අපරාධය හා සමාජ විපත

686

අපරාධය හා දඬුවම නවකතාව ලොව අංක එකේ නවකතාවක් ලෙස පිළිගන්නා බව රහසක් නොවේ. ඇමෙරිකාව, බි්‍රතාන්‍යය වැනි රටවල දොස්තයෙව්ස්කි අධ්‍යයන පීඨ පවා පිහිටුවා ඇත. බොහෝ රටවල අපරාධ විද්‍යාව හදාරන හැම කෙනෙක් ම ‘අපරාධය හා දඬුවම’ කියවිය යුතු බවට නිර්දේශ කර තිබේ. එහෙත් අප අද කතා කරන්නේ රැස්කොලනිකොව් ගේ මිනීමැරුම් ගැන නම් නොවේ. මෙරට අපරාධ වැඩිවීම පිළිබඳවය. මෙරට අපරාධ සංඛ්‍යාත්මකව මෙන්ම කෘරත්වය අතින්ද වර්ධනය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. නිතිපතා ජනමාධ්‍ය හරහා අසන්නට ලැබෙන තොරතුරු සිත් කම්පා කරවන සුලුය. පසුගිය දින කිහිපය පුරාම අසන්නට දකින්නට ලැබුණේ බිහිසුණු පුවත්ය. ‘මිනීමැරුම’, ‘හාරලක්ෂ මංකොල්ලය’, ‘රංජිනී කැබ්ස් රියැදුරාගේ මරණය’, ‘ඇඩ්ලින් හේවාවිතාරණ මිනී මැරුම’, ‘බණ්ඩාරනායක අගමැති ඝාතනය වැනි’ අපරාධ එදා කවි කොළකාරයන් දිවයින පුරා ගමින් ගමට විසුරුවා හැරි බව අප දනිමු. එහෙත් එදා අද මෙන් පැයෙන් පැයට අපරාධ සිදුවූයේ නැත. මිනීමැරුමක් – ආරවුලක් සිදු වුණේ ඉඳ හිටය. ස්ත්‍රී දූෂණ – ළමා බාල අපරාධ අසන්නට ලැබුණේ ඉතා කලාතුරකිනි. නමුත් අද විපරීත සමාජයක් දක්නට ලැබේ. ධර්මද්වීපය නැතිනම් බුදුන් වැඩිය දේශය කියා හඳුන්වා ගන්නට බැරි තරම් මහා භයානක මිනීමැරුම් මංකොල්ලකෑම් – අපරාධ දිනයේ පැය විසි හතර පුරාම රටේ කොතැනක හෝ සිදු වේ. අලවතුගොඩ පොලිස් වසමේ තරුණ කත දූෂණය කර මරා දමා නිවස අසල වෙලේ ඔබා ගොයම් හිටවා තිබියදී සොයාගත් පුවතක් ඊයේ අසන්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේද අසල්වැසි පුද්ගලයෙකි. මාරයා නිවාස අසල සිටම මේ රූමත් කත බිලිගෙන තිබේ. කිසිම අපරාධකරුවෙකු නීතියේ රැහැනින් පලා යෑමට ඉඩ දිය යුතු නැත. ලංකාවේ පොලිසියට ඕනෑම අපරාධයක් සොයා ගැනීමට හැකියාව ඇත. නමුත් එසේ නොවුණු අවස්ථාවන්ද ඇති බව පෙනී යන්නේ ශාෆ්ටර් ඝාතනය පිළිබඳව මෙතෙක් පැහැදිලි හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වීම නිසාය. කවරක් නමුත් අපරාධ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ඕනෑවටත් වඩා ප්‍රමාදවීම අපරාධකරුවන්ගේ වාසියට මෙන්ම අපරාධ වර්ධනයට ද හේතුවක් වී ඇති බව අමතුවෙන් කිවයුතු නැත. මේ නිසා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම, සාක්ෂි විකෘතිවීම සහ සැඟවීමට ද අවස්ථාව ලැබේ. අපරාධයකදී අපරාධකරුට දඬුවම් කිරීමෙන් අදහස් කරන්නේ ඔහුට දඬුවමක් දීම පමණක් නොවේ. ඉන් සමාජයට ආදර්ශයක් ලැබිය යුතුය.

පසුගිය දිනක මීගමුව සංචාරක පුරවරයේ මහා මාර්ගයක ගමන් කරමින් සිටි විදේශික කාන්තාවක් හා ඇගේ දියණියට අතවර කිරීමේ උත්සාහයක් ගැන අසන්නට ලැබිණි. මාසයකට ලක්ෂය ඉක්මවා සංචාරකයන් පැමිණෙන සමයක මෙවන් පුවත් අසන්නට ලැබීම ලංකාවේ ප්‍රතිරූපයට කිසිසේත් යහපත් වන්නේ නැත. මීගමුවේ පුවත අසන්නට ලැබුණු වහාම ඒත්තුකාල පොලිසිය වහා ක්‍රියාත්මක වී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. රාත්‍රී ආහාර ගෙන සිය හෝටලයට යමින් සිටි මේ කාන්තාවන් දෙදෙනා අසලට පැමිණි සැකකරුවෝ ලිංගික අතවර කිරීමට උත්සාහ කර තිබේ. බියට පත් මේ කාන්තාවන් දෙදෙනා මහා හඬින් කෑ ගසන විට ඔවුන් පැනගොස් ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලිසිය පැය කිහිපයක් යෑමට මත්තෙන් මේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ. විකෘති මනසින් පෙළෙන මෙවන් පුද්ගලයන් නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදුවන්නේ බලවත් පාඩුවකි. එනිසා පොලිසිය වහාම ක්‍රියාත්මක වීම පැසසිය යුතුය. වේගයෙන් සංචාරක කර්මාන්තය පිබිදෙමින් පවතින විට මෙවන් අමන ක්‍රියා සිදුවීමට කිසිවිටක ඉඩදිය යුතු නැත. සියලු අපරාධ එක රැයකින් හෝ සතියකින් මාසයකින් දුරු කළ නොහැකිය. එය පොලිසියට පමණක් තනියෙන් කළ නොහැක. උද්ගතවන සමාජමය ගැටලු ක්ෂණිකව විසඳිය නොහැකිවා පමණක් නොව රජයට හෝ නීතියට පමණක් විසඳිය හැකි ඒවාද නොවේ. එහෙත් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීමට පහසුවෙන් ගත හැකි පියවර නැත්තේද නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment