරීම වෙනුවෙන් ඊයේ උදේ 9.30 ට පාර්ලිමේන්තුව සවස 03 වන විට අවසන් කෙරිණ.

පාර්ලිමේන්තුව යළි ලබන වසරේ (2023) ජනවාරි මස 05දා උදේ 9.30ට රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment