අප්‍රකට පැරණි පද්‍ය

304

ආයුර්වේද ශිරෝමණි පී. ඒ. වීරවර්ධන ප්‍රතිරාජ

ඌරන් කැස්බන් හා හරකුන් මරා තම්බා කමින් රා අරක්කු බොමින් හිඳ බොහෝ දුක් විඳ මැරී ගිය ‘හෙන්දා’ නමැති සාහසිකයකුගේ මරණය ආදෘශකොට මීරිපැන්නේ සාමින් විසින් ගැටවරයින්ට දුන් අවවාදයක්.

හෙන්දාලා ජඩකම්කළා නපුරුව
ඌරන්ද කැස්බන් ගෙරින්
තම්බාලා බුදිමින් අරක්කුද බොමින්
බැන්නා දෙඩුවා බොහෝ
නින්දා ඒ ගැන පත්වෙලා කළ මහත්
පව්කම් බෙලෙන් දුක් රැසක්
වින්දා වූ සැටියක් අනේ නුදුටුවේ
මන්දැයි බොලව් කොල්ලනේ

කෝරළේ මුදලිට කළ පැමිණිල්ලක්
රා බී වෙරිමත් ව අඬදබර කරන කොලු රැළක් ගැන කෝරළේ මුදලිට කළ පැමිණිල්ල මෙසේ ය.

වැඩ නැති ජඩ කොල්ලෝ එක්වෙලා මේ ගමේ හි බඩ පැළෙනතුරු බීමත් වෙලා රා අරක්කු අඬදබර කිරීමෙන් රෑ දවල්හි බොහෝ සේ ඉඩ නැතුව සරප් නුවූ ලෙසින් කල් යවත්මැයි

නිරලඹ අහසේ එල්ලෙන්ට වෑයම් කෙරෙත් මැයි
ඉරසඳ උදුරා ගන්ටත් අහස්හී පනිත් මැයි
වරපල කියමින් නිත්තෙන් කරච්චල් කෙරෙත් මැයි
ජරගඳ කුණු රා බී මේලෙසින් කල් යවත් මැයි

මෙයින් මතු මෙබන්දක් තෝ කළෝතින් කිවෝතින්
එයින් තට කරන්නාවූ දෙයත් මම දනිම් මැයි
තද ලෙස බිය ගන්නාලා හළොත් පින්වතුන්ගේ
කිතුසිරි පැතිරේවී බෝ උසස් වූ ලෙසින් දැන්

විහිළු සෙත් කවියක්

දිනක් දුම්බර මහ විදානේ යන නමකින් ව්‍යවහාර වූ නූගත් පුහු නම්බුකාර මහල්ලෙක් මීරිපැන්නේ සාමින් හමුවීමට අවුත් උන්වහන්සේ වැඳ ‘හාමුදුරුවෝ හැමෝටම සෙත් කවි කියනවා, මටත් කවියක් කියන්ට හොඳා’ යැයි උදාරම් ලීලාවෙන් කීවේලු. එකෙණෙහි ම මේ සෙත් කවිය කීවේලු.

බැකිසි බකු සා නේ
කරවැල් මහ කොකා නේ
දිය ගැරඬියා නේ
රකිව් දුම්බර මහ විදා නේ

මේ ඇසීමෙන් ඔහු ලජ්ජාවට පත්වීලු.

ආශිර්වාදයක්

කොග්ගල පඬිතුමා (දොන් ජොහැන්නස් පණ්ඩිතතිලක ගුරුතුමා) ‘ශාස්ත්‍රාලංකාරය’ සඟරාවේ කර්තෘ ජෝන් පෙරේරා (කස්සප හිමියන්ගේ අත්තා) මහතාට කළ පාලි භාෂාමය ආශිර්වාදයක්:

සරද ජලද පන්තීපාර දින් දින්ද දන්තී
කුමුද සුර සවන්තී තාර කෝදා තර ංසී
රමත රජත කන්තී සා දිසා නන්ත කින්තී
ජයතු පයත බන්තී ධීර ප්‍රෙරාඛ්‍ය මන්තී

පැනගිය බිරිඳ ගෙන්වා ගැනීමට කී වස් කවිය

‘නීල කොබෝ සන්දේශය’ රචනා කළ බරණ ගණිතාචාරියා සුප්‍රසිද්ධ කවියෙකි. ඔහුගේ කවි නොයෙක් දෙනා අතර බෙහෙවින් ප්‍රකට ය. ඔහුගේ අප්‍රකට කවියක් මෙසේය:-

රට කදිරා පුර නායක දෙවිකත රා
මට නිතරා පැමුණුන දුකකි අත රා
මට උදුරා නුදුන් නම් මගෙ සොඳු රා
තගෙ මයුරා වාහන ගන්නෙමි උදු රා

මොහු ස්ත්‍රියක් සඳහා කී මේ කවිය ද අප්‍රකට වූවකි.

සෙට ඇදුරා බෙර කරලා බිනු තෙපු ලේ
හදෙහි නලවා සුදු සඳුනම කළ වික ලේ
හද මැදලා පල්පත ගියහොත් මගු ලේ
බව බලලා නෙපනෙයි නෑනගෙ අවු ලේ

විෂ්ණු දේවාලයේ බෝ අත්ත බිඳහෙළීම

රාජාධි රාජසිංහ රජු කල හතර කෝරළේ කුංකුනාවේ විසූ කුංකුනාවේ තෙර දක්ෂ වස් කවිකාරයෙකි. මහනුවර විෂ්ණු දේවාලයේ වහලට නැමී තිබුණු බෝ අත්තක් අස්කර ගැනීමට නොහැකිව සිටින විට මොහු එහි පැමිණ මේ වස් කවිය කීවේලු.

රම් රද විමන බෝ අත්තෙන් වැසී ගියා
පම් කළ උළු සෙවිලි පලවල් දිරා ගියා
අන් බසකට නොනැමෙන ගෝර චන් ඩියා
සුන් කර හරින් තෙද බලවීර මුන් ඩියා

මෙය කී කෙණෙහි නැඟුණු සැඩසුළඟකින් බෝ අත්ත කඩාගෙන ගොස් උඩවත්තෙ කැලේ වැටුනේලු.

අන්දරේගේ විගඩමක්

පෙර රජවරුන්ගේ ‘විකට කවි’ නමින් නිලදැරියෙක් සිටිය බව පෙනේ. ‘මරියාදිරාමන්’ ‘අබුනු වාස්’ ආදීහු ඒ නිලය දැරූ රාජකීය විකට කවීහු ය. ලංකාවාසීන් අතර සුප්‍රකට ‘අන්දරේ’ ද මහනුවර රජ අවධියේ විසූ රාජකීය විකට කවියෙකි. මොහුගේ කවි රටේ නොදන්නා කෙනෙක් නැති තරම් ය. මොහුගේ අප්‍රකට කවි දෙකක් මෙහි දක්වමු. අන්දරේ දිනක් රා මදින්නකුගෙන් රා ටිකක් ඉල්ලා නොලැබීම නිසා කෝපයෙන් මේ කවිය කීවේය.

බඳින බඳින පොට වැරහැර කැඩී යන්
තියන තියන අඩි ලිස්සා වැටී යන්
කපන කපන මන්නේ ලේ තෙමී යන්
මට රා නුදුන් තෝ ගහමුල වැටී යන්

මෙයින් බයපත් වූ මදින්නා අන්දරේට බඩ පිරෙනතුරු බීමට රා දුන්නේය. රා බී සතුටින් ඔද වැඩීගිය අන්දරේ වෙරිමතින් වැනි වැනි මේ කවිය කියා මදින්නාට සෙත් වැඩීය:-

කළු වන් කළු රුවයි අපෙගම මදි න්නා
මන්ඩි නැතුව රා හැමටම බෙද න්නා
මීරා දිනෙන් දින වැඩිකර දෙමි න්නා
දෙය්යෝ රැක දෙන්න අපෙ ගම මදි න්නා

මොහු පස්සර දී උඩරට රටේ ගැහැනියකට කී මේ කවිය ද අප්‍රකට කවියකි.

ඉස්සර අපි සැවොම එක ගොත වුවත් ක තේ
විස්තර ලෙසින් වෙන් විය පරිදි සම්ම තේ
අස්සර නොදැන කීවා නොවෙයි, කට මැ තේ
පස්සර ගෑනුන්ගෙ හිත පළකෙරුම ම තේ

1962 වසරේදී ලියන ලද්දකි.

advertistmentadvertistment
advertistmentadvertistment