අපරාධ සුළිය

1620

අපරාධ සහ පාතාලය හිස එසැවීම වරින් වර සිදුවන්නකි. ඉන් සමාජයේ බරපතළ අර්බුද රැසක් මෙන්ම, බිය – සැක ඇති කර, නිදහසට හා සාමකාමීත්වයට තර්ජන ඇති කරයි. පසුගිය මාස එකොළහේදී මිනීමැරුම් 497ක් සොරකම් 1460ක් හා පැහැර ගැනීම් 3596ක් සිදුව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා හෙළිකර තිබිණි. පැහැර ගැනීම් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 2800 කින් වැඩිව තිබේ. 2021 වාර්තා වූ පැහැරගැනීම් ප්‍රමාණය 835කි. වැඩියෙන් වාහන සොරකම් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. මේ වසරේ මුල් මාස 11 තුළ රටේ සිදුව ඇති බරපතළ සංඛ්‍යාව විසි නවදහස ඉක්මවා තිබේ. අපරාධ ඉහළ යෑම කෙරෙහි මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යෑම කෙළින්ම බලපානා බව අමුතුවෙන් කිව යුතු නැත. රට ආර්ථික අර්බුදයට ලක්ව තිබේ. දේශපාලන අර්බුද සුළිය නිමක් නැත. මෙම පරිසරය තුළ බරපතළ සමාජ කම්පනයක් දෙදරුම් කෑමක් මතුවී තිබේ. ඒ හා සමාන්තරව අපරාධ බහුල වන්නේ නම් එබඳු සමාජයක පැවැත්ම කොතෙක් කලකට ද යන්න තේරුම් ගැනීමද අසීරු නැත. ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය හරහා අවධාරණය කෙරෙන අනෙක් කාරණය වන්නේ මෙම සමාජය තුළ තරාතිරම් බේදයකින් තොරව සෑම පුරවැසියෙකුගේම ජීවිතය බරපතළ අනතුරකට ලක්ව ඇති බවය. මේ ඝාතනය ගැන තවමත් නිසි හෝඩුවාවක් නැත. අපරාධකරුවෝ නිදැල්ලේ හැසිරෙති. එය මහ දවාලේ සිදුකළ ඝාතනයකි. අප රටක් වශයෙන් ගමන් කරමින් සිටින්නේ කෙතරම් අඳුරු දිශාවකටද යන්න අනාවරණය කෙරෙන සිදුවීමකි. එහෙත් වරදකරුවන්ට දැඩි දඬුවම් දීම අනිවාර්යයෙන් කළ යුතුය. මන්ද එසේ නොවන්නේනම් කිසිම පුද්ගලයෙකුට ආරක්ෂිතව විසීමට නොහැකි වේ. බරපතළ ඝනයේ දඬුවම් දීමකින් තොරව වේගයෙන් පැතිරී යන අපරාධ රැල්ල මර්දනය කළ නොහැකිය. මිනිස් සමාජයක් පාලනය කිරීම හා දඬුවම් කිරීම අතර පවතින සම්බන්ධතාව කුමක්ද යන කරුණ කෙරෙහි අවධානය යොමු කිරීම මෙහි දී අවශ්‍ය වේ. මිනිස් සමාජයක් ගොඩනැඟී තිබෙන්නේ තනි පුද්ගලයෙකුගෙන් හෝ පුද්ගලයන් දෙතුන් දෙනකුගෙන් නොවේ. මිනිස් සමාජයක් සමන්විත වන්නේ මිනිසුන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයකගෙන්ය. මේ අය සමානරූපී පුද්ගලයන් නොවේ. මිනිස් වෙසින් සිටිනා යක්ෂයන්ද සිටින බව තහවුරු වන්නේ විවිධ වූ අපරාධ සිදුවන විටදීය. ශාරීරික වශයෙන් මෙන්ම ගතිගුණ හා සිරිත් විරිත් අතින්ද පුද්ගලයන් එකිනෙකට වෙනස් වේ. විවිධත්වය මිනිස් සමාජය හා බැඳී පවතින අනිවාර්ය ලක්ෂණය වේ. මිනිස් සමාජයක් අභිවෘද්ධිය කරා යෑම සඳහා අනිවාර්යයෙන්ම කළයුතු දෙය වන්නේ මිනිස් සමාජය වෙලාගෙන සිටින විවිධත්වය යටපත් කොට අභිවෘද්ධිය කෙරෙහි බලපාන පොදු කරුණු සම්බන්ධයෙන් ඒකීයත්වයක් ගොඩනගා ගැනීමය. අපරාධය සහ දඬුවම එකිනෙකට සම්බන්ධ එකිනෙකින් වෙන්කළ නොහැකි ක්‍රියාවන් දෙකකි. යමෙකු අපරාධයක් කරන්නේ නම් එයට නියමිත දඬුවමටද අපරාධය කරන්නා ලැහැස්ති වී සිටිය යුතුය. මෙරට අපරාධ නීතිය ප්‍රමාණවත් පරිදි සකස් වී ඇත. නමුත් ඒ නීතිය ප්‍රමාණවත් වන්නේ නිවැරැදිව ක්‍රියාත්මක වෙනවා නම් පමණි. නීති තිබෙන බවට ජනයා දැනුවත් වී තිබිය යුතුය. එලෙසම නීතිය ක්‍රියාත්මක වෙන බවට ජනතාවට විශ්වාසයකුත් ඇති වීම අනිවාර්ය වේ. සමාජය වඩාත් ප්‍රීතිමත් වන්නේ බියක් සැකක් නොමැති සාමකාමී පරිසරයකය. අද අත්විඳින්නේ මරණ බයෙන් තැති ගැන්මෙන් ජීවත්වන වටපිටාවක්ද? සමාජයකට අත්වීමට ඊටත් එහා ගිය විනාශයක් නැත. අප සමාජය අද අත්විඳිමින් සිටින කටුක යථාර්ථය එය ය. එනිසා මේ අපරාධකරුවන් මැඬලීමට කිසිම විටක පසුබට විය යුතු නැත.

advertistmentadvertistment
advertistmentadvertistment