අපවත් වී වසර සියයක් සපිරෙන විදුදය පිරිවෙන්පතිව වැඩ සිටි මහගොඩ ඤාණිස්සර නාහිමියෝ…

190

බෙන්තර හෙවත් “ භීමතිත්තය” ලක්දිව පිහිටි සුවිශේෂි පුණ්‍ය භූමියකි. සම්බුදු සසුනේ වැඩ විසූ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් බුදුරුවට සමාන රූපකායක් පිහිටි එකම ශ්‍රාවකයාණෝ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේය. උන්වහන්සේගේ මුවෙහි පිහිටි දන්ත ධාතූන් වහන්සේ නමක් නිදන්ගත කොට ලොවෙහි ඉදිකරන ලද එකම දාගැබ පිහිටියේ මෙම බෙන්තර පුණ්‍ය භූමියේ තිබෙන ගලපාත රාජමහා විහාරයේය.

මෙම පුණ්‍යස්ථානය සමීපයේ පිහිටි වනවාස මහා විහාරය, බෝධිමළු මහා විහාරය ආදී විහාරස්ථාන පහක් එක සමීපයේ තිබෙන හෙයින් ඒ සියල්ල එක්කර බෙන්තර පංච මහා මූල විහාරය සැකසී ඇත. මේ සමීපයේ පිහිටි පුණ්‍යවන්ත ගම්වරයකි. ‘මහගොඩ’ මෙම ගමෙන් බිහිවී සිරිලක සම්බුදු සසුන හා බෞද්ධ පිරිවෙන් අධ්‍යාපනය පසුගිය සියවසේ ලොව බැබළ වූ මහා යතිවරයාණන් වහන්සේ නමකි. කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි පරිවෙනාධිපති පදිවියට හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු පත්වූ, අතිපූජ්‍ය මහගොඩ ඤාණිස්සර නායක මා හිමිපාණන් වහන්සේ, උන්වහන්සේ අපවත්වී මෙම මස 06 වෙනි දිනට වසර සියයක් සම්පූර්ණ වේ. එබැවින් මේ මහා යතිවරයාණන් වහන්සේ පිළිබඳව යළි සිහිපත් කිරීමක් සිදුවේ නම් එය පිදිය යුත්තෙකු පිදීමක් ලෙස මා කල්පනා කරමි.

මහගොඩ ගමෙහි විසූ දොන් ආබ්‍රහම් ගුණවර්ධන වික්‍රමාරච්චි මහතාට සහ එම මහත්මියට වර්ෂ 1864 මැයි මස 17 වෙනි දින උපත ලද්දේ පිරිමි දරුවෙකි. ඉතා කුඩා කාලයේදීම ඔහුගේ මව අභාවප්‍රාප්ත විය. තමා මිය යන බව වටහාගත් එතුමිය මරණාසන්නයේ සිටිමින් සිය ස්වාමි පුරුෂයාගෙන් අවසන් ඉල්ලීමක් කළේ කදුළුපිරි දෙනෙත් විවරකර තම සයනය වටා සිටින සියලු දෙනාගේම නෙත් කෙවෙනි කරමිනි. “මම තව ස්වල්ප මොහොතකින් මිය යනවා. මම ඔබගෙන් අන්තිම වරට ඉල්ලන්නේ මගේ පුංචි පුතාට නිසි වයස් පැමිණි කල සම්බුද්ධ ශාසනයට පූජාකර පැවිදි කරන ලෙසයි”. නොබෝ වේලාවකින් ඇය මිය ගියාය.

එම යුගයේ බෙන්තර වනවාස විහාරයේ අධිපතිව වැඩ විසුවේ පූජ්‍ය පණ්ඩිත කෝම්මල ඉන්දසාර මා හිමියන්ය. උන්වහන්සේ දරුවාගේ පියා සමග කතාකර දරුවා පැවිදි කිරීමට නියමිත දිනයක් සහ වේලාවක් යොදාගෙන අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන සිටිනවිට මෙම දරුවාගේ පියාගේ ඥාතිවරයෙකු මෙම පැවිදි කිරීමට විරෝධය දක්වා දරුවා ඉඳුරුවේ ගුරුකන්ද ප්‍රදේශයේ ඥාති නිවෙසක සඟවා තබා ගනිමින් පැවිදි කරවන දිනය ගෙවී යනතුරු තබා ගත්තේය.

මෙම පුංචි ගුණවර්ධන කුමරුවා අට හැවිරිදි වියේ දී එනම් මීට වසර 150 කට පෙර 1872 දී බෙන්තර වනවාස විහාරයේදී උතුම් පැවිදි දිවියට පත්විය. පැවිදි නම් රැසක් ලියාදමා සීට්ටු ක්‍රමයට තෝරාගත් නම වූයේ ඤාණිස්සර යන්නයි. එතැන් සිට මහගොඩ ඤාණිස්සර නමින් මෙම කුඩා හිමියෝ බෙන්තර වනවාස විහාරයේ ඇති දැඩි වෙමින් දහම් සතර ලබන්නට විය.

කඩු ඤාණිස්සර හිමියන්ගේ දස්කම් පිළිබඳව ඇසූ පුංචි දරුවා පැවිදි කිරීමට තම බලතල පාවිච්චි කළ බලපිටිය කප්පිත්ත වලව්වේ සැම්සන් රාජපක්ෂ රජ වාසල මහ මුදලි තුමා, ඊ ආර් ගුණරත්න වාසල මුදලිතුමා සහ ආතර් ජයවර්ධන මුදලිතුමා යන දෙපල ගෙන්වා මහගොඩ ඤාණිස්සර පුංචි හාමුදුරුවන් ගැන තතු විමසා පවසා සිටියේ මෙම කුඩා ස්වාමීන් වහන්සේට හොඳ අනාගතයක් හිමිකර දිය යුතු නිසා ඥාතීන්ගේ සහ දායකයන්ගේ කැමැත්ත රැගෙන හාමුදුරුවන් වහන්සේ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මහ ස්වාමීන් වහන්සේට භාරදෙමු යනුවෙනි. ඒ සඳහා වනවාස විහාරයේ ඉන්දසාර හිමියන්ගේත් හික්කඩුවේ නාහිමියන්ගේත් කැමැත්ත තමාට ලබාගත හැකි බව මහ වාසල මුදලිතුමා ඔවුන්ට දන්වා සිටියේය. එහි සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මහගොඩ ඤාණිස්සර හාමුදුරුවෝ 1883 මැයි මස 04 වෙනිදා සියලු දෙනාගේම කැමැත්ත පරිදි හික්කඩුවේ ශ්‍රී සුමංගල මා හිමියන්ගේ භාරයට පැවරීම සිදුවිය.

ශ්‍රී සුමංගල මා හිමි සෙවණේ දිදුලන තාරකාවක් සේ බැබළෙමින් දහම් අධ්‍යාපනයෙන් පිරිපුන් වූ මහගොඩ ඤාණිස්සර හිමියෝ සිංහල, පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි භාෂා මැනවින් උගත්හ. මෙසේ උගෙන ගන්නා විට තමා පැවිදි දිවියට ඇතුළත් කරගත් බෙන්තොට වනවාස රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය පණ්ඩිත කෝම්මල ඉන්දසාර මා හිමියෝ අපවත්විය. මෙම හේතුව නිසා මහගොඩ හිමියෝ 1889 මැයි මස 29 දින විද්‍යෝදය මහා පිරිවෙණේ අධිපති අතිපූජනීය හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ ශිෂ්‍යයෙකු වශයෙන් සියම් මහා නිකායේ මල්වතු විහාරීය මංගල උපෝසතාගාරයේ උපසම්පදා ශීලයට ඇතුළත් විය. එයින් වසර හතරකට පසු 1893 දී විද්‍යෝදය මහ පිරිවෙන් උප ගුරුවරයෙකු වශයෙන් සේවයට එක්ව මහගොඩ හිමියෝ එයින් වසර හයකට පසුව 1899 දී විද්‍යෝදය පිරිවෙණෙහි උප පරිවෙණාධිපති පදවියෙන් පිදුම් ලැබීය. මෙම තනතුර වසර 11 ක්ම හෙබවූ මහගොඩ ඤාණිස්සර මා හිමිපාණන් වහන්සේට 1911 වසරේදී විද්‍යෝදය මහ පිරිවෙණේ පරිවෙණාධිපති පදවිය භාර ගැනීමට සිදුවිය. මෙම පිරිවෙණේ ආරම්භයේ සිට පරිවෙණාධිපති පදවිය හෙබවූ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් 1911 අප්‍රේල් මස 29 දා අපවත්වූයෙන් පිරිවෙණේ දෙවන වරට පත්වූ අධිපති හිමියන් වූයේ මහගොඩ නාහිමියන්ය. ඒ වනවිට මහගොඩ මා හිමියෝ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය දරමින් වැඩ විසූහ. 1911 වසරේදීම ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පදවියෙන් සම්මානිත මහගොඩ මා හිමියන් දැනුමෙන් ද බුද්ධියෙන් ද වාග් චාතුර්යයෙන් ද ධර්මධර භාවයෙන්ද කොළඹ පළාතේ පමණක් නොව ලක්දිව පතල කීර්තියක් ඇති මහා යතිවරයාණන් වහන්සේ නමක් ලෙස බෞද්ධ ලෝකයම වැළඳගෙන සිටියහ. දකුණු සිරිලක බෙන්තොට ගඟ අසබඩ මහගොඩින් මනුලොවට පිවිසි මේ උතුම් බුදුපුත් රුවනට ලෝ වසන්නට හැකිවූයේ වසර 58ක් තරම් කෙටි කාලයකි. සියලු දහම් අනියත බව ලොවට පසක් කළ මෙම මහා යතිවරයාණෝ මීට වසර සියයකට පෙර එනම් 1922 නොවැම්බර් මස 06 වෙනි දින මෙලොවින් සමුගත්තේ ලක් බුදු සසුන් කෙතේ පිරිවිය නොහැකි හිස් තැනක් තබමිණි.

වජිර අබේවර්ධන (පා.ම.),
සභාපති – එක්සත් ජාතික පක්ෂය,
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත්සභා හා පළාත් පාලන හිටපු අමාත්‍ය.

advertistmentadvertistment
advertistmentadvertistment