අපරාධකාරයාට පෙර හිරගෙදර පුනරුත්ථාපනය කරමු

921

ලෝකයේ ‘අයිස්’ අගනුවර බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව ජාත්‍යන්තර පොලිසිය පවසන්නේ යැයි ඊයේ ‘දිවයිනේ’ පළවී ඇත. මෙයින් හැඟවෙන්නේ අයිස් නමැති මත්ද්‍රව්‍යය ශ්‍රී ලංකාව තුළ බහුල වශයෙන් තිබීමය. මෙහිදී ලෝකය තනි රටක් ලෙස ගෙන ශ්‍රී ලංකාව එහි අගනුවර වශයෙන් අර්ථ නිරූපණය කෙරී තිබේ. මේ වනවිට ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය පුරා ද අයිස් මත්ද්‍රව්‍ය පැතිර යෑමය. තවමත් පාසල් කැන්ටිමෙන් අයිස් ක්‍රීම් මිස අයිස් මත්ද්‍රව්‍යය ලබා ගැනීමේ අවස්ථාවක් ශිෂ්‍ය ප්‍රජාවට නැත. ලංකා ඉතිහාසයේ කවදාවත් පාසල් පද්ධතිය තුළට ගංජා සුරුට්ටු ගොස් නැත. කොකේන් හෝ හෙරොයින් ද ගොස් නැත. එක්ස්ටසි හෙවත් ටැබා නමැති ටැබ්ලට් එක ගිහිල්ලාත් නැත. ශ්‍රී ලංකාවේ පාසල්වල මත්ද්‍රව්‍ය ව්‍යාප්තියක් කිසියම් තැනක සිදුවුණේ නම් ඒ බීඩි හා සිගරට් ගැසීම පමණි. පාසලේ වැසිකිළිය පිටුපසට යන ළමයි එක බීඩියක් පත්තුකර පහළොස් දෙනෙක් පමණ ඉන් දුම් උගුර බැගින් ඉරූහ. සිගරට් එකේ තත්ත්වය ද මෙයයි. ලංකාවේ පාසල් තුළ අරක්කු හෝ කසිප්පු ව්‍යාප්තියක් නැත. හැබැයි අවසාන ඵලයේදී ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යය වූ අයිස් හෙවත් Crystal Meth නමැති රසායනික ද්‍රව්‍ය අපේ පාසල් පද්ධතිය පුරා විසිරෙන්නට පටන්ගෙන තිබේ. අපට කවදත් ලැබෙන්නේ ලෝකයේ ලොකුම එකය. පසුගිය දවසක ලෝකයේ ලොකුම නිල් මැණික් ස්ඵටික පොකුර මැණික් සංස්ථාවට හමුවිය. කොච්චර ලොකු වුණත් ඒ මැණික් පොකුර ගෙවල් සෑදීම සඳහා අත්තිවාරමට දමන කළුගල් තරමටවත් නොවටිනා බව දැන් හෙළිවී තිබේ. එහෙත් අයිස් මත් ද්‍රව්‍යය රත්තරන්වලටත් වඩා මිල අධිකය.

බීඩියේ කික් එක විනාඩි පහක්වත් නොතිබෙයි. අරක්කු වීදුරුවක චූන් එක පැය එකහමාරකට පසු දියවී යයි. ගංජා සුරුට්ටුවක ආතල් එක පැය තුන හතරකට වඩා අදින්නේ නැත. එහෙත් අයිස් කැබැල්ලක් ගැසූ විට එහි සොමිය පැය 24 ට වඩා පවතී. එසේම කෙනෙක් වැඩිම වේගයකින් ඇබ්බැහි වන මත්ද්‍රව්‍යය අයිස්ය.

Methemphetamine හෙවත් මෙත් යනුවෙන් හඳුන්වන අයිස් මත්ද්‍රව්‍ය ගහපු ගමන්ම ක්‍රියාත්මක වෙයි. එහිදී අයිස් ගහන්නාට හිතෙන්නේ තමන් අප්‍රමාණ ශක්තියක් ඇතිව වැඩ කළ හැකි කෙනකු බවය. සාමාන්‍යයෙන් ඕනෑම බාර් එකක අරක්කුවලට කසිප්පු කලවම් කරනු ලැබේ. පිරිසක් අරක්කු බොන්නට ගොස් ක්‍රමයෙන් වෙරි වැඩිවන කල්හි අරක්කු සමග කලවම් කළ කසිප්පු ඔවුන්ට ලබාදීම සිදුවෙයි. මේ කට්ටිය බෝතල් පහ හයක් බොන විට හත්වන අටවන බෝතලය ලෙස එන්නේ ඩයි මිශ්‍ර කළ කසිප්පුය. හෙරොයින් සහ කොකේන් පිළිබඳ තත්ත්වය ද මෙයමය. මේවායේ ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා පැරසිටමෝල් කුඩු හෝ රට හුණු කුඩු මිශ්‍ර කිරීම සිදුවෙයි. කුඩු ගහන එකාට නිතරම සොටු දියර වැගිරෙයි. රට හුණු කුඩු හෝ පැරසිටමෝල් කුඩු මිශ්‍රකර කුඩු ගහන එකාට ටැප් එක ඇරියාක් මෙන් පැය 24 පුරාම සොටු ගැලීම සිදුවෙයි. එහෙත් අයිස් නමැති මත්ද්‍රව්‍ය එසේ මිශ්‍ර කළ නොහැක. එබැවින් මෙය ගහපු ගමන් ක්ෂණිකවත් ඉතා හොඳටත් ක්‍රියාකාරී වෙයි. අයිස් වැඩිපුර ගහන්නට පුරුදු එකාට අවුරුද්දකට වඩා ආයු කාලයක් නැත. අයිස්වලට අන්වර්ථ නම් දහ තුනක් තිබේ. ඒ නිසා ලෝකයේ වැඩිම අන්වර්ථ නම් ප්‍රමාණයක් සහිත මත්ද්‍රව්‍ය අයිස් බවට පත්වෙයි. මෙයට අවුරුදු 10 ට පෙර මේ රටේ ජනතාව අයිස් ගහනවා යනුවෙන් හැඳින්වුණේ වැඩක් නොකර නිකම් සිටීමටය. එහෙත් අද කෙනෙක් අයිස් ගහනවා යැයි කීවිට කව්රුවත් ඒ පැත්ත පළාතකවත් නොසිටිය යුතුය.

අයිස් වැනි මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා නව යොවුන් දරුවන් බන්ධනාගාරගත කිරීම හෝ කඳවුරු තුළ ගාල් කිරීම සිදු නොකොට වෙනම ස්ථාපිත කරන සංවර්ධන අධ්‍යාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන පැල්මඩුල්ලේ පිහිටි මිතුරු මිතුරෝ නමැති විශෝධන මධ්‍යස්ථානයේ නිර්මාතෘ කුප්පියාවත්තේ බෝධානන්ද බෞද්ධ භික්ෂුන් වහන්සේ විසින් රජයෙන් ඉල්ලා ඇත. පොඩි ළමයෙක් බාල අපරාධ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවන ලද කල්හි බොහෝවිට පිටතට එන්නේ සම ලිංගිකත්වයට හුරුවූ පරපීඩකයකු ලෙසය. එයට හේතුව ශ්‍රී ලංකාවේ බන්ධනගාර රැඳවුම් කඳවුරු සහ විශෝධනාගාරවල තත්ත්වය කිසිදු ප්‍රමිතියකින් තොර වීමය. කුඩා ගැහැනු ළමයින් සහ පිරිමි ළමයින් වැඩිහිටි සල්ලාලයින්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා විකුණන බාලක රැඳවුම් මධ්‍යස්ථාන සහ විශෝධනාගාර මේ රටේ බහුලව ඇත. කුඩු ගසා අසුවන ළමයෙක් කුඩුකාරයා යන හැඳින්වීමේ පදයට උරුමකම් කියන අතර එයින් ගැලවීමට ඔහුට සිය ජීවිත කාලය පුරාම නොහැක. මේ නිසා හටගන්නා මානසික පීඩනය සහ පහත් යැයි සම්මත සිතුවිල්ල නිසාවෙන් මේ රටේ විශෝධනාගාරවලින් එළියට එන නව යෞවනයන් වැඩිදෙනා නැවතත් මත්ද්‍රව්‍ය සොයා අලුතින් ගමනක් අරඹති. මේ හා සමාන තත්ත්වයක් සිර ගෙවල්වල ද තිබේ. උදාහරණයක් වශයෙන් පොල් ගෙඩි දෙකක් සොරකම් කිරීම නිසා රිමාන්ඩ් බන්ධනාගාරයට යන කෙනෙක් දඩය හෝ ඇපය ගෙවා ගැනීමට බැරි නිසා අවුරුදු 10 ක් පමණ රිමාන්ඩ් එකේ ලැග අංක එකේ අපරාධකාරයකු ලෙස එළියට එයි. එහිදී ඔහුගේ අපරාධ පාසල වී ඇත්තේ සිරගෙදරය. මෙවැනි අපරාධ පාසල්වලින් සොරකම්, මිනි මැරුම්, ස්ත්‍රී දූෂණ හෝ මත්ද්‍රව්‍ය ඇබ්බැහිකම මැඬීමට නොහැක. එබැවින් ශ්‍රී ලංකාවේ බන්ධන කඳවුරු සියල්ල පුනරුත්ථාපනය විය යුතුය. ලෙඩාට වඩා දරුණු තත්ත්වයක දොස්තර හිටියොත් එහි වාසිය ලබාගන්නේ මාරයා පමණි. අයිස් හෝ කුඩු පිළිබඳ විශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ එයමය.

advertistmentadvertistment
advertistmentadvertistment