අප්‍රේල් මසදී ඉන්ධන මිලට දැනෙන සහනයක් දෙනවා – ඇමැති කංචන විජේසේකර

114

දෙසැම්බරය වන විට විදුලි බිලත් අඩු කරනවා
සියත ටෙලි වැකියට පාර්ලිමේන්තුව ගත් තීන්දුව බරපතළ වැඩියි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
සියතට පහර දෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරන්නයි
ඉමිතියාස් බාකිර් මාකාර් (සජබ) –

රුපියල ශක්තිමත් වීම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අඩුවීම අනුව අප්‍රේල් මාසයේදී ඉන්ධන මිලට දැනෙන සහනයක් ලබා දීමට කටයුතු කරන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවැසීය.

හෙතෙම මේ බව කියා සිටියේ සර්වජන ඡන්ද බලය පිළිබඳ විපක්ෂය විසින් ගෙන එනු ලැබූ කල් තැබීමේ විවාදයේදී දෙවැනි දින අදහස් පළ කරමිනි.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ.

ලිපිලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන ප්‍රශ්න සඳහා අදාල ඇමැතිවරු විසින් පිළිතුරු සැපයීම ඉන් අනතුරුව සිදුවිය.

අනතුරුව දිනට නියමිත වූ නීති අධ්‍යාපන සභා ආඥා පනත යටතේ රීති (276 අධිකාරය වූ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය සහ ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග සම්මත කර ගැනීමට අදාළ විවාදය ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා – නීති අවසාන විභාගය සඳහා මේ වන විට විශාල සිසුන් පිරිසක් ඉදිරිපත් වෙනවා. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නිපුනත්වයත් අවශ්‍යයි. දැන් අපි මේ වසරේ සිට ඉංග්‍රීසි භාෂාව කථනයෙන් හඳුන්වා දෙනවා. ඒ සඳහා ගුරුවරුන් පුහුණු කර තිබෙනවා. ඉංග්‍රීසි භාෂාව මගින් අධ්‍යාපන කටයුතු තව ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- අපි විපක්ෂය ලෙස කියන්නේත් මේ භාෂා ප්‍රශ්නය ගැන. අපි ඉදිරිපත් වන්නෙත් අවසන් අවස්ථාවට. ආයෙත් ඉදිරිපත් වෙන්නේ නෑ.

සුසිල් ප්‍රේමජයන්ත මහතා- අපි ඛනිජ තෙල් සංශෝධන ගැන කිව්වොත් අපේ මේ රටේ විවිධ කැණීම් කර තිබෙනවා ඛනිජ සම්පත් ගැන. ඒ තොරතුරු අපි ළඟ තිබෙනවා. දැන් වැදගත් වෙන්නේ මේ දත්ත අනුව ගිහින් ආයෝජන ගෙන්වා ගැනීමයි. අපිට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා කොහොමද විදේශ ආයෝජන ගෙන්වා ගන්නේ කියලා. මොකද අපේ රට බංකොළොත් කියලා ප්‍රකාශ වුණා. තෙල් ගේන්න බැරි වුණා. ඩොලර් නැති වුණා. නමුත් දැන් අද මේ වන විට ඒ තත්ත්වය නැති වෙලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අපට ඊයේ ණය වාරිකයක් සඳහා අනුමැතිය ලැබුණා. ඒ ලැබෙන්නේ අපේ ඩොලර් සංචිතය ශක්තිමත් කර ගන්න. ඒ අතරතුර ආණ්ඩුව ඩොලර් සංචිතය වැඩි කර ගන්නවා. දැන් පසුගිය කාලයේ අපිට ඩොලර් මිලියන 500ක් පමණ එක පාරටම ආවා. කොහෙන්ද ඒ ඩොලර් ආවේ. ඒවා රට තුළම තිබුණු මුදල්. දැන් ඒ මුදල් ඇවිත් තිබෙනවා. රජයේ ප්‍රතිපත්ති තීන්දු අනුවයි එහෙම වුණේ. පසුගිය කාලයේ බදු ප්‍රශ්නයක් ආවා. ගුරුවරුන් කිහිප දෙනකුගේ පමණයි ඒ බදු කැපෙන්නේ. නමුත් අද වෙන කොට ඒ ප්‍රශ්න නෑ. අද රටට ආනයන කටයුතු සඳහා අවසර දීලා තිබෙනවා. පොහොර ටික කෘෂි රසායන ගෙන්වන්න අවසර දීලා තිබෙනවා. තව තවත් අවසර දෙනවා. අපිට මේ වන විට අයිඑම්එෆ් සහාය ලැබෙනවා. පසුගිය වතාවන් වලදී අයිඑම්එෆ් කොන්දේසි ඉටු කලේ නැතුව තමයි අපි ණය ගත්තේ. නමුත් මේ වතාවේදී කොන්දේසි ඉටු කරලා තමයි ණය ගත්තේ. අපේ ආර්ථිකය ඉදිරියට හොඳ වෙනවා. මම දැක්කා ඊයේ ප්‍රංශයෙන් සංචාරකයෝ එනවා. ඒ තුළින් විදේශ විනිමට රටට එනවා. අපි ස්තුති වන්ත වෙන්න ඕනා මේ රටේ ජනතාවට. මොන තරම් පීඩා ආවත් ඉවසාගෙන කටයුතු කළාට. විශේෂයෙන් අපිට අයිඑම්එෆ් ණය ඉක්මනින්ම ලැබුණා. මැද පෙරදිග රටවල් ඇතුලු රටවල් කිහිපයක්ම ඉල්ලීම් කළා. නමුත් ඒ අයටත් තවම ඒ ණය ලැබිලා නෑ. අද අපි මේ සංශෝධනය කරන්නේ තෙල් ගවේෂණ ක්‍රියාවළිය වැඩි කරලා ඉන් ඉදිරියට යන්නයි. කෙයාන්ස් සමාගම කරපු ගිවේෂණ වලදී මීතේන් ලැබුණා. අපි ඉන් ඉදිරියට යන්න ඕනේ තවත් ඉන්ධන තිබෙනවාද කියලා බලන්න.

(නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මූලාසනයට පැමිණේ)

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (සජබ)-

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපි සාමාජිකයෝ. අනිවාර්යෙන්ම මේ ණය මුදල අපිට ලැබෙනවා. නමුත් මේ මුදල ලබා දෙන්න අත්සන් කරපු කොන්දේසි මොනවද කියලා අපි දන්නේ නෑ. මා විශ්වාස කරනවා ඉදිරියේදී ඒ කොන්දේසි මොනවද කියලා කියයි කියලා. පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා අධිකරණය, ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව, මාධ්‍යවේදීන් මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා. විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාගත් ජයග්‍රහණ මත අධිකරණයට, රජයේ උසස් නිලතලවලට යම්කිසි ස්වාධීනත්වයක් ලබා දුන්නා. නමුත් අද පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා 21 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබා දුන්න ස්වාධීනත්වය නැති කරන්න හදනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ලබාදුන්න නඩු තීන්දුවක් මත වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. පළවෙනි වතාවටයි මම ඇහුවේ. ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවකින් කොහොමද මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වෙන්නේ. මැතිවරණ කොමිසමත් වරප්‍රසාද කමිටුවට ගේනවා. දැන් මාධ්‍යවේදීන්ටත් වරප්‍රසාද ප්‍රශ්න මතු කරල තියනවා. විශේෂයෙන්ම සියත ටෙලි වැකිය සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. මේවා වැරදි වැඩ. පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා මේ ආයතන මර්දනය කිරීමට උත්සාහ කිරීම අපිට පිළිගන්න බෑ. මේ ටෙලි වැකිය කතාව මම සම්පූර්ණයෙන් කියෙව්වා. මගේ නමත්, හිටපු ජනාධිපතිතුමාගේ නමත් තියනවා, මගේ නම තියෙන්නේ බලය බෙදීමට කැමතියි කිවුවා කියලා. හිටපු ජනාධිපතිතුමාගෙන් මම ඇහුවා අනේ බෙදීමට ඔබතුමා කැමතිද කියලා, එතුමත් ඔව් කිව්වා. ඒක ඇත්ත වශයෙන්ම විවේචනයක්. විවේචනය කිරීමේ අයිතිය මාධ්‍යයට තියනවා. මතයක් ප්‍රකාශ කිරීමේ අයිතියත් තියෙනවා. මීට කාලයකට පෙර මෙහෙම සිදුවීමක් සිදු වුණාම කරන්නේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා අවවාද කරලා නිදහස් කරනවා. නමුත් මේ අවස්ථාවේ දී කමිටුව මගින් වරප්‍රසාද කඩ වුණා කියලා තීරණයක් අරගෙන නීතිපතිට යොමු කරන්න හදනවා. නීතිපතිට යවන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්නයි. ඇත්ත වශයෙන්ම නීතිපතිවරයා එතුමාගේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. කමිටුවට මේක තේරුම් ගන්න බැරි වුනාට අපිට කරන්න දෙයක් නෑ. නඩේසන් කියලා ඒ කාලේ ඉහළ පෙළේ රාජ්‍ය නීතිඥවරයෙක් හිටියා. ඔහුව පාර්ලිමේන්තුව විවේචනය කරා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට අරන් ගියා. ඔහුම ඔහුගේ නඩුව කතා කළා. ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුව නිදහස් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා විවේචනය සහ මතයක් ප්‍රකාශ කරන්න පුළුවන් කිව්වා. ඒ අයිතිය මාධ්‍යයට, ඕනම පුද්ගලයෙකුට තියෙනවා කියලා කිව්වා. නීතිපතිවරයා මේක කියලා තියෙනවා. නමුත් කමිටුව මේක පිළිගත්තෙ නෑ මොකද කමිටුවේ පෞද්ගලික අරමුණ පළිගැනීමයි. ශ්‍රේෂ්ඨාධිකරණයට මේක යවලා ඒ මාධ්‍ය ආයතන විනාශ කරන්න, පීඩනයට පත් කරන්නයි උත්සාහ කරන්නේ. මේ වාර්තාවට සමගි ජනබලවේගයේ අපි අත්සන් කළේ නෑ. ඇත්ත වශයෙන්ම මේ කරන්නේ පලිගැනීමක්. විවේචන දරා ගන්න බැරි නම් අපි දේශපාලනය නොකළ යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරිමේ උත්සාහය අත් හැරලා ඒ මාධ්‍යවේදියාගෙන් යම් කිසි වැරද්දක් වුනා නම් ඔහුව පාර්ලිමේන්තුවට ගෙනල්ලා අවවාද කරලා මේ ප්‍රශ්නය අවසන් කරන්න. පාර්ලිමේන්තුව හැමදාම කළේ මෙහෙමයි.

පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා- සියත ටෙලි වැකිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අරගෙන තිබෙන තීන්දුව බරපතළ වැඩියි. අපිව නැත්තටම නැති කරන්න සුලසුම් කරලා වැඩ කරන මාධ්‍ය ආයතන තිබෙනවා. උදේට පත්තර කියවලා අපිට මඩ ගහනවා. ඒ සියලුම මාධ්‍ය ආයතන ගැන තීරණයක් ගන්නවාද කියලා දැනගන්න අවශ්‍යයි. ඒ කාලේ මම ජනාධිපති ලෙස කටයුතු කරනකොටත් විශාල වශයෙන් මඩ ගැහුවා. දැනුත් එහෙමයි. මන්ත්‍රීවරුන්ට නින්දා අපහාස කරනවා. ඒ පුවත් ඉදිරිපත් කරන අය සම්බන්ධයෙන් පියවරත් ගන්න කියලා මම ඉල්ලනවා. ටෙලි වැකිය ගැන මම කියන්නේ ඒක මාධ්‍ය නිදහස තුළ සිදු වූ දෙයක්. එය අධිකරණයට ගෙනියන්නේ නැතුව මේ පාර්ලිමේන්තුවට ගෙන්නලා විසඳගන්න කියලා ඉල්ලනවා.

වරාය හා නාවික ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා-

මේ කාරක සභාව පත් කලේ කතානායක තුමායි. මෙහෙම කාරක සභාවක් ඕනා කියලා මේ සභාවෙන් තමයි අනුමත කලේ. ඒ සභාව පත් කරන වෙලාවේ කිරිඇල්ල මන්ත්‍රීතුමන්ලා විරුද්ධ වුනේ නෑ. කාරක සභාව පත් කරලා අපිට මේ වගකීම භාර දුන්නනම් ඒ වගකීම ඉටු කරන්න අපි බැඳී සිටිනවා. මේ ගැන අපි කම්ටුවක් ලෙස නීතිපති ගෙන්වලා ඒ සියත ටෙලි වැකියෙන් ප්‍රකාශ වුනු සියලුම ප්‍රකාශනවල වීඩියෝ අපි පෙන්නුවා. ඒ සියල්ල අධ්‍යනය කරලා පාර්ලිමේන්තු බලතල අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පමණක් දඬුවම් කළ යුතු කාරණා කියන සෙක්ෂන් එක යටතේ තමයි අපි ක්‍රයා කරන්නේ. මේ ප්‍රශ්නය ඒ ගණය යටතට වැටෙන එකක්. අපිට කළ හැක්කේ නීතිපතිට යොමු කරන එකයි. ඉන් පසුව එය නීතිපති කවදුරටත් අධ්‍යනය කරලා නීතිපති සෑහෙනවා නම් පමණක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ. නමුත් අපි බැඳී ඉන්නවා මෙවැනි කමුටුවකින් වාර්තාවක් ඉදිරිපත් කරන්න.

විමල් වීරවංශ මහතා – සියත සම්බන්ධයෙන් ප්‍රහාරාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන ඒක වැරදියි.

නිමල් සිරිපාල ද සිල්වා මහතා – අපිට භාර දුන්නු කාර්යභාරය අපි ඉටු කළා. මේකට විරුද්ධ නම් පාර්ලිමේන්තුවේදී මේක පරාජය කරන්න පුළුවන්.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – මෙහි පැමිණිලි කරු කව්ද? මෙතුමා කියන විදිහට පැමිණිලිකරු කතානායකද?

විමල් වීරවංශ මහතා- පැමිණිලිකරුවෙක් නැත්නම් දැන් මේකේ පැමිණිලිකරු භූතයෙක්ද?

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා-

අපිට අයිඑම්එෆ් යනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුනේ නෑ. එම ක්‍රියාවළිය අපි අද සාර්ථක කරගෙන තිබෙනවා. ඒ වගේම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ආයතන තිබේ නම් ඒවා කළ යුතුයි. විපක්ෂයේ අය විවිධ දේවල් කිව්වා අයිඑම්එෆ් ගැන. නමුත් බාධාවන් මැද රනිල් වික්‍රමසිංහ මහතා ඒ කටයුත්ත කළා. ඒ වගකීම භාර ගන්න දේශපාලන නායකයෝ ඉදිරිපත් වුනේ නෑ. ඒ අය දේශපාලන අනාගතය ගැන හිතලා අඩි තුන හතරක් පස්සට ගත්තා. නමුත් අපේ ජනාධිපතිතුමා ඒ වගකීම අරගෙන අද වන විට සාර්ථක වෙලා තිබෙනවා. ඒ වගේම අපි අපේ රටේ තෙල් සම්පත ගැන කතා කරලා තිබෙනවා. මැතිවරණ ආසන්නයේදී ඔන්න තෙල් ආවා කියනවා. නමුත් මේ වන විට අපි අද ඒ සඳහා අවශ්‍ය නීතිරෙගුලාසි ඉදිරිපත් කරලා තිබෙනවා ඒ සම්පත් සඳහා ආයෝජකයින් කැඳවන්න. අපේ රටේ සම්පත් අපි ආරක්ෂා කර ගන්න ඕනා කියනවා. නමුත් අපි අපේ සම්පත් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව තියාගෙන ඉඳලා වැඩක් නෑ. අපට තාක්ෂණය නෑ. මුදල් නෑ. ඒ නිසා අපි විදෙස් ආයෝජකයන්ට ඉඩ දෙන්න ඕනා. අපේ මුහුදේ ගෑස් සම්පත තිබෙනවා. ඒත් ඒ සම්පත ගොඩ ගන්න අවශ්‍ය නීතිමය තත්ත්වය අපි අද සකස් කරලා දෙනවා. ඒ අනුව ඔනෑම විදෙස් සමාගමකට ඇවිල්ලා මේවා ගැන ගවේෂණ කරලා ඒ ස්වභාවික සම්පත සම්බන්ධයෙන් කැණීම් කටයුතු කරන්න අවසර දෙනවා. විදෙස් සමාගමක් කරන ඒ ගවේෂණ වල දත්ත අපේ රජය එක්ක බෙදා ගන්න ඕනා ඒක තමයි කොන්දේසිය. අපි මේ සම්පත ගැන ගවේෂණ කරලා තිබෙනවා. ඒ අනුව දැනට විදෙස් සමාගම් 06ක් ඒ ගවේෂණ සහ කැණීම් කටයුතු සඳහා ඉදිරිපත් වෙලා තතිබෙනවා. එය සාර්ථක වුණහම අපිට ආනයන අඩු කරලා අපනයනය කරන තත්ත්වයට යන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට දැන් පෙනෙනවා රුපියල ශක්තිමත් වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අඩු වෙනවා. ඒ අනුව අප්‍රේල් මාසයේ එන මිල සංශෝධනයේදී අපේ ඉන්ධන මිල ගණන් වලට දැනෙන සහනයක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම විදුලි බිල සම්බන්ධයෙනුත් දෙසැම්බර් මාසයේදීත් යම් සහනයක් දෙන්න පුළුවන් කියලා පෙනෙනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක (සජබ) – එදා සාපරාධි අපහාස නීතිය ඉවත් කරලා ඒ දුන්නු සහන පාර්ලිමේන්තු කමිටු මගින් නැවත අද අහුරා දමනවා. වරප්‍රසාද කඩවී ඇති බවට කිසිම ප්‍රකාශයක් නෑ. ජනමාධ්‍ය ආයතන හා මාධ්‍යවේදී දඩයම තමයි මේ ආණ්ඩුවේ අරමුණ. මාධ්‍ය ආයතනවල බලපත්‍රය අවලංගු කිරීමටයි අද උත්සාහ කරන්නේ.

එදා පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහලා, මයික් කඩලා කලබල කළා. ඒවා ගැන කිසිම වාර්තාවක් තවම නෑ. මාධ්‍යවේදීන් මර්දනය කරන්න උත්සාහ කරන්න එපා. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද හරහා මර්දනය ක්‍රියාත්මක කරනවා. නැවත සලකා බලන්න. පාර්ලිමේන්තුවේ 225 ටම විවේචන තියෙනවා. ජනතා හඬ මාධ්‍ය හරහා පෙන්වීම වළක්වන්න එපා.

පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් (සජබ) – බහුතර ජනතාව වීදි බැහැලා කෑගැහුවේ, දුක වේදනාව

ගැන පමණක්ම නොවේ. පවතින සාම්ප්‍රදායික දේශපාලනයේ වෙනසක් ඉල්ලා සිටියා. එහෙත් තවමත් අපි ජරාජීර්ණ වූ දේශපාලනයේ තෙම්පරාදු වූ දේශපාලකයන් සමගයි කටයුතු කරන්නේ. ඔවුන් පිනුම් ගසමින් තමන්ගේ දේ පමණක් කරමින් සිටියි.

මේ දේශපාලනඥයන් රටේ පුරවැසියාගේ අදහස් දැනගැනීමේ අයිතියට අභියෝග කරමින් පරණ පුරුදු සෙල්ලම් කරමින් සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු විශේෂිත පුද්ගලයන් නොවෙයි. ඔවුන් රටේ නීතියට යටත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්‍ෂා කළ යුතුයි. සියත රූපවාහිනියේ ප්‍රකාශ තුනක් නිසා වරප්‍රසාද කඩවනවා කියා කියනවා. නමුත් කඩවීම කොතැන ද කියා නිශ්චිතව හඳුනාගෙන නෑ. වරප්‍රසාද කඩවූ බවට පැමිණිලි කළ මන්ත්‍රීවරයා කවුද කියා තවම හෙළිවී නෑ. කවුද මේ පාර්ලිමේන්තුව හසුරුවන්න හදන්නේ. කවුද මේ බළල් අත් පිටුපස ඉන්නේ. වරප්‍රසාද ප්‍රශ්න අවභාවිත කරන්න ඉඩ දෙන්න එපා. පාර්ලිමේන්තුව හෑල්ලු කරන්න එපා. සියත බලපත්‍ර අවලංගු කිරීම තුළින් ඔවුන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරන්නයි උත්සාහ කරන්නේ. අඩුම තරමින් සියත නාලිකාවෙන් කරුණු විමසීමක්වත් කර නැහැ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා (ශ්‍රීලපොපෙ) – 2019 දී අයි.එම්.එෆ්. ගියේ. එහෙත් නිවැරැදිව කටයුතු නොකළ නිසා රට බංකොලොත් වුණා. අද ණය දුන්නා. මම ඒ ගැන සතුටුයි. රට ගොඩනැඟීමට අවස්ථාවක් ලැබෙනවා. ඊට කැපවූ අයට ස්තුතියි.

පළමු කොටස ලැබුණේ. දෙවන කොටස ලබා ගැනීම අසීරුයි. ප්‍රතිසංස්කරණ කිරීම් කරන්න වේවි. කටුක අදහස් කියන්න වේවි. එකඟ වූ කොන්දේසි මතයි ණය ලැබෙන්නේ. ඒ නිසා කොන්දේසි ඉටුකරන්න වේවි. ඛනිජ තෙල් සංස්ථාව පාඩු වුණේ සංස්ථාවේ වරදින් නොවෙයි, මිලට මැදිහත්වීම නිසයි. යම් සහනයක් දෙනවා නම් අයවැයෙන් සහනාධාරයක් දිය යුතුයි. ඒත් ආයතනයට පාඩුව දරන්න සිදු වුණා.

රටේ ගෑස්, තෙල් හම්බවුණා කිය කියා බොරු කිව්වා. මේවාට ක්‍රමවේද හැදුවෙ නෑ. ආර්ථික සංවර්ධනයක් කළ නොහැකි කිසිම රජයකට පැවැත්මක් නෑ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ලසන්ත අලගියවන්න – මූල්‍ය අරමුදලේ ණය අරන් ප්‍රකෘති තත්ත්වයට ආපු රටවල් තියෙනවා. අපිට කෙටි කාලයක් තුළ පෝලිම් නැති කරලා, රට යථා තත්ත්වයට ගේන්න හැකි වුණා. ජනාධිපති ගත් ක්‍රියාමාර්ගය නිවැරැදියි. අපේ පක්‍ෂය රජයට එකතු විය යුතු නැති බවට තීරණය කර තිබියදී පක්‍ෂයේ තනතුරු දාලා ජනපතිට ශක්තිය ලබාදී නිවැරැදි ගමනක් යෑමට හැකිවීම ගැන සතුටුයි.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා (ශ්‍රීලපොපෙ) – රට ගොඩනැඟීම වෙනුවෙන් ජනතාව විශාල කැපවීමක් කරනවා. ආණ්ඩු පක්‍ෂයේ අයත් තවත් ඇමැති මණ්ඩලය වැඩි නොකර කැපවීමක් කරන්න.

අද සියත නාලිකාවට කරන වැඩේ තවත් නාලිකාවකට හෙට සිදුවිය හැකියි. සියලු මාධ්‍ය ආයතන පාලනය කරනවා.

සිස්ටම් චේන්ජ් ඉල්ලපු අයට ලැබුණේ ජනතාව එපා කියපු පුද්ගලයකු අධිකරණය, ව්‍යවස්ථාදායකය හා විධායකය පාලනය කරමින් මාධ්‍යත් පාලනය කරන ක්‍රමයක්.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ – අද ඩොලරය අඩු වෙනවා. සංචාරක ව්‍යාපාරය

ගොඩනැඟෙනවා. රජය ගත් විවිධ තීන්දු නිසා රට ඉදිරියට ආවා. මූල්‍ය අරමුදලේ ණයත් ආවා. සමහරු මූල්‍ය අරමුදලේ ණය ලැබෙන්නේ නැහැ කියලා හිනා වුණා. සමහරු නායකයෝ වෙන්න සූට් මහගෙන හිටියේ.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව අපට සංවර්ධන කටයුතුවලට ණය දෙන්න සූදානමින් ඉන්නවා. ඩොලර් අර්බුදය ඉදිරියේදී මේ සමග විසඳෙනවා. ආනයන බඩු මිල ඉහළ ගියා. දැන් ඒ බඩු මිල පහළ යාවි. රුපියල ශක්තිමත් වේවි. ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න රටක් අවශ්‍යයි. ඡන්දය ඉල්ලා ජනතාව පාරට එන්නේ නෑ. කන්න, බඩු මිල අඩු කරන්න කියා ඉල්ලා පාරට බහිනවා. ඒ නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේ මිල අඩු කරන්න රජය බලාපොරොත්තු වෙනවා.

අද විශාල ලෙස විදේශ ආයෝජන එනවා. එය අපි සුබවාදීව බැලිය යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ (සජබ) – විධායකය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල මරු පහරක් එල්ල කරමින් ඉන්නවා. පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව හරහා නවත්වන්න විධායකය කටයුතු කරමින් ඉන්නවා.

මේ වනවිට අපිට වාර්ෂිකව ඩොලර් මිලියන

6 ක් – 7 ක් ණය ගෙවිය යුතුයි. එය කල්දමා තියෙනවා. පසුව ගත් ණයත් ගෙවිය යුතුයි. මහා උජාරුවෙන් ණය ලැබුණා කියනවා. ණය ගෙවීම තවත් වැඩි කළ යුතුව තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) – ණය

ගැනීම ගැන කනගාටු විය යුතුයි. එදා හම්බන්තොට වරාය විකුණා ඩොලර් බිලියන 1 ක් ලැබුණු වෙලාවේ සතුටු වුණා. අද සිදුවූ දෙයක් නෑ. කොන්දේසිවලට යටත්වෙලා බදු බර වැඩි කරලා ණය උගුලක හිරකරලා අයි.එම්.එෆ්. ණය ලබාගත්තාට ලැජ්ජා විය යුතුයි.

නිෂ්පාදන ආර්ථිකය නැංවීම ණය ලැබීම නොවෙයි. අපි කොන්දේසිවලට යටවෙලා මේ ණය ලබා ගත්තේ.

අපි අවුරුදු 20කට පෙර මන්නාරම් ද්‍රෝනියේ ගෑස් නිධි හොයා ගත්තත් තාම ගෑස්, තෙල් ලබා ගන්න අසමත් වෙලා. ඉක්මනින් ඒ කටයුත්තට පැමිණිය යුතුයි.

ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයන් විවේචනය කරපු නිසා සියත රූපවාහිනි වැඩසටහන් නැවැත්වීමට තර්ජනය කරනවා. එදා සියත රූපවාහිනිය ගිනි තිබ්බා. සිරසට බෝම්බ ගැහුවා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භාවිතා කර මාධ්‍ය හා මාධ්‍යවේදීන් මර්දනය කරන්න උත්සාහ කරනවා.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර – විරුද්ධ පක්‍ෂය හොඳ දේට සහය දිය යුතුයි. නීති විභාගය පිළිබඳ ඡන්දයේදී සියලුදෙනා එක්ව ඡන්දය දුන්නා. හොඳ වැඩක්. ඒ වගේ හොඳ දේවලට සියලුදෙනා එක්වෙමු.

පාර්ලිමේන්තුවේ අපි හැමෝම රටේ සිදුවූ දේවල්වලට අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. එනිසා අපි හැමෝම එක්ව අභියෝගවලට මුහුණ දෙමු.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (සජබ) – අයි.එම්.එෆ්. එකට යන්න කියලා අපි එදා සිට කිව්වත් ආණ්ඩුව යන්නේ නැහැම කිව්වා. එහෙම අය අද උජාරුවෙන් ණය දීම ගැන කතා කරනවා. රට බංකොලොත් කරපු අයම දැන් රට ගොඩනඟන බව කියනවා.

පාර්ලිමේන්තුව නැවත අද (22දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

කඳුළුගෑස් ප්‍රමිතිය සහ IMF කොන්දේසි රටට කියන්න – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග අත්සන් කර ඇති ගිවිසුමට අදාළව කොන්දේසි මොනවාද හා එහිදී ප්‍රතිව්‍යුහගතකරණ රාජ්‍ය ආයතන, රජයට අයත් සමාගම් මොනවා දැයි ප්‍රකාශ කරන ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ස්ථාවර නියෝග (27.2) යටතේ ඔහු නැඟූ ප්‍රශ්නයට අදාළව තවත් ප්‍රශ්න කිහිපයක් ද ඉදිරිපත් කළ අතර පසුගියදා විරෝධතා මර්දනයට එල්ල කළ කඳුළු ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව යම් හෙළිදරව්වක් කරන ලෙස ද ඉල්ලා සිටියේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment