අප්‍රේල් කැරැල්ල දෙස සාම්ප්‍රදායිකව බැලීම නිවැරදිද?

1051

ශ්‍රී ලංකාවේ විශේෂිත සංසිද්ධියක් සිදුවීම දක්වා වසර 52 ක් ගතව ඇතත්, අප්‍රේල් 04 දිනයට අදාළව අදට ද බොහෝ මාධ්‍යවල ඒ පිළිබඳ ලිපියක් හෝ කෙටි සටහනක්වත් පළවෙන අතර, කැරැල්ලේ අයිතිකරුවා වන ජවිපෙ විසින් සැමරුම් සිදු කරනු ලබයි. එහෙත් මගේ මෙම ඉදිරිපත් කිරීම එවැනි සාම්ප්‍රදායික දෙයක් නොව, එම කැරැල්ල සහ ජවිපෙ දෙස නව මානයකින් බැලීමය.

යම් සිද්ධියක්, නිර්මාණයක් හෝ පුද්ගල චරිතයක් වැනි ඕනෑම දෙයක් වේවා ඒ ගැන තුලනාත්මක සාපේක්ෂ හැදෑරීමකට හෝ නිවැරදි අවබෝධයකට විශාල කාලයක් අවශ්‍ය වෙයි. අප්‍රේල් කැරැල්ලටද, එහි නායක රෝහණ විජේවීරටද වර්තමාන නායක අනුර කුමාරට සහ ජවිපෙට ද එය එසේම අදාළ වෙයි.

දීර්ඝ ලිපියකට අවකාශ නොමැති හෙයින් අපිකෙටියන් ඒ ගැන සලකා බලමු. විජේවීර ජවිපෙ ගොඩ නගන විට පැවතියේ ඩඩ්ලි සේනානායකගේ එජාප ආණ්ඩුව ය. ජවිපෙ ගොඩ නැගීමට විජේවීර විසින් එකතුකරගනු ලැබූ මුල්ම සාමාජිකයන්ට ඔහු ඉදිරිපත් කළ ප්‍රධාන තර්කය වූයේ, එජාප රජය මැතිවරණ නොතබා ඒකාධිපති පාලනයකට යන නිසා එම රජය මෙහෙයවන ඇමරිකන් අධිරාජ්‍යය හා එම රජය යන දෙකටම විරුද්ධව සටන් කිරීම සඳහා විප්ලවවාදී පක්ෂය පිහිටුවිය යුතු බවය. චීන කොමියුනිස්ට් පක්ෂයේ සිට පැමිණි විජේවීරගේ හඬේ මේ වන විට ද මාතෘභූමිය විෂය කොටගත් දේශප්‍රේමීත්වය නොඅඩුව තිබිණ. විජේවීර මියයන තෙක්ම මෙම හැඟීම් ඔහුගේ හදවතේ තිබිණ.

එම නිසා 1970 මහමැතිවරණයේ දී සමගි පෙරමුණ බලයට පත් කිරීම ට ජවිපෙ සාමාජිකයෝ සිය සහයෝගය පුද කරන්නාහ. මේ ධනපති ආණ්ඩුවක් බලයට පත් කිරීම සඳහා ජවිපෙ දායක වූ පළමු අවස්ථාවය. 2/3 ක විශාල බලයක් සහිතව කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජයද සිටින සමගි පෙරමුණ බලයට පත්වී, එජාපය අන්ත පරාජයකට පත්වූ විට විජේවීරගේ ප්‍රධාන තර්කය වූ ඒකාධිපතිත්වය ට යන අවදානම අහෝසි වන බවයි. එහෙත් ජවිපෙ කළේ කුමක්ද? බලයට පත්වී වසරක් පමණක් වන ආණ්ඩුවේ බලය පැහැර ගැනීමට ඊට පහර දීමය. ජවිපෙ ඒ සඳහා දක්වන ප්‍රධාන හේතුව, “මර්දනයට මුහුණ දීමට සතුරාට පෙර ප්‍රති ප්‍රහාරදීමය. තමන්ගේ යටි අරමුණ ඉටු කරගැනීමට අවශ්‍ය ඕනෑම තැනකදී ජවිපෙ ගොඩ නගන තර්ක ශාස්ත්‍රය මෙබඳුම ය. 1983 දී යටිබිම් ගතවීමේදී ද, 88-89 අරගලය ඉදිරියට ගෙන යා නොහැකිව හිරවී තිබියදී ඉන්දියන් විරෝධී දේශප්‍රේමී අරගලය නිර්මානයකර ගැනීමද මෙබඳුම අවස්ථාය.

ජවිපෙ විසින් නායකත්වය සපයනු ලබන මාලිමාව ජන්ද ලකුණෙන් යුතු ජාතික ජන බලවේගයට ජනතා ආකර්ෂණයක් සහ රැල්ලක් ඇතැයි ඇතැමෙකු පවසන බව හා සිතන බව මට දැනී හැඟී තිබේ. දේශපාලන අවබෝධයක් ඇති මිනිසුන්ට නම් එය පුදුමවිය යුතු කරුණක් නොවේ. ජවිපෙ යනු කවදත් කොතැනත් ප්‍රචාරක වාසිය උපරිමයෙන් ලබාගත් පක්ෂයකි. පුම්බා පෙන්වීම අතින් ජවිපෙට අලගු තැබිය හැකි පක්ෂයක් වෙනත් නොවේ. 1982 සෙනඟ රොද බැඳගෙන ආවේ ජවිපෙ රැස්වීම්වලට විජේවීරගේ කතා අහන්නටය. එකල මේ ලියුම්කරුද ආසනයක් භාර සංවිධායකව සිටියෙන් ෆෝම් පුරවා සාමාජිකයන් බඳවා ගත් මැතිවරණ සමිති වල සිටි සාමාජිකයන් මාතර දිස්ත්‍රික්කය තුළ පමණක් ලක්ෂ 3 ක් පමණ වූ බව දන්නෙමි. නමුදු විජේවීරට මුළු රටින්ම ලැබුණේ ජන්ද දෙලක්ෂ හැත්තෑ තුන් දහසකි. ජනාධිපතිවරණ, මහමැතිවරණ වැනි අවස්ථාවලදී ජනතාව ජන්දය දෙන්නේ ජවිපෙ පුම්බා පෙන්වන අයුරින් නොවේ.

ජවිපෙ යනු කිසිමදාක එක් ප්‍රතිපත්තියක් හෝ එක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හෝ තිබූ පක්ෂයක් නොවේ. “අප ශක්තිමත් හා භක්තිමත් මාක්ස්වාදීන් වන්නෙමු” යයි කීමට කිව්වද ජවිපෙ කිසිමදාක නිවැරදි මාක්ස්වාදී ස්ථාවරයේ සිටි පක්ෂයක් නොවේ. දේශප්‍රේමීත්වය, ජාතිකත්වය, මාක්ස් – ලෙනින් වාදය අතර දෝලනය වූ ජවිපෙ 88-89 දී පුද්ගල ත්‍රස්තවාදය උපරිමයෙන් යොදා ගනිමින් තමන් මාක්ස්වාදීන් නොවන බව ඔප්පුකර සිටියේය. විජේවීරගේ හදවතද එසේම විය. එසේම අත්අඩංගුවට පත් දිනයේදී සිය දරුවන් බුද්ධාගමේ තබන්නැයි ඔහු සිය බිරිඳ ගෙන් ඉල්ලා සිටියේය. ඒ ඔහුගේ සැබෑ අධ්‍යාත්මයයි.

ජවිපෙ වර්තමාන සාමාජිකයන් හා හිතවතුන් නොදැන සිටින්නට ඉඩ ඇතත් ජවිපෙ එදා සිට ප්‍රකාශයට පත්කළ ප්‍රතිපත්ති ප්‍රකාශන හොයාගෙන කියවුවහොත් ඔවුන්ට සිනා යතැයි මේ ලියුම්කරුට සිතේ. විදේශයක පදිංචිව සිටියද “මල් බඳුනේ” සිට වූ ප්‍රතිපත්ති ප්‍රකාශන ද, මංගල සමුළුවේ වාර්තාව ආදී බොහෝ දෙය මා සතුව පවතියි. ඉන් එක් ප්‍රතිපත්ති ප්‍රකාශයක පුද්ගලික දේපළ පවරා ගෙන පොදු දේපළ කරන බව කියන අතර ජවිපෙ රජයක් පිහිටුවූ වහා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව විසුරුවා දමන අතර රටේ සහ රාජ්‍යයේ ආරක්ෂාව විප්ලවීය රතු හමුදාවට භාර කරන බව පවසයි. “රට හදන අපේ ප්‍රතිපත්ති ” නම් වූ සමුළුවක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්විණ. පූර්ණ කාලීන කාඩර් වරයෙකු වශයෙන් මමද සහභාගි වූ එම සමුළුවේදී ලංකාවේ මෙතෙක් තිබූ ආණ්ඩු විසින් ගත් කිසිදු ණය මුදලකට ජවිපෙ ආණ්ඩුවක් වග නොකියන බව පැවසූ විජේවීර එම ණය සතයක් හෝ වන්දි නොගෙවා අවලංගු කරන බව පැවසුවේ අත් පොළසන් හඬ ගිගුම් දෙද්දීය. එපමණක් නොව එංගලන්තය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් අප රටින් කොල්ලකාගෙන ගිය මුතු මැණික් පුරාවස්තු ඇතුළු මහා ධනස්කන්දය ගණන් බලා ඔවුන්ගෙන් වන්දියක් ඉල්ලා සිටින බවද පැවසුවේය.

ඉදින් කිසිසේත්ම අසත්‍යක් හෝ නිර්මාණයක් නොවන මෙම කරුණු මා ඔබට පවසන්නේ අප්‍රේල් කැරැල්ල සමරන අතරේම එදා ජවිපෙත්, අද ජවිපෙත්, එදා සහ අද ජවිපෙ නායකයොත් අතර ඇත්තේ කුමන වෙනසක්දැයි සිතා බලනු පිණිසය.

එදා නායක විජේවීර තම චතුර හා මුඛරි කථිකත්වයෙන් ෆ්ලැට් න්‍යායෙන් උත්තර දී විරුද්ධවාදීන් දුර්මුඛ කළේය. ඩඩ්ලි ඒකාධිපතිත්වයට යතැයි හා ඇල්ල – වැල්ලවාය පාර හදන්නේ ඇමෙරිකන් ප්ලේන් ගොඩ බාන්නැයි හිතළු කිව්වේය. එසේම අති දක්ෂ කථිකයෙකු ලෙස ජනතා ආකර්ෂණය ලබා ගත්තේය. නමුත් ප්‍රධාන මැතිවරණවලදී අවශ්‍ය ජන්ද ලබා නොගත්තේය.

අද නායක අනුර කුමාර ද දක්ෂ කථිකයෙකි. ඔහුද හම්බන්තොට වරායට නැව් පැමිණිය නොහැකි ගලක් ඇතැයිද, පෝට් සිටිය හැදීමට ලංකාවේම කළුගල් මදිවේ යැයිද යන හිතළු බොරු කියන්නෙකි. අනුර කුමාර, විජේවීර තරම් දක්ෂයෙකු නොවේ. විජේවීර ද එදා ජවිපෙ සාමාජිකයන් වූ අප වැන්නන් හා ජනතාව සිතු තරම් දක්ෂයෙකු නොවේ. පොදුවේ ගත්කල ජවිපෙ නායකයන් ඔවුන් විසින්ම ජනතාවට පෙන්වන තරම් බුද්ධිමතුන් හෝ දක්ෂයන් නොවේ. මම ඒ සඳහා පහත සඳහන් හෙළිදරව් සහ තර්කය ඉදිරිපත්කොට සිටිමි.

ජවිපෙ ඇතුළතින්ම සිය නායකයන් උත්කර්ශයට නැංවීමේ ප්‍රචාරක ව්‍යාපෘතියක් පවතී. එදාද එය පැවති අතර විජේවීර භාෂා 5 ක් කතා කළ හැකි දක්ෂයෙකු ලෙස ප්‍රචාරය වුණි. විජේවීරට ඉංග්‍රීසි සහ රුසියන් භාෂාව කතා කිරීමේ හැකියාව ඇති අතර එය එසේ නොවන්නේ යැයි කිසිවෙකු පවසන්නේ නැත. 1982 ජනාධිපති ජන්ද පූර්ව ප්‍රචාරක රූපවාහිනි කතා වලදී ජවිපෙ අපේක්ෂක විජේවීර සිංහල, ඉංග්‍රීසි, දෙමළ යන භාෂා තුනෙන්ම චතුර ලෙස කතා කරන ලදී.

ඔබ්ස් කොම්බයින්හි දී විජේවීරගෙන් ප්‍රශ්න කළ බි්‍රගේඩියර් සරත් මුණසිංහ පවසන්නේ තමා විජේවීර ප්‍රශ්න කළේ ඉංග්‍රීසියෙන් මුත් ඔහු පිළිතුරු දුන්නේ සිංහලෙන් බවය. ඉංග්‍රීසි දැනුම තේරුම් ගැනීමේ හැකියාව ඇතද හොඳින් කතාකළ හැකි කෙනෙක් එසේ කරතැයි සිතීම අසීරුය. උදාහරණයකට කියන්නේ නම්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගෙන ඉංග්‍රීසියෙන් ප්‍රශ්න කළවිට ඔහු පිළිතුරු දී ඇත්තේද එසේමය.

ජවිපෙ නායකයන් ඔවුන්ම කියන තරම් දක්ෂයන් නොවන බවට මට දිය හැකි එක් උදාහරණයක් නම් මෙසේය. දශක ගණන් පාර්ලිමේන්තුවේ සිටින ජවිපෙ නායකයෝ ඇතත් කිසිවෙකු හා ඉංග්‍රීසියෙන් විවාදයක් තබා, තරමක කතාවක් හෝ කළ හැකි කෙනෙකු නැත. භාෂාව බැරිකමද ප්‍රතිවාදීන් ඉදිරියේ අසරණ වන දෙයකි. ඉදින් ඔවුන් ඔයතරම් දක්ෂයන් නම් මෙතරම් කලක් ඉංග්‍රීසි කථිකත්වය ප්‍රගුණ කර නොගත්තේ මන්ද? ගමේ සිට කොළඹ එනවිට ඉංග්‍රීසි නොදත් ක්‍රිකට් ක්‍රීඩකයන් අද ඉංග්‍රීසියේ කතා නොකරන්නේද ?

වැඩිදුර නොහිතා ප්‍රවාද පිළිගන්නා මෝඩ ජනතාව අන්දන අනුර කුමාරගේ කතාවක් ගැන පැහැදිලි කළ යුතුය. වසරින් වසර විදේශ ණය ප්‍රමාණය වැඩිවී අද බිලියන මෙතරම් ප්‍රමාණයක් රට ණයකර ඇතැයි පවසන ඔහු මෙසේ වී ඇත්තේ තිබුණ ආණ්ඩු හා හිටපු නායකයන් හොරා කෑම නිසා බව පවසයි. හොරාකෑම සහ දූෂණ වංචා සිදුවූ බවද සත්‍යයකි. කිසිවෙකු එය නැත කියන්නේ නැත.

එහෙත් එදා අප්‍රේල් කැරැල්ල සිදු නොවී නම් වමේ පක්ෂ දෙකක්ද, සභාගයේ සිටි 70 ආණ්ඩුවට නිදහසේ ඉදිරියට යෑමට තිබුණි නම් රට දියුණු මාවතකට යෑමට ඉඩ තිබුණ බව අප්‍රේල් කැරැල්ලට වසර 52 ක් ගතවෙන මේ අවස්ථාවේදීවත් කෙනෙකුට නොසිතෙන්නේ නම් එය ඔහුගේ බුද්ධියේ අඩුපාඩුවකි. අප්‍රේල් කැරැල්ල නිසා එතෙක් නාමිකව සිටි පොලිසිය හා හමුදාව ශක්තිමත් වූ අතර අමානුෂික මර්දන අංගද ඉස්මතු විය. එසේම කැරැල්ල මැඬ පැවැත්වීමට මිලදීගත් අවි ආයුධ, ඉන්පසුව සිදුවූ සියලු වියදම් අනුර කුමාර කියන ණයබරට ඇතුළු වූයේ නැද්ද? 88-89 අරගලයේ වියදම් එමෙන් සිය ගුණයකි. කැරැල්ල මැඬ පැවැත්වීමට ගිය වියදම හා ජවිපෙ විසින් විනාශ කරන ලද රාජ්‍ය- පුද්ගලික දේපළ නැවත යථා තත්ත්වයට පත් කරනු සඳහා ගිය වියදම ණය බරට එකතු වූයේ නැද්ද?

වසර 30 උතුරු – නැගෙනහිර තිබූ යුද්ධයට සහ විනාශ වූ එම ප්‍රදේශ නැවත ගොඩ නැගීමට ණය මුදල් වියදම් වූයේ නැද්ද? කොරෝනා වසංගතයේදී රට වසාගෙන සියලු දෙනාට වැටුප් ගෙවාගෙන හිටි කාලය ණයබරට එකතු වූයේ නැද්ද?

අවසන් වශයෙන් ඔබ තේරුම් ගත යුත්තේ ජවිපෙ යනු එදා සිට අද දක්වා ලිඛිත හෝ වාචික එක ප්‍රතිපත්තියක් නැති, ජනතාව රැවටීමට කටට එන දෙයක් කියන පක්ෂයක් බවය. ජවිපෙ සහ අනෙකුත් ප්‍රධාන පක්ෂ අතර විශාල වෙනසක් නැත. ඇත්නම්, ඒ ජවිපෙ රාජ්‍ය බලය ලබා, ආණ්ඩුවක් පාලනය නොකිරීම පමණි.

මේ සියලු කරුණු කාරණාවලින් අදින් වසර 52 කට පෙර මියගිය අප්‍රේල් විරුවන්ට කිසිදු අගෞරවයක් සිදු නොවෙයි. ඔවුන් සිය ජීවිත පූජා කළේ නිර්භීතව හා අවංකවමය. එහෙත් තමන් කිරීමට යන්නේ කුමක්දැයි හරියටම නොදැනය. නිවැරදිව කියතොත්, අද ජවිපෙ පසුපස යන අවංක මිනිසුන් මෙනි.

(මෙහි පළවන්නේ ලේඛකයාගේ අදහස් දැක්වීමක් පමණි)

රෝහිත මුණසිංහ
පැරිස් – ප්‍රංශය

advertistmentadvertistment
advertistmentadvertistment