අප්‍රේල් මසට පෙර ගල්අඟුරු නැව් නාවොත් රට අඳුරේ!

108

දැනට තිබෙන ගල්අඟුරු සංචිත ප්‍රමාණවත් වන්නේ ලබන මාර්තු 06 වැනිදා දක්වා පමණක් බැවින් සැලසුම් කර තිබෙන පරිදි ඉතිරි ගල්අඟුරු නෞකා 21, අප්‍රේල් මසට පෙර ගොඩබාගත නොහැකි වුවහොත් විදුලි කප්පාදුව දරුණු වී යා හැකි බව ලංවිම ඉංජිනේරුවෝ අනතුරු අඟවති.

ලබන අප්‍රේල් 15 ට පමණ පෙර මෙම වසරට අවශ්‍ය ගල්අඟුරු නෞකා 21 ක් නොරොච්චෝල, ලක්විජය ගල්අඟුරු බලාගාරයට ලබාගැනීම දැඩි අභියෝගයක් වී ඇතැයි ද ඔවූහු පැවසූහ.

විදුලිබල මණ්ඩලය මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බැවින් මෙරටට පැමිණ තිබෙන දොළොස්වන ගල්අඟුරු නෞකාවට (මෙට්‍රික්‌ ටොන් 60,000) මුදල් ගෙවීමට නොහැකි වී ඇතැයි ද එහෙත් මෙම නෞකාව ඇතුළු තවත් නෞකා හයක් සඳහා සියයට තිහ බැගින් අත්තිකාරම් ගෙවා තිබෙන බව ද ඉංජිනේරුවෝ කියා සිටියහ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මෙරටට පැමිණ තිබෙන නෞකාවේ අඩංගු ගල්අඟුරු ගොඩබාගත නොහැකි වුවහොත් ඒ සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බවයි. එක් නැවක් ප්‍රමාද වුවහොත් ඉදිරියේ දී මෙරටට පැමිණීමට නියමිත සෙසු නෞකා සඳහා ද ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීමේ අවදානමක් මතුවන බව ද ඒ මහතා කීය.

මෙම වසරේදී නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය (මෙගාවොට් 900) සඳහා මෙටි්‍රක් ටොන් 60,000 බැගින් වූ ගල්අඟුරු නෞකා වාර 33 ක් ගෙනඒමට සැලසුම් කර ඇත. දැනට ඉන් ගොඩබා ඇත්තේ නැව්වාර 11 කි. දොළොස්වන නෞකාව මෙරටට පැමිණ තිබුණත් ඒ සඳහා ගෙවිය යුතු ඉතිරි සියයට හැත්තෑවක මුදල් ලැබී නැතැයි ද දැනට සංචිත ප්‍රමාණවත් වන්නේ මාර්තු 06 දක්වා පමණකැයි ද ඒ මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයට කළ දැනුම්දීමට අනුව ගල්අඟුරු සඳහා ගෙවිය යුතු මුදල් සෙවීමට සාකච්ඡා සිදුවන බවත් දැනට මෙරටට පැමිණ තිබෙන නෞකාව ගොඩබාගෙන මෙම ක්‍රියාවලිය කරගෙන ගියහොත් විදුලි අර්බුදය වළක්වා ගත හැකි බවත් ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment