අපරාධකරුවන්ගේ වගතුග අජිත් රෝහණ ජාත්‍යන්තර පොලිස් සමුළුවට කියයි

367

රට පැන්න පාතාලයන් 20 ක් ගෙන්වයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවල නිරතවෙමින් විදෙස්වල සැඟවී සිටින දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් 20 දෙනකු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාරදීමට ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර පොලිස් සමුළුවේදී එකඟ වී ඇත.

රටවල් 194 ක පොලිස්පතිවරුන් නියෝජනය කරමින් ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පැවැති ජාත්‍යන්තර පොලිස් සමුළුවේදී මෙම පාතාල අපරාධකරුවන් පිළිබඳව සාකච්ඡාවට ගත් අතර ඩුබායි සහ ඉන්දීය පොලිස් ප්‍රධානීන් මොවුන් එම රටවලින් පිටුවහල් කිරීමට පොරොන්දු වී තිබේ.

ජාත්‍යන්තර පොලිස් සමුළුව නියෝජනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ යන මහත්වරු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූහ.

මෙරට පාතාල නායකයන් පිළිබඳව මෙන්ම ඔවුන් වෙනත් රටවල සැඟවී සිටිමින් සිදු කරන අපරාධ පිළිබඳව අජිත් රෝහණ මහතා විසින් එහිදී ජාත්‍යන්තර පොලිස් සමුළුවට පැමිණි පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇත.

ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් හෙරොයින් සපයන ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෙන් 11 දෙනකු ඩුබායි හි සැඟවී සිටින බවත් තවත් ජාවාරම්කරුවන් 9 දෙනකු ඉන්දියාවේ සැඟවී සිටින බවත් අජිත් රෝහණ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

එම සමුළුවට සහභාගි වූ ඉන්දීය සහ ඩුබායි පොලිස් ප්‍රධානීන් පොරොන්දුවී ඇත්තේ ඉතාම කෙටි කාලයක් තුළදී මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන රටවලින් පිටුවහල් කර ශ්‍රී ලංකාවට භාර දෙන බවයි.

මෙම අපරාධකාරයන් සම්බන්ධයෙන් මේ වන විටත් ජාත්‍යන්තර පොලිස් රතු වරෙන්තු නිකුත් කර තිබෙන බවද අජිත් රෝහණ ඩුබායි සහ ඉන්දීය පොලිස් ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත.

මෙහිදී ජාත්‍යන්තර පොලිස් සමුළුවට පැමිණි පොලිස් ප්‍රධානීන් හමුවේ දේශනයක් පවත්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත්තේ විදේශයන් හි සැඟවී සිටින මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම අපරාධකරුවන් කලාපයේ සියලුම රටවල්වලට තර්ජනයක් බවයි.

ජාත්‍යන්තර පොලිස් සමුළුව ඉකුත් 18 වැනිදා සිට 23 වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නගරයේ දී පැවැත්විණි.

මේ සම්බන්ධයෙන් දිවයින කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ, මෙරට සිදුවන දරුණු අපරාධවලින් වැඩි ප්‍රමාණයක් විදෙස්වල සැඟවී සිටින අපරාධකරුවන් විසින් සිදු කරන බවයි.

මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වුවහොත් මෙරට මත්ද්‍රව්‍ය ජාලය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට හැකි වනු ඇති බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මෙම සමුළුවට සහභාගී වීමෙන් ශ්‍රී ලංකා පොලිසියට විශාල ප්‍රතිලාභයක් ලබා ගැනීමට හැකි වූ බවද ඒ මහතා පැවසීය.

නෝමන් පලිහවඩන සහ හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment